මුහුදු මාළු අඩුව සපුරන්න පෝෂණය සපිරි වැව් මාළු

ඔක්තෝබර් 3, 2022

 

අපේ රටේ වඩාත් ජනප්‍රිය මුහුදු මාළුය. ඒත් මේ කාලයේ මුහුදු මාළු වෙනුවෙන් ගෙවන්නට සිදුව ඇති මිල නම් බොහෝ දෙනකුට දරා ගත නොහැකි වී තිබේ. දරුවන්ගේ පෝෂණය මෙන්ම වැඩිහිටියන්ගේ පෝෂණය වෙනුවෙන් මත්ස්‍යයන් ආහාර වේලට එකතු කර ගත යුතුය. මුහුදු මාළුවල ගණන් දරා ගන්න නොහැකි අය විකල්පය ලෙස කුකුළු මස් තෝරා ගනී. එහෙත් දැන් කුකුළු මස්වල මිල ද අසීමිත ලෙස ඉහළ ගොස් තිබේ. එසේ නම් අපිට කන්නට මාළු ඇත්තේම නැද්ද? ලාංකේය අපට කන්නට හැකි මත්ස්‍ය වර්ග කිහිපයකි. ඒ වැව් මාළු, වෙල් මාළු, ගඟේ මාළු ය. කලපු මාළු ද එයට එක්කර ගත හැක්කේ ගැඹුරු මුහුදට නොගොස් අල්ලා ගත හැකි නිසාය. ඒ කෙසේ වෙතත් අප මේ කියන්නේ වෙල් මාළු, වැව් මාළු හා ගඟේ මාළු පිළිබඳය.

 

මට මතකයට නැඟෙන්නේ මගේ කුඩා අවදියයි. එදවස ද අද මෙන්ම මා වෙල් මාළු කන්නට ප්‍රියය. අපි හතර දෙනාට වෙල් මාළු කෑමට ඇති කැමැත්ත දන්නා තාත්තා අප වෙනුවෙන්ම දැල් ගසා මාළු අල්ලාගෙන එයි. එකල අද මෙන් ඇළ දොළ අපිරිසුදු වී තිබුණේ නැත. කිසිදිනෙක පිටතින් සල්ලි දී මාළු ගැනීමට රිසි නොවූ තාත්තා කීවේ ළමයින් ට කන්න නම් තමාම දැල් ගසා අල්ලා ගත යුතු බවකි. මේ නිසාම අපිට නැවුම් වෙල් මාළු ආහාරයට ලැබුණි. ලූලා, කාවයියා, බට්ටා, කොරලි, සාලයෝ, හුංගා, වැලිගොව්වා, පෙතියා, කණයා ආදී මසුන් මෙන්ම වෙල් ඉස්සන් ද ඒ අතර විය. වෙල් ඉස්සන් අල්ලන් ආ කල සෝදා පිරිසුදුකර ලුණු දමා තම්බා තැබීම අම්මා ගේ සිරිතය. එහෙත් පසුදා අප හතර දෙනා පේළියට ගොස් ඒ ඉස්සන් ඇතිළිය අහවර කරන්නෙමු. වෙල් මාළු නම් රාත්‍රීයේම පිළියෙල කරයි. වෙල් මාළු සෙවල ගතියෙන් මෙන්ම පිළී ගඳින් ද ඉහළය. මේ නිසාම වෙල් මාළු අළු දමා ශුද්ධ කර කැපූ පසු දහපාළොස් සැරයක් සේදීම අම්මාගේ සිරිතය. පිළී ගඳ යවන්නට නාරං කොළ සහ දෙහි කොළ දමා සෝදා ගනී. දවස් ගාණක් තැම්බුණු මුහුදු මාළුන්ට වඩා මේ වෙල් මාළු නැවුම්ය. වැව් මාළුන්ගේ හෝ ගංගා මාළුන්ගේ කතාව ද මීට දෙවැනි නොවේ. පෝෂණ ගුණයෙන් ඉහළ නැවුම් වෙල් මාළු, වැව් මාළු හා ගංගා මාළු අද ද අපට පහසුවෙන් සොයාගත හැකිය. එසේ නම් වැඩි මුදලක් වියදම් වන මුහුදු මාළු ගැන නොසිතා වෙල් මාළු ආහාරයට ගැනීම, හීන වී යන පෝෂණය රැක ගැනීමට ගත හැකි හොඳම පියවරකි.

 

එහෙත් පොෂ් එකට හිතන සමහරෙක් වෙල් මාළු කී සැණින් මුහුණ ඇඹුල් කර ගනී. ඒත් ඔවුන් අනුරාධපුරේ හෝ කතරගම පැත්තේ ගියහොත් සොයන්නේ වැව් මාළු රස බැලීමටය. ඒ නිසා බොරු සෝබන නැතුව පෝෂණ ගුණ සපිරි වෙල් මාළු, වැව් මාළු හෝ ගංගා මාළු වේවා ආහාරයට ගැනීමට සිතන්නේ නම් ළමා ළපටින්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ පෝෂණය ගැන වද විය යුතු නැත.

 

මේ මාළු ද මුහුදු මාළු පිසින ක්‍රමවලටම සකසා ගත හැකියි. කිරට, මිරිසට, තෙලට මෙන්ම බැද ආහාරයට ගත හැකියි. ඒ නිසා දිය කඩිති අපවිත්‍ර නොවූ ඉසව්වක් සොයා වෙල් මාළු ටිකක් අල්ලා ගන්න. මේ වෙල් මාළු විවිධ ක්‍රමවලට අල්ලා ගනී. එසේ අල්ලන අයගෙන් මිල දී ගැනීමට ද හැකියි.

 

වෙල් මාළුවල ඔමෙගා – 6, ඔමෙගා – 3 මේද අම්ල, කැල්සියම්, ප්‍රෝටීන්, ෆෝලික් ඇසිඩ්, මැග්නීසියම්, පොටෑසියම්, සෙලිනියම්, නියැසින්, විටමින් – E, විටමින් B -12, මෙන්ම ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ද යුතුයි.

ඒ නිසාම අද සුපවේදිනී තිලානි විතානගේ විසින් වෙල් මාළු හෝ වැව් මාළු රසට පිසින ක්‍රමයක් ගෙන එයි. ඔබත් මේ විදිහට සකසා රස බලන්න. කුඩා දරුවන්ට දෙන විට හොඳින් කටු ඉවත්කර දෙන්න.

 

නැගෙනහිර ක්‍රමයට වැව් මාළු උයමු

 

 

 

පිරිසුදු කර කැබලි කපාගත් වැව් මාළු

කිලෝ 1ක්

කොච්චි

සුදු ලූනු බික් 10ක්

කහ, මිරිස් කුඩු හා බැදපු තුනපහ කුඩු

ගම්මිරිස් කුඩු

රතු ලූනු, රම්පේ, කරපිංචා, සේර

ලියාගත් රතු ලූනු

ගොරකා පේස්ට්

පොල් තෙල් මේස හැන්දක්

 

 

මුලින්ම මාළු කෑලිවලට ලුණු, ගම්මිරිස් හා කහ තවරා පසෙකින් තබා ගන්න. යහමින් සුදු ලූනු, කොච්චි හා රතු ලූනු එකට දමා කොටා පසෙකින් තබා ගන්න. දැන් භාජනයක් ළිප තියා පොල් තෙල් දමා රත් කරන්න.

එයට කලින් හදාගත් සුදු ලූනු පේස්ට් එක, රම්පේ, කරපිංචා, බී ලූනු, සේර දමා මඳක් බැදෙන්න හරින්න. බැදීගෙන එනකොට බැදපු තුනපහ කුඩු හා මිරිස් කුඩු එකතු කරන්න. එයටම මාළු කැබලි ටික දමා මාළු වැහෙන ප්‍රමාණයට වතුර එකතු කර ගොරකා පේස්ට් ටිකත් දමා හොද්ද මඳක් හිඳෙනකම් උයා ගන්න.

 

 

උපදෙස් හා ඡායාරූප

ප්‍රවීණ සූපවේදිනී

තිලානි විතානගේ