රසාර

ඔක්තෝබර් 17, 2022

chicken and coriander soup

 

කුකුළු මස් ග්‍රෑම් 200ක්

බෝංචි ග්‍රෑම් 100ක්

කොටු කපාගත් කැරට් ග්‍රෑම් 100ක්

කුඩාවට කපාගත් බී ලූනු ග්‍රෑම් 25ක්

සුදුලූනු ග්‍රෑම් 10ක්

කුකිං ක්‍රීම් මිලීලීටර් 100ක්

කොටු කපාගත් අර්තාපල් ග්‍රෑම් 100ක්

කොත්තමල්ලි කොළ

අමු මිරිස්

රස අනුව ගම්මිරිස් සහ ලුණු

කොටු කපාගත් කුකුළු මස්, කැරට්, බෝංචි, අර්තාපල්, සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ, අමු මිරිස්, සුදුලූනු, සිහින්ව ලියාගත් බී ලූනු පසෙකින් තබා ගන්න.

පළමුව සුප් එක සාදාගන්නා භාජනයට බටර් එකතු කොට ක්‍රමයෙන් රත් වද්දී බී ලූනු, සුදුලූනු දමා හැඳි ගා ගන්න. එයට කැරට්, බෝංචි, අර්තාපල් , අමු මිරිස් එකතු කර ගනිමින් තවත් විනාඩියක් පමණ හොඳින් කලවම් කරගන්න. සුප් කෝප්ප දෙකක පමණ වතුර ප්‍රමාණයක් එකතු කර විනාඩි පහක් පමණ රත් කර ගන්න. අවසානයේ කුකිං ක්‍රීම්, ලුණු, ගම්මිරිස්, කොත්තමල්ලි කොළ එකතු කොට තව විනාඩියක් පමණ තබා ළිපෙන් බාගන්න. රොටි හෝ පාන් පෙති දෙකක් සමඟින් රාත්‍රියට සමබර ආහාර වේලක් ලෙස එකතු කරගත හැකියි. මේ ප්‍රමාණය තිදෙනකුට සෑහේ.

 

 

*****************************

Fish N Chips

 

ගල් මාළු ග්‍රෑම් 175ක්

ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ග්‍රෑම් 100ක්

තම්බාගත් ග්‍රීන් පීස් ග්‍රෑම් 75ක්

බිත්තර එකක්

පාන් පිටි ග්‍රෑම් 25ක්

ලුණු ස්වල්පයක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

මයෝනේස් සෝස් මිලිලීටර් 100ක්

සිහින්ව කපාගත් ගර්කින් ග්‍රෑම් දහයක්

සිහින්ව කපාගත් පාස්ලි සහ capers ස්වල්පය බැගින්

පළමුව ගල් මාළු කැබැල්ල තුනියට දිගට කටු ඉවත් කොට කපා ගන්න. ඉන්පසු එය හොඳින් පිරිසුදු කර භාජනයකට දමා ලුණු, ගම්මිරිස්, දෙහි යුෂ එකතු කොට සීසන් වන්නට තබන්න.

ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සුපර් මාර්කට් එකකින් මිලදී ගත හැකියි. එසේ නැතහොත් ගෙදර අල කපා බාගෙට තම්බා පසුව ගැඹුරු තෙලේ බැද ගැනීමට ද හැකියාව ඇත.

පොඩි බෝල් එකකට සිහින්ව කපාගත් ගර්කින්, කේපර්ස්, පාස්ලි සමඟ දෙහි යුෂ ස්වල්පයක් දමා මයෝනේස් සෝස් ද එයටම දමා හොඳින් කලවම් කරගන්න. එය පසෙකින් තබන්න.

සීසන් කර ගත් මාළු කැබලි, පාන් පිටි හා බිත්තර බැටර් එකේ (පාන් පිටි සහ බිත්තර සාරු ස්වල්පයක් සමඟ සාදා ගන්නා උකු දියරය) බහා ගැඹුරු තෙලේ බැදගන්න. ඉන්පසු ගැඹුරු තෙලෙන් අල ද (french fries) බැද ගන්න. අවශ්‍ය නම් එයට ලුණු, මිරිස් කුඩු ස්වල්පයක් ඉස ගන්න. පසුව දෙහි කැබැල්ලක් සමඟ තම්බාගත් ග්‍රීන් පීස් ඇට දමා ඉහත සදාගත් මිශ්‍රණය ද සමඟින් ෆිෂ් ඉන් චිප්ස් රස විඳ ගන්න.

**********************

 

Fettuccine Sausage Napolitana

 

පැස්තා ග්‍රෑම් 500ක්

චිකන් සොසේජස් ග්‍රෑම් 250ක්

(පෙති කපාගත්)

සිහින්ව ලියාගත් ලූනු ග්‍රෑම් 25ක්

තළාගත් සුදුලූනු ග්‍රෑම් 15ක්

නැවුම් තක්කාලි ගෙඩි 2ක්

තක්කාලි පියුරේ හෝ තක්කාලි

සෝස් මිලිලීටර් 500ක්

සිහින්ව කපාගත් පාස්ලි

ඔලිව් තෙල්

කෑලි මිරිස්

රස අනුව ලුණු හා ගම්මිරිස්

 

 

පළමුව පැස්ටා සුපුරුදු ලෙස බාගෙට තම්බා ගන්න. එයට තෙල් ස්වල්පයක් දැමීමෙන් ඇලෙන්නේ නැතිව තිබේවි. නිවා ගැනීම සඳහා පසෙකින් තබන්න.

රත් කර ගත් නන්ස්ටික් පෑන් එකකට තෙල් ස්වල්පයක් දමා සිහින්ව ලියාගත් ලූනු, සුදුලූනු, පාස්ලි, තක්කාලි දමා කලවම් කරගන්න. එයට පෙති කපාගත් සොසේජස්, කෑලි මිරිස් එකතු කර විනාඩි 5ක් පමණ තක්කාලි සෝස් සමඟ පිසගන්න.

බාගෙට තම්බා ගත් පැස්ටා ටික ගෙන ලුණු, ගම්මිරිස් දමා විනාඩි 5ක් පමණ තබා ළිපෙන් බාගන්න. Fettuccine sausage napolitan රස විඳ ගන්න. චීස් එකතු කර ගැනීමෙන් මෙහි රස තවත් වැඩිකර ගත හැකියි.

 

 

උපදෙස්

Colombo Court Hotel හි

ප්‍රවීණ සුපවේදි

ජගත් ලියනගේ