මුළුතැන්ගෙයි වැඩ පහසු කරන පුංචි පුංචි රහස්

අගෝස්තු 29, 2022

 

ගෘහණියට කාර්යබහුල කාලයක් ගෙවීමට සිදු වන බව අප දන්නා දෙයකි. දෛනික කාර්යයන් සිදු කර ගැනීමේ දී වෙහෙස මහන්සිය අඩු කරගන්නත් ඕනේ. අරපිරිමැස්මෙන් කටයුතු කරන්නටත් ඕනේ. ඒ සඳහා උදව්වක් ලෙස ගෘහ විද්‍යා දැනුම ඔබ වෙත බෙදා දෙන විශේෂාංගයේ තවත් පියවරකි මේ. අද අපි පුංචි පුංචි රහස් ටිකක් විමසා බලමු.

 

කූඹි... කූඹි...

 

සීනි බෝතලයට කූඹි ඒම හරිම කරදරයක් නේද? සීනි බෝතලය වටා පොල්තෙල් ටිකක් ආලේප කර තබන්න. කූඹින් පැමිණීම වළක්වා ගන්න පුළුවන්.

 

බත රොස් වීම

 

බත් පිසින විට බත රොස් වීම කරදරයක්. රොස් ගඳ එන විගසම ළිපෙන් බාගන්න. ඒ තුළට පාන් පෙත්තක් දමා වසා තබන්න බත නිවුණු පසු පාන් පෙත්ත ඉවත් කරන්න. රොස් ගඳ නැති වේවි. නැත්නම් රොස් වූ බත් මුට්ටිය මතින් පොල් බෑයක් මුනින් තබා වසා බත නිවුණු පසු පොල් බෑය ඉවත් කිරීමෙන් ද රොස් ගඳ නැතිකර ගත හැකි වේවි.

 

මාළු පිසීමේ දී

 

මාළු පිසීමේ දී ඇතිවන ගැටලුවක් තමා පිළීගඳ ඉවත්ව නොයෑම. එයට පිළියමක් ලෙස මාළු කපා සෝදා ගන්නා විට එම වතුරට දෙහි ගෙඩියක් කැබලිවලට කපා දමන්න. ඉන් පසුව කිහිප වරක් සෝදාගන්න. එයින් පිළිගඳ ඉවත් කර ගැනීමට හැකි වේවි. මාළු පිසින විට නිතර නිතර පියන ඇර බැලීම නිසා ද පිළිගඳ ඇතිවෙනවා. එම නිසා මාළු තැම්බෙන්නට තබා එක වරක් ඇර බැලීමෙන් පසු ආයෙත් වසන්න එපා.

මාළු පිසින විට එයට තක්කාලි ගෙඩියක් කපා එකතු කරන්න. එමඟින් රස වැඩි වේවි. මාළු හොද්දට ලුණු වැඩි වුවහොත් එය ළිපෙන් බා කඩදාසි කැබැල්ලක් හොද්ද මත තබා වසා තබන්න. වැඩි ලුණු ඉවත් වේවි. අර්තාපල් කැබලි කීපයක් කපා දැමීමෙන් ද ලුණු වැඩි වූ ව්‍යාංජනයක ලුණු රස පදමට සකසා දේවි.

 

එළවළු තෝරන විට

වෙළෙඳපොළට යන ගෘහණිය අතේ ඇති මුදලට තම අවශ්‍යතාවන් සඳහා එළවළු මිල දී ගන්නා විට ගුණාත්මක භාවයෙන් වැඩි එළවළු මිල දී ගන්නත් උත්සුක වෙන්න ඕනෑ. බීට්රූට් මිලදී ගන්නා විට කොළ අඩු පස් සහිත බීට්රූට් මිලට ගන්න. වම්බටු තෝරා ගන්නා විට දම් පැහැයෙන් යුතු කුඩා වම්බටු ගෙඩි, පණුවන් විද සිදුරු නැති වම්බටු ගෙඩි මිලදී ගන්න. ඒ වගේම තක්කාලි මිලට ගන්නා විටත් ඉදුණු තක්කාලි මිලට ගන්න එපා. රතු පාටට ළං වූ යාන්තමින් කොළ පැහැය ඇති තක්කාලි මිලට ගන්න. ඉරි තැලී පොඩි වී අපතේ යාම වළක්වා ගන්න පුළුවන් වන්නේ එවිටයි.

 

පලා....

 

පලා වර්ග මිටි දෙකක් පමණක් මිලට ගන්න. නැත්නම් කොළ ඉදී යයි. මැළවී යාවි.

 

ආහාර පිසින විට...

 

එළවළු තෙම්පරාදු කරන විට සුදු ලූනු ටිකක් පොතු පිටින් තළා මිශ්‍ර කරන්න. ඉමිහිරි සුවඳක් හා ප්‍රණීත රසයක් ගෙන දේවි.

කරවල බදින විට සීනි ස්වල්පයක් එකතු කිරීමෙන් රස වැඩි කරගත හැකියි. සලාද සැකසීමේ දී සලාද කොළ පිහියෙන් කැපූ විට දුඹුරු පැහැයක් ඇති වේ. ඒ නිසා අතින් කඩා සලාද සකස් කරන්න. කෑලි කැඩී නොයා තක්කාලි බැදගන්න අවශ්‍ය නම් කැපූ තක්කාලි කැබලි විනාකිරි මිශ්‍රණයක බහා තබා බැදගන්න. කෑලි නො කැඩී තක්කාලි ගෙඩි කැපීමේ දී පොඩි වී යන එක වළක්වා ගන්න නම් බෙරි වූ තක්කාලි ගෙඩි කැපීමට පෙර විනාඩි දහයක් පමණ විනාකිරිවල බහා තබා කපාගන්න. පොඩි නොවී කපා ගත හැකි වේවි.

 

ධාන්‍ය පිසීමට පෙර

 

කව්පි, කඩල, මුං වැනි ධාන්‍ය පිසීමට පෙර රැයක් ජලය දමා පොඟවා ගන්න. පිසීමට ගතවන කාලය අඩු වේවි. එයින් ඉන්ධන පිරිමසා ගන්නත් පුළුවන්. මුං ඇට අංකුර ඇදීමට ලක් කර පිස ගැනීමෙන් පෝෂණ ගුණය වැඩි වේවි. වැඩිපුර ප්‍රෝටීන් ලබා ගත හැකි වේවි.

 

කරපිංචා

කරපිංචා කල් තබා ගන්නත් අපහසුයි නේද? කොළ හැලී වේළි අපතේ යනවා. නමුත් ඔබට පුළුවන්. වැඩියෙන් කරපිංචා ඇති විට ඒවා හොඳින් සෝදා වතුර බේරෙන්නට තබා තෙල් ස්වල්පයක් යොදා බැදගන්න. ඉන්පසු කුඩු කරගන්න. බෝතලයක අසුරා තබා ව්‍යංජනවලට එකතු කරන්න. අමු කරපිංචා යොදනවාට වඩා වැඩි රසයක් සුවඳක් එයින් ලැබේවි.

 

පොල් සම්බෝල

 

පොල් සම්බෝලය අපේ මුළුතැන්ගෙවල්වල පහසුවෙන් සකස් කරන දෙයකි. පොල් සම්බෝලය සාදන විට කෑලි මිරිස් වෙනුවට යාන්තම් පුළුස්සා ගත් මිරිස් කරල් ගලේ අඹරා ගෙන එක් කරන්න. රසය වැඩි බව ඔබටම වැටහේවි.

හාල්මැස්සන් ගෙනා පසුව විවේක වෙලාවක හාල්මැස්සන් ඔළු ටික කඩා වෙන් කරගන්න. ළිප ළඟ ඇති මැටි මුට්ටියක හාල්මැස්සො ටික අසුරා තබාගන්න. අවශ්‍ය වූ විගස ගැනීමට එය පහසුවක් වේවි. ඒ වගේම කඩාගත් ඔළු ටික වැලි ඉවත් වන සේ හොඳින් සෝදා වියළා කුඩුකර ගන්න. එය බෝතලයක අසුරා තබාගෙන පොල්සම්බෝල හදන විට ස්වල්පයක් එකතු කරන්න. එයින් රසය සහ ගුණය යන දෙකම ලැබේවි. ඉවත දැමූ හාල් මැස්සන් ඔළු ටික හරිම ප්‍රයෝජනවත් කියලා ඔබට සිතේවි. ව්‍යංජනාදියටත් එකතු කර බලන්න පුළුවන්. ගෙදර අය හරිම කැමැති වේවි. උම්බලකඩ සඳහා යන වියදම ඉතුරු කරන්න හැකියි. පිළිකාකාරක විවිධ රසකාරක යෙදීමෙන් ද වැළැක්විය හැකියි. එබැවින් ඔබේ පවුලේ අය ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව රැකේ. මෙන්න මේ හොඳ ආහාර පුරුදු ඔබත් අනුගමනය කර බලන්න. අරපිරිමැස්මෙන් කටයුතු කිරීමෙන් පවුලේ සතුට ආරක්ෂා කර ගැනීමට ඔබටත් හැකිවේවි.

උපදෙස් 
හේවාහැට රහතුන්ගොඩ මහ විද්‍යාලයේ 
නියෝජ්‍ය විදුහල්පතිනි 
ඉන්ද්‍රානි විජය බණ්ඩාර