එකක් දෙකක් එක්ක බත් ටිකක් කන්න හිතන ඔබට...

නොවැම්බර් 7, 2022

 

අපේ ගෘහණියන් අද කාලයේ කෑම හදන්න පහසුව, ඉක්මන, පෝෂණය, රසය ආදී කරුණු කාරණා සැලකිල්ලට ගන්නවාමයි. මේ දිනවල තියෙන ආර්ථික අපහසුතා එක්ක බොහෝ වෙලාවට එකක් දෙකක් හදලා බත් ටිකක් එක්ක කන්න තමයි මේ අතරින් වැඩි දෙනෙක් හිතන්නේ. ඒ විදිහට එකක් දෙකක් හදන කොට ඒවත් එක්ක බත් කන්න නම් කටට රසයක් වගේම පෝෂණයත් තියෙන්න ඕනේ.

ඒ නිසා අද අප ඔබට ගෙන එන්නේ එලෙස එකක් දෙකක් සාදන අවස්ථාවල පහසුවෙන් හා වැඩි වියදමක් නැතුව සෑදිය හැකි රසවත් කෑම වර්ග කිහිපයකි. වියදම අවම කරන්න, පහසුවෙන් හදන්න මේ කෑම ඔබටත් උදේට, දවල්ට මෙන්ම රෑටත් ගළපා ගත හැකියි.

 

 

උපදෙස් හා ඡායාරූප

ප්‍රවීණ සූපවේදිනී

තිලානි විතානගේ

 

ගෝවා බත්

 

බෙරි නොවෙන්න උයාගත් බත්

සිහින්ව ලියාගත් ගෝවා

තළාගත් සුදු ලූනු

ලියාගත්අමු මිරිස් කරල් 2ක් හා බී

ලූනු ගෙඩියක්

බටර් හෝ තෙල් මේස හැඳි 2ක්

පදමට ලුණු හා ගම්මිරිස් කූඩු

 

 

මුලින්ම භාජනයක් ළිප තබා බටර් හෝ

තෙල් දමා රත් කර එයට තළාගත් සුදු

ලූනු දාන්න. සුදු ලූනුවලින් බත් එකට රසක් වගේම හොඳ සුවඳක් එනවා. එයට ලියාගත් අමු මිරිස් හා බී ලූනු දමා බැදෙන්න හරින්න. අවසානයට ගෝවා, ගම්මිරිස් හා පදමට ලුණු දමා ඒ එක්කම බත් ටික දමා හැන්දකින් හොඳින් මිශ්‍ර කර උණුවෙන්ම කෑමට ගන්න.

මෙය ඔබට රාත්‍රීයට සකසා ගත හැකි පහසු කෑමකි. මේ බත විතරක් ම කෑමට ගත හැකියි. එහෙම නැත්නම් පරිප්පු හෝ අල කිරට සකසා එකතු කර ගත හැකියි. බිත්තරයක් තම්බා එකතු කර ගන්නත නැත්නම් මාළු කෑල්ලක් බැදලා එකතු කර ගන්නටත් හැකියි.

**********************

පුච්චපු ඉදුණු තක්කාලි ලුණු මිරිස්

 

ඉදුණු තක්කාලි ගෙඩියක්

රතු ලූනු ගෙඩි කිහිපයක්

ඉදුණු නයි මිරිස් කරල් 2ක්

සුදු ලූනු බික් 2ක්

පදමට ලුණු

දෙහි ඇඹුල් ස්වල්පයක්

කෑලි මිරිස් ස්වල්පයක්

 

 

තක්කාලි ගෙඩිය හා සුදු ලූනු ගෙඩි කෙසෙල් කොළයක ඔතා දර ළිපේ ගිනි අඟුරු යට තබා දෙපැත්ත හරවා විනාඩි කිහිපයක් පමණ පු‍ලුස්සා ගන්න. නැත්නම් ගෑස් ළිපට අල්ලා පුලුස්සා ගන්න. පසුව පිටතට ගෙන තක්කාලි ගෙඩියේ පොත්ත ගලවා ඉවත් කරන්න. දෙහි ඇඹුල් හැර ඉතිරි සියලුම දේවල් ගලේ අඹරා හෝ කොටා අපි සාමාන්‍ය ලුණු මිරිස් හදන විදිහට හදා ගන්න. අවසානයට දෙහි ඇඹුල් එකතු කරන්න.

උදෑසනට සුදු හාලේ බතට මේ ලුණු මිරිස පමණක් එකතු කර ගත හැකියි.

**********************

 මියෙන දලු තෙලට

ළපටි මියෙන දලු

අබ ස්වල්පයක්

තළාගත් සුදු ලූනු

ලියාගත් බී ලූනු, අමු මිරිස් හා ඉදුණු

තක්කාලි ගෙඩියක්

කෑලි මිරිස් ස්වල්පයක්

පදමට ලුණු

 

මියෙන දලු අතින් කුඩා කැබලි කඩා හොඳින් සෝදා වතුර බේරා ගන්න. භාජනයක් ළිපේ තියා එයට අබ දමා පුපුරුවා ගන්න. තළාගත් සුදු ලූනු, ලියා ගත් අමු මිරිස්, රතු ලූනු හා තක්කාලි එකතු කර තෙම්පරාදු කරන්න.

