රස වෑහෙන වියදම් අඩු කෑම බීම

සැප්තැම්බර් 19, 2022

 

දේශීයත්වය අගය කරන ඔබට, ඔබේ පවුලේ පෝෂණය වෙනුවෙන් එකතුකර ගත හැකි අගනා කෑම බීම කිහිපයකි. පහසුවෙන් සකසාගත හැකි මේ රසවත් ආහාර පවුලේ සුවසෙත ඉහළ නංවන අතර වියදම් අධික මේ කාලයේ ඔබේ පසුම්බියට සහනයක් ද ගෙන ඒවි.

 

උපදෙස් හා ඡායාරූප

ප්‍රවීණ සූපවේදිනී තිලානි විතානගේ

 

 

 බැටර් ෆ්‍රයිඩ් බතල දලු

 

බතල දලු අවශ්‍ය පමණට (මේ සඳහා මඳක් ලොකු දලු ගන්න)

පාන් පිටි මේස හැඳි 3ක්

ලුණු ඔබේ රස පදමට

බැදීමට තෙල්

බිත්තරයක්

 

මුලින්ම බතල දලු ලුණු වතුරෙන් සෝදා වතුර බේරෙන්න තියන්න. දැන් බැටර් එක හදා ගනිමු. පාන් පිටි මේස හැඳි 2ක් හා බිත්තරය කඩා භාජනයකට දමන්න. එයට ලුණු එකතු කර වතුර ස්වල්පය බැගින් දමමින් හැන්දකින් මිශ්‍ර කර කට්ලට් දවටනයට වඩා ටිකක් ඝනකමින් යුත් බැටර් එකක් හදා ගන්න. වෙනම පාන් පිටි මේස හැන්දක් පිඟානකට දාන්න.

දැන් පරෙස්සමට බතල කොළ එක බැගින් ගෙන පාන් පිටිවල තවරා ගන්න. (එහෙම කරන්නේ බතල කොළවලට බැටර් එක තවරා ගැනීමට ලේසි වෙන්නයි.)

පාන් පිටි තැවරු බතල කොළ බැටර් එකේ තවරා එකවර කොළ 2ක් වගේ ගැඹුරු තෙලට දමා රන්වන් පැහැ වනතුරු බැද ගන්න.

*********************

බතල දලු තෙලට

ළපටි බතල දලු

අබ ස්වල්පයක්

තළාගත් සුදු ලූනු

ලියාගත් බී ලූනු, අමුමිරිස් හා තක්කාලි

කෑලි කපාගත් වියළි මිරිස් කරල් 2ක්

සෝයා සෝස් ටිකක්

කහ සහ කෑලි මිරිස් ස්වල්පයක්

පදමට ලුණු

 

බතල දලුවල කිරි තියෙන නිසා කොළ ටික සෝදා ටික වේලාවක් මඳ පවනේ කිරි වැරෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ කංකුං තෙල් දානකොට වගේ ලොකු කෑලි කපා ගන්න.

භාජනයක් ළිපේ තියා ඒකට අබ දමා පුපුරුවා තළාගත් සුදු ලූනු, ලියාගත් අමුමිරිස්, රතු ලූනු, තක්කාලි හා කපා ගත් වියළි මිරිස් කැබලි ටිකත් දමා තෙම්පරාදු කරන්න. තෙම්පරාදු කරන ගමන් හැන්දකින් තක්කාලි කෑලි ටික පොඩි කරන්න.

ඊට පස්සේ ඒකටම බතල දලු ටික එකතු කර කහ ස්වල්පයක්, කෑලි මිරිස්, සෝයා සෝස් හා පදමට ලුණු එකතු කරන්න. කංකුං වගේම බතල දලු ඉක්මනින්ම මැලවෙන නිසා වැඩි වෙලා ළිපේ තියන්න අවශ්‍ය නෑ. අවශ්‍ය නම් උම්බලකඩ, කූනිස්සෝ, හාල්මැස්සන් වගේ ඕනෙම දෙයක් මේකට එකතු කර ගන්න පුළුවන්.

********************

තිබ්බටු තෙම්පරාදුව

 

තිබ්බටු ටිකක්

පිරිසුදු කරගත් උම්බලකඩ, හාල්මැස්සන් හෝ කූනිස්සන්

ලියාගත් අමුමිරිස්, බී ලූනූ, තක්කාලි, සුදු ලූනු හා කරපිංචා

කහ ස්වල්පයක්, කෑලි මිරිස්, අබ ස්වල්පයක් හා පදමට ලුණු

 

මුලින්ම තිබ්බටු සෝදා නැටි අයින් කර වතුර ටිකක් දමා හොඳින් තම්බා ගන්න.

තම්බා ගත් තිබ්බටු පෙරා වතුර ඉවත් කර ගන්න.

දැන් තම්බා වතුර පෙරා ගත් තිබ්බටු ටික භාජනයකට දමා හැන්දකින් ඇට එළියට එනකම් පොඩි කර පසෙකින් තබා ගන්න.

භාජනයක් ළිපේ තියා තෙල් දමා රත් කර අබ ටික පුපුරුවා ගන්න. ඒකටම කපාගත් සියලු දේ හා උම්බලකඩ, හාල්මැස්සන් හෝ කූනිස්සන් දමා පොඩ්ඩක් බැදෙන්න හැර එයටම කහ සහ කෑලි මිරිස් එකතු කරන්න.

දැන් තිබ්බටු ටික දමා හොඳින් මිශ්‍ර කර ලුණු අවශ්‍ය නම් එකතු කර ළිප නිවා දමන්න.

***************

වෙරළු බීම (එක් වීදුරුවක් සඳහා)

අවශ්‍ය වන්නේ,

හොඳින් ඉදුණු වෙරළු ගෙඩි 5ක්

ලුණු හා සීනි ඔබේ රස අනුව

වැනිලා අයිස් ක්‍රීම් ටිකක්

අයිස් වතුර කෝප්පයක්

 

 

සෝදා පිරිසුදු කරගත් වෙරළු ගෙඩි, අයිස් වතුර, ලුණු හා සීනි සමඟ හොඳින් බ්ලෙන්ඩ් කරන්න. (වෙරළු ඇටත් එක්ක දාන නිසා බ්ලෙන්ඩරයේ වේගය අඩුවෙන් දමා බ්ලෙන්ඩ් කරන්න.)

දැන් ජූස් එක පෙරාගෙන උඩින් වැනිලා අයිස් ක්‍රීම් දමා රස විඳින්න.

 

**************

නිල් කටරොළු සව් කැඳ

නිල් කටරොළු මල් 10ක් - 15ක් පමණ

සව් ඇට මේස හැඳි 4ක්

උකු පොල් කිරි කෝප්ප 2ක්

සීනි ඔබේ රස පදමට

ලුණු ස්වල්පයක්

කජු හා ප්ලම්ස් (අවශ්‍ය නම්)

වතුර පීරිසි කෝප්ප 3ක් හා උතුරන වතුර කෝප්ප 1/2ක්

 

 

මුලින්ම නිල් කටරොළු මල් ටික කෝප්පයකට දමා උතුරන වතුර කෝප්ප 1/2ක් එකතු කර වසා තබන්න (වතුර ටික තද නිල් පැහැ වෙනකම්) දැන් සව් ටික හොඳින් සෝදා වතුර කෝප්ප 3ක් දමා ඒකටම ලුණු ස්වල්පයක් එකතු කර අඩු ගින්දරේ ළිපේ තබන්න. හොඳින් බුබුළු දමා උතුරනකම් ළිපේ තියන්න.

සව් මිශ්‍රණය උතුරන කොට පොල් කිරි කෝප්ප 2ක් එකතු කර හොඳින් හැඳි ගාන්න. දැන් නිල් කටරොළු මල් අයින් කරපු නිල් පැහැති වතුර ටිකත් සව් මිශ්‍රණයටම දමා අඩු ගින්දරේ හොඳින් හැඳි ගාමින් සව් කැඳ පිස ගන්න. දැන් මෙය ලස්සන නිල් පැහැයක් ගන්නවා.

කජු, ප්ලම්ස් හා සීනි එකතු කරන්න. අවශ්‍ය නම් ළිපේ තියෙද්දීම එකතු කර ගන්න පුළුවන්.

දැන් රසවත්, ලස්සන කැඳ එකක් ලෑස්තියි. උණුවෙන්ම හෝ ශීත කර රස විඳින්න.