වර්ණවත් හැඩ පිරුණු නත්තලේ රස රහස

දෙසැම්බර් 19, 2022

සල්ලි තියෙනවනම් තියෙනවනම් හැමදාම නත්තල් කියලනේ අපි කට වචනයට කියන්නේ. නත්තල් කෑම මේසය හරිම පොහොසත්. හරිම රසවත්.ඒ වගේම හරිම වර්ණවත්. කියන්න අඩුවක් නොමැති තරම්.

මෙදා නත්තලේදී රසම රස, ලස්සනම ලස්සන නත්තල් රසකැවිලි ටිකක් ගෙන එන්න ඕන කියලා අපි හිතුවා.ඒ සිතුවිල්ල යථාර්ථයක් බවට පත් කළේ ප්‍රවීණ සූපවේදී මධුසංඛ කළුපහන. ඔහු අපිත් සමඟ එක්වන්නේ ඩුබා රාජ්‍යෙ ‍ෙය් සිටයි. ඩුබායි හි lego land හෝටලයේ දෙවැනි සූපවේදීයා (su - chef) ලෙස කටයුතු කරන ඔහු මේ ක්ෂේත්‍රයේ හසළ අත්දැකීම් ඇත්තෙක්.

හොට් කිචන්, පේස්ට්‍රි, බේකරී ...මේ ආදී සූපවේදී ක්ෂේත්‍රයේ ඕනෑම ඉසව්වක් පිළිබඳ දැනුමෙන් සපිරි ඔහු සූපවේදය පිළිබඳ තරගාවලීන්ට සහභාගි වෙමින් ජයග්‍රහණ රැසක් ලබා ගත්තෙක්.ඒවගේම සූපවේදය පිළිබඳ හැදැරීම් කරන අයට පුහුණු සැසි, දේශන පවත්වන්නෙක්.

ඒ අත්දැකීම් ඇසුරින් නිර්මාණය වන කෑම තරුණි පාඨකයන්ටත් නැවුම් අදහසක් ගෙන දෙන දේවී.

 
 

පාට පිරුණු රස ඩෝනට්ස්

නත්තල් කෑම මේසය සරසන රසකැවිල්ලක්

ලෙස ඩෝනට් එකතු කරගන්නත් පුළුවන්. ඩෝනට් ඕන තරම් දැකල ඇති. ඕන තරම් කාලත් ඇති. ඒත් බලන්නකෝ අඩු කාලයක් වැය කරමින් සාදා ගත හැකි මේ ඩෝනට්වල තියෙන ලස්සන.

- සීනි ග්‍රෑම් 70 ක්

- පිටි ග්‍රෑම් 250 ක්

- බටර් ග්‍රෑම් 40 ක්

- වැනිලා තේ හැඳි 1ක්

- ලුණු තේ හැඳි 1/2 ක්

- ඊස්ට් තේ හැඳි 2 ක්

- බිත්තර 1 ක්‌

- නැවුම් කිරි මිලීලීටර් 150 ක්

 

* භාජනයක් ගෙන එයට පිටි,සීනි ,ලුණු දමා හොඳින් කලවම් කරගෙන පැත්තකින් තබන්න.

* වෙනත් භාජනයකට කිරි,ඊස්ට් දමා කලවම් කර පැත්තකින් තබන්න.

* තවත් භාජනයක් ගෙන එයට බිත්තර,වැනිලා දියකරගත් බටර් දමා කලවම් කරගන්න.ඉන්පසු මෙය කිරි මිශ්‍රණයට එකතුකර කලවම් කරගන්න.

* පසුව මෙයට පිටි මිශ්‍රණය එකතු කර හොඳින් කලවම් වන සේ අනාගන්න.මේ ඩෝ එක අතේ නොඇලෙන පදමට අනා ගන්න ඕන. පසුව අනාගත් පිටි මිශ්‍රණය භාජනයකට දමා පිපෙන්න පැයක් වසා තබන්න.

* පිපුණු පසු මේසය මත පිටි ටිකක් ඉසගන්න. ඩෝ