අපේ රසට ගමේ කෑම

ජූලි 18, 2022

 

දේශීයව පහසුවෙන් සොයා සකසා ගත හැකි රසවත් කෑම කිහිපයක් මෙලෙස ගෙන එනවා. වස විසෙන් තොර මේ කෑම ඔබේ නිරෝගීබව රැකගන්නට මෙන්ම අතේ මිටේ මුදල් ඉතිරි කරගන්නත් අවස්ථාව සලසා දෙයි.

 

 

උපදෙස් හා ඡායාරූප

ප්‍රවීණ සූපවේදිනී

තිලානි විතානගේ

 

 

 

අළු පුහුල් ඇඹුල

දිය රස නිසා අළු පුහුල් අපිට අගේ නැති වුණාට "පුහුල් හොරා කරෙන් දැනේ" කියලා ප්‍රස්ථා පිරුලක් ජනප්‍රවාදයේ තියෙනවා. අපේ ගැමියන්ට හොරකම් කරගෙන යන්න තරම් වටිනා එළවළුවක් වීම නිසායි.

 

අළු පුහුල් ඇඟ සිසිල් කරන ගුණයෙන් යුත් කෑමක් වන අතර, මතක ශක්තිය වඩවන හා පිපාසය සංසිඳුවයි. ඒ වගේම ආයුර්වේදයේ පණු රෝග සඳහා නිර්දේශ කරන එළවළුවක්. මානසික ආතතිය දුරු කිරීමට, රක්තහීනතාවට, හදවත් රෝග නිවාරණයට, මුත්‍රා දාහයට, වකුගඩු රෝගවලට හා ගැස්ට්‍රයිටිස්වලට ද කදිම කෑමකි.

අළු පුහුල් උයනකොට ඉවත් කරන ඇට හොඳින් සෝදා වියළා කබලේ බැද කුඩු කර බෝතලයක අසුරා තබන්න. තුනපහ වගේ එයින් ස්වල්පයක් ව්‍යංජනවලට මිශ්‍ර කර කෑමෙන් පණු රෝගවලට ගුණ බවත් ආයුර්වේදයේ සඳහන් වෙනවා

 

අළු පුහුල් ගෙඩියකින් කොටසක්

තළාගත් සුදුලුනු

ලියා ගත් රතුලූනු, කරපිංචා, නයි මිරිස්

හා රම්පේ

අබ හා කුරුඳු පොත්තක්

අමු තුනපහ කුඩු, මිරිස් කුඩු හා බැදපු

තුනපහ කුඩු ඔබේ රස පදමට

කර නොවෙන්න කබලේ බැදගත් මිරිස්

කුඩු තේ හැඳි භාගයක් වෙනම

ගොරකා පේස්ට් තේ හැන්දක්

කැබලි කපාගත් තක්කාලි ගෙඩි 2ක්

මිටිකිරි (ටිකක් වියළි පොල්

ගෙඩියකින් කිරි ගන්න)

රස අනුව ලුණු

කබලේ බැදගත් පොල් මේස හැන්දක්

පොල් තෙල් මේස හැන්දක්

 

 

 

අළු පුහුල් කැබැල්ලේ මැද ඇට ඉවත් කර ගෑරප්පුවකින් හොඳින් අනින්න. වටේටම අනින්න. ඊට පස්සේ පොත්තේ ඇති අළු පාට කොටස පිහියකින් සූරා පොත්ත පිටින්ම සාමාන්‍ය ලොකු කැබලි කපා ගන්න.

කැබලි ටික මැටි භාජනයකට දමා ගොරකා, තුනපහ වර්ග ටික හා කැබලි වැහෙන ප්‍රමාණයට වතුර එකතු කර පියනකින් වසා තැම්බෙන්න තියන්න. මේ සඳහා පැය භාගයක් පමණ ගත වෙනවා. වතුර හිඳී යනකොට ළිප ඕෆ් කරන්න.

දැන් තවත් මැටි භාජනයක් ළිපේ තියා තෙල් රත්කර අබ පුපුරුවා මුලින්ම ඒකට කබලේ බැදගත් පොල් හා ඉතුරු සියලුම දේවල් එකතු කර තෙම්පරාදු කර ගන්න.

ඒකටම අළු පුහුල් ටික දමා අවශ්‍ය නම් ලුණු එකතු කර හොද්ද හිඳී උඩින් තෙල් පෑදෙනකම් මඳ ගින්දරේ පිස ගන්න.

 

------------------------

ක්‍රිස්පි නෙළුම් අල (මල් බට්ටෝ)

 

නෙළුම් අලයක්

බැටර් එක සඳහා,

පාන් පිටි මේස හැඳි 1ක්

රුලං ස්වල්පයක් (අත්‍යවශ්‍යම නෑ)

කඩල පිටි හෝ පිටි මේස හැන්දක්

ලුණු හා ගම්මිරිස් පදමට

බිත්තරයක්

 

බැදීමට තෙල්

 

 

මුලින්ම නෙළුම් අලය සූරා සිහින් පෙති කපා මඳ උණුසුම් ලුණු වතුරේ දමා විනාඩි 15ක් පමණ තියා හොඳින් සෝදා වතුර බේරෙන්න තියන්න. පසුව ලුණු කුඩු ස්වල්පයක් දමා මිශ්‍ර කරන්න (ලුණු වතුරේ දාන්නේ මඩ ගතිය යන්නයි)

දැන් බැටර් එක හදා ගනිමු. කඩල පිටි, පාන් පිටි, බිත්තරය හා රුලං ටික භාජනයකට දමා ලුණු හා ගම්මිරිස් එකතු කර වතුර ස්වල්පය බැගින් දමා හැන්දකින් මිශ්‍ර කරමින් ඝනකමත් නැති දියාරුත් නැති බැටර් එකක් හදා ගන්න.

 

දැන් නෙළුම් අල පෙති එක බැගින් ගෙන බැටර් එකේ ගාගෙන එක් වරකට 6ක් වගේ තෙලට දමා රන්වන් පැහැ වනතුරු බැද තෙල් බේරෙන්න තියා කෑමට ගන්න.

 

----------------------

අමු ගම්මිරිස් පොල් සම්බෝල

මේ තරම් පොල් තියෙන රටේ පොල් සම්බෝලයක් හදා ගන්න බැරි කෙනෙක් වෙතොත් ඒ කලාතුරකින් තමයි. ඒත් ඉතින් මේ පොල් සම්බෝලේ හදන විවිධ ක්‍රම තියෙනවා. සමහරු කොටලා හදනවා. සමහරු කොටන්නේ නැතුව අතින් අනලා විතරක් හදනවා.

 

ඒ වගේම පොල් සම්බෝලෙට දාන අමුද්‍රව්‍ය අනුව රසයත් වෙනස් වෙනවා. අමුමිරිස් දැම්මොත් එන රස නෙමෙයි කොච්චි දැම්මොත් එන්නේ. නයි මිරිස් දාලා කෙටුවොත් ඊටත් වඩා රසයක් එනවා.

සමහරු පොල් සම්බෝලෙට වේලිච්ච මිරිස් පුච්චලත් දානවා. සමහරු මේකට පුච්චපු අමු සුදුලූනු දානවා. ඒ වගේම අමු ගම්මිරිස් ඇට දාලා කොටලා හැදුවොත් පොල් සම්බෝලෙට වෙනස්ම රසයක් එනවා.

 

මේ තියෙන්නේ අමු ගම්මිරිස් හා නයි මිරිස් දාලා වං ගෙඩියේ කොටලා හදන පොල් සම්බෝලයක්

 

 

පොල් කෝප්පයක්

අමු ගම්මිරිස් ඇට (කොළ පාට)

රතුලූනු

නයි මිරිස්

ලුණු පදමට

මිරිස් කුඩු

දෙහි ඇඹුල්

තක්කාලි ටිකක්

 

 

 

රතු ලූනු, නයි මිරිස්, මිරිස් කුඩු, තක්කාලි, අමු ගම්මිරිස් ඇට හා ලුණු කුඩු ටික වං ගෙඩියක දමා හොඳින් කොටා ගන්න.

දැන් කොටාගත් පේස්ට් එක පොල් ටිකත් සමඟ හොඳින් අතින් අනා ගන්න.සම්බෝලේ අනන ගමන් එයට දෙහි ඇඹුල් හා මදි නම් පදමට ලුණු එකතු කරන්න.

අවශ්‍ය නම් මැටි භාජනයක් ළිපේ තියා සම්බෝලේ පොඩ්ඩක් මලවා ගන්නත් පුළුවන්.

 

මේ මොන විදිහට හැදුවත් විශ්වාස කරන එකම දෙයක් තියෙනවා. සමහර විට ඔබ ඒ සමඟ එකඟ නොවෙන්නත් පුළුවන්. ඒ තමයි පොල් සම්බෝලය රස වෙන්න හැමෝටම පිහිටන්නේ නැති අත් ගුණයත් බලපානවා.

 

----------------------------------

කොච්චි දලු හා නාරං යුෂ මිශ්‍ර පොල් සම්බෝල

 

 

පොල් කෝප්පයක්

කොච්චි දලු කිහිපයක්

රතුලූනු හෝ බී ලූනු

නයි මිරිස්

ලුණු පදමට

මිරිස් කුඩු

නාරං යුෂ

කුඩාවට කපාගත් කුඩා

තක්කාලි ගෙඩියක්

 

 

 

රතු ලූනු, නයි මිරිස්, මිරිස් කුඩු, තක්කාලි, කොච්චි දලු හා ලුණු කුඩු ටික වං ගෙඩියක දමා හොඳින් කොටා ගන්න. නැත්නම් මිරිස් ගලේ අඹරා ගන්න.

දැන් කොටාගත් මිශ්‍රණය පොල් ටිකත් සමඟ හොඳින් අතින් අනා ගන්න.සම්බෝලේ අනන ගමන් එයට නාරං යුෂ හා පදමට ලුණු එකතු කරන්න.

අවශ්‍ය නම් මැටි භාජනයක් ළිපේ තියා සම්බෝලේ පොඩ්ඩක් මලවා ගන්නත් පුළුවන්.