එය තෙම්පරාදු කරන ගමන් හැන්දකින් තක්කාලි කෑලි ටික පොඩි කරන්න. මියෙන දලු එකතු කර කහ ස්වල්පයක්, කෑලි මිරිස් හා පදමට ලුණු එකතු කරන්න. වැඩි වේලා ළිපේ තැබීමට අවශ්‍ය නෑ. මියෙන දලු ගොරකා එකතු කර මිටි කිරි ස්වල්පයක් දමා හින්දා ඇඹුලක් ලෙස ද සෑදිය හැකි පලා වර්ගයකි.

අවශ්‍ය නම් කරවල කැබලි ටිකක්, උම්බලකඩ, කූනිස්සෝ, හාල්මැස්සන් වගේ ඕනෙම දෙයක් මේකට එකතු කර ගන්න පුළුවන්. මේ තෙල් දැමුම දහවල් කාලෙට බත් විතරක් එක්ක වුණත් කෑමට ගත හැකියි.

*******************

 දිය ලබු පොතු තෙල් දැමුම

 

සිහින්ව කපා ගත් දිය ලබු පොතු

තළා ගත් සුදු ලූනු, ලියාගත් අමු මිරිස්,

රතු ලූණු හා ඉදුණු තක්කාලි

කුඩාවට කපා ගත් වියළි මිරිස් කරල් 2ක්

අබ ස්වල්පයක්

කෑලි මිරිස්

කුඩාවට කපා ගත් අල ගෙඩියක්, ලූනු කොළ හෝ ලූනු මල් ටිකක් (අත්‍යවශ්‍ය නෑ)

පදමට ලුණු

අවශ්‍ය නම් උම්බලකඩ, කූනිස්සන් හෝ

සිහින්ව ලියාගත් කරවල ටිකක්

 

 

දිය ලබු පොතු ටික ලුණු වතුරේ දමා පිරිසුදු කර මිරිකා ගන්න. භාජනයක් ළිප තබා එයට තෙල් ටිකක් දමා රත් වෙන කොට අබ දමා පුපුරුවා ගන්න. එයටම වියළි මිරිස් කෑලි ටිකත් දාන්න. දැන් දිය ලබු පොතු හා ඉතිරි සියලුම දේවල් ටික දමා ඒකටම වතුර මේස හැඳි 3ක් එකතු කර ටික වෙලාවක් හොඳින් තෙම්පරාදු කර ගන්න.

ඒ ගමන් තක්කාලි කෑලි ටිකත් හැන්දකින් පොඩි කරන්න. අවසානයට කෑලි මිරිස් දමා පදමට ලුණු එකතු කර ගන්න. හරිම රසවත් කෑමකි. ලූනු කොළ හෝ ලූනු මල් එකතු කරනවා නම් ළිපෙන් අයින් කරන්නට පෙර එකතු කරන්න. කුඩාවට කපාගත් කරවල, හාල්මැස්සන් හෝ කූණිස්සන් එකතු කරනවා නම් තව ටික වේලාවක් ළිපේ තබන්න. උදෑසනට හෝ දහවලට බත් සමඟ එකතු කර ගන්න.

*******************

 බීට්රූට් මිශ්‍ර රට ඉඳි පානය

(එක් වීදුරුවක් සඳහා)

කුඩා බීට්රූට් ගෙඩියක්

රට ඉඳි ගෙඩි 2ක්

ඉඟුරු කැබැල්ලක්

අයිස් වතුර කෝප්පයක්

දෙහි යුෂ තේ හැන්දක්

 

 

 

සෝදා පොතු හැර කුඩා කැබලි කපා ගත් බීට්රූට්, ඇට ඉවත් කරන ලද රට ඉඳි, ඉඟුරු කැබල්ල හා අයිස් වතුර සමඟ හොඳින් බ්ලෙන්ඩ් කරන්න. පෙනේරයකින් වීදුරුවකට පෙරා දෙහි යුෂ එකතු කර රස විඳින්න. විවේකී වෙලාවට රස බලන්න සුදුසුයි.

*******************

කඩල සුප්

පැය 4ක් පමණ වතුරේ පොඟවා ගත් කඩල කෝප්ප 1/2ක්

තළාගත් සුදු ලූනු බික් 2ක්

ගම්මිරිස් ඇට කිහිපයක්

කරපිංචා කොළ කිහිපයක්

ලුණු ඔබේ රස පදමට

බටර් තේ හැන්දක්

 

 

 

අපි මේ සඳහා කඩල තැම්බූ වතුර භාවිත කරන නිසා කඩල හොඳින් සෝදා පිරිසුදු කර ගැනීමට වග බලා ගන්න. මුලින්ම කඩල ටික අතින් ඇල්ලු විට පොඩි වන තරමට තම්බා ගන්න. ප්‍රෙෂර් කුකර් එකේ නම් විසිල් 6ක් පමණ වෙනකම් තම්බා ගන්න. දැන් කඩල ටික පෙරා තම්බා ගත් වතුර සමඟ බ්ලෙන්ඩ් කරන්න. (කඩල කැබලි ටිකක් තිබුණාට කමක් නැහැ)

දැන් භාජනයක් ළිපේ තබා බටර් රත් කර, එයට තළාගත් සුදු ලූනු එකතු කර තෙම්පරාදු කරන්න.

එයටම බ්ලෙන්ඩ් කරගත් කඩල මිශ්‍රණය හා අනෙකුත් සියලු දේ දමා මඳ ගින්නේ උතුරුවා ගන්න. ලුණු බලා උණුසුම්ව පානය කරන්න. සුප් එක ඝනකම වැඩි නම් ළිපේ තියෙද්දීම තව වතුර ටිකක් එකතු කරන්න. රාත්‍රියට සුදුසු සුප් එකකි.