චොකලට් මලක්... සමඟ චොකලට් කේක් එකක්

අගෝස්තු 1, 2022

 

හැමදේටම කඩේ දුවන අම්මලා දැන් නම් නැති තරම්. දරුවන්ගේ, සැමියාගේ, හිතවත් යාළුවන්ගේ උපන්දිනවලට ලස්සන කේක් කඩෙන් ගේන්නෙම නැහැ. තමන්ම හදන්නයි උනන්දුව. ඒ සඳහා අපෙන් ඔබට ලැබෙන සහයයි මේ.... තමන්ගේම ආදරණීයයන් වෙනුවෙන් තමන් ගේ අතින්ම කේක් එකක් රසට, ලස්සනට හැඩ කරන්න ඔබත් ඉගෙන ගන්න.

 

අවශ්‍ය දේවල්

 

කුඩු කරගත් කජු ග්‍රෑම් 50ක්

කොකෝ පවුඩර් මේස හැඳි 2ක්

පිටි ග්‍රෑම් ග්‍රෑම් 200ක්

සීනි ග්‍රෑම් 250ක්

බටර් ග්‍රෑම් 250

බිත්තර 5ක්

බේකිං පවුඩර් ග්‍රෑම් 15ක්

ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 2ක්

වැනිලා තේ හැඳි 1ක්

 

සාදමු

පිටි, බේකිං පවුඩර්, කොකෝ පවුඩර් එකට එකතුකර හලාගන්න. එයට කුඩුකරගත් කජු එකතුකරන්න. දැන් සීනි සහ බටර් එකතුකර හොඳින් බිට් කරන්න. එයට බිත්තර එක බැගින් එකතුකරමින් හොඳින් ගසාගන්න. වැනිලා එකතුකරන්න. දැන් පිටි මිශ්‍රණයෙන් ටික ටික එකතුකරමින් ලෝ ස්පීඩ් බීට් කරන්න. ඔයාලට දැනේවි වෙනදා හදනවට වඩා කේක් මිශ්‍රණය ඝනයි කියලා. ඒ ඝනකම නැතිවෙන්න කිරි එකතුකරන්න. ඒත් කේක් මිශ්‍රණය ගොඩක් දියාරු වෙන්නත් බැහැ. දියාරු වුණොත් කේක් එක හොඳ තත්ත්වයෙන් එන්නේ නැහැ. අඟල් 6 රවුම් තැටි දෙකකට කේක් මිශ්‍රණය එකතුකර සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයෙන් විනාඩි කිහිපයකට කලින් රත්කරගත් අවන් එකේ දමා විනාඩි 25ත් -30ත් අතර කාලයක් බේක් කරගන්න.

බේක් කරගත් කේක් හොඳින් නිවෙන්න තියන්න.

 

බටර් අයිසිං මඟින්

කවර් කරමු

 

ඒ සඳහා කේක් දෙකටම

බටර් ග්‍රෑම් 250ක්

අයිසිං සීනි ග්‍රෑම් 500ක්

කොකෝ පවුඩර් මේස හැඳි 2ක්

වැනිලා තේ හැඳි 1/2ක්

කිරි මේස හැඳි 1ක්

 

සාදමු

මේ සියල්ල හොඳින් ක්‍රීම් එකක් වනතුරු බීට් කරගන්න. කේක් එක උඩ වැඩිපුර පිපීම් කපා ඉවත්කර කේක් දෙක ලෙවල් කරගන්න. ඉන්පසු කේක් දෙකම මැදින් කපා ලේයර්ස් හතරක් විදියට ගන්න. දැන් සාදාගත් බටර් අයිසිං හෙවත් ක්‍රීම් මඟින් කේක් දෙකේ කොටස් හතරම සැන්ඩ්විච් කරගනිමින් එක මත එක තබන්න. ඉන්පසු මුළු කේක් එක වටේම අයිසිංවලින් කවර් කරගන්න.

හොඳින් අයිසිං එක ටිකක් හයි වෙනතුරු අයිසිං කරගත් කේක් එක පැය 4 විතර ශීතකරණයේ තබන්න.

 

චොකලට් ගනාච්වලින් රස කරමු

 

ඒ සඳහා

හෙවි ක්‍රීම් මිලිලීටර් 150ක්

චොකලට් ග්‍රෑම් 200ක්

බටර් තේ හැඳි 1ක්

 

සාදමු

හෙවි ක්‍රීම් ළිපේ තබා යන්තම් බුබුළු එනතුරු රත්කරගන්න. එය ළිපෙන් ඉවතට ගෙන චොකලට් මතට වක්කරන්න. මිනිත්තුවක් පමණ තබා විස්ක් එකක් මඟින් හොඳින් කලවම් කරන්න. ඒ අතරේ බටර් එකතුකරන්න. හොඳින් කලවම් කරන්න.

ඝනකම් ගනාච් එකක් හදාගන්න ඕනේ නම් කිරි සහ චොකලට් සම සමව ගන්න. රස්නය ගිය පසු කේක් මතට වක්කරගන්න. දැන් රැයක්ම ශීතකරණයේ තියන්න. ගනාච් එක හොදින් සෙට් වුණු පසු කේක් එක උඩ සාදාගත් චොකලට් මල් පෙති මඟින් මලක් ලෙස තබා හැඩ කරගන්න.

 

චොකලට් මල

 

clear folder එකක් හෝ දෙකක් අරගෙන තීරු තුනකට කපාගන්න. ඒවා නැතිනම් බේකිං පේපර් හොඳයි. එහෙමත් නැතිනම් ඉටිකොළ ගන්න. මල් පෙති හැඩය ගැනීමට ටිකක් මහත කාඩ්බෝඩ් බම්බුවක් දෙකට කපා ගන්න.

වයිට් චොකලට් ග්‍රෑම් 100ක් ගන්න. දැන් එය කුඩා කොටස්වලට කඩා මයික්‍රෝවේව් එකේ තැබිය හැකි පොඩි බෝල් එකකට දාන්න. තත්පර දෙකක් තුනක් වගේ වෙන්න රත්කර චොකලට් ටික දියකරගන්න. නැත්නම් ඩබල් බොයිල් ක්‍රමයට දියකර ගන්න.

දැන් මෙයින් තේ හැන්දක් පමණ මම වෙනම කෝප්පෙකට වෙන් කර ඉතුරු ඔක්කොම ටිකට රෝස පාට කලරිං එකතුකරන්න. නිවෙන්න තරම් රස්නයක් නැති නිසා ඒ වෙලාවේම මල් පෙති හදන්න. ඉටි කොළ තීරුව උඩට පුංචි හැන්දකින් තමන්ට අවශ්‍ය පමණට පෙත්ත ගන්න රවුම් බින්දු තියාගෙන යන්න ඉඩ ඇතුව.

ඊළඟට වෙනත් පුංචි හැන්දක් අරන් ඒ හැන්දේ මිට පැත්තෙන් අර චොකලට් බිංදුව පෙත්තක් ආකාරයට උඩට සහ දෙපැත්තට විහිදුවන්න.

පෙර අයින් කරගත් සුදු පාට චොකලට් පොඩ්ඩ පින්සලකින් ටික ටික අරගෙන පෙතිවල මැද ඉරි වගේ ඇඳගන්න. මේ විදියට ඒ ඉටිකොළ තීරුව පිරෙන්න මල් පෙති සකස් කරගෙන මල් පෙතිවල හැඩ එන්න අර කලින් සකස් කරගත් ෆොයිල් එක මත හෝ කාඩ්බෝඩ් එක මත තබන්න. එය ශීතකරණයේ විනාඩි 20ක්, 30ක් විතර තියන්න, විනාඩි 20ක් විතර ගිය පසු බලන්න ඒ පෙති හයිවෙලා ගලවගන්න පුළුවන් තරමට සෙට් වෙලා ද කියා. එහෙම පුළුවන් නම් හිමිහිට ගලවා ගන්න.

බොහොම ඉවසීමෙන් කරන්න. කලබල වෙලා බැහැ. කලබලේ කරද්දී මල් පෙති කැඩෙනවා. දැන් හිමිහිට ගලවාගත් මල් පෙති පිළිවෙළට ලොකු පෙති සහ පොඩි පෙති මලක් ආකාරයට සාදාගත් කේක් එක මත රඳවන්න. චොකලට් ටිකක් දියකර කේක් එක මත ගා ඒ මත පෙති රඳවන්න. මලේ මැදට අයිසිං සුදු පබළු එක් කර හැඩ කරගන්න. නැතිනම් බටර් අයිසිං හෝ චොකලට් මෙල්ට් කරලා නොසල් එකක් ආධාරයෙන් මැද බිංදු බිංදු තබන්න.

 

ඉතාලියේ පර්මා හි සිට ප්‍රවීණ සූපවේදිනී

ජනනී ගුරුසිංහ ඉදිරිපත් කරයි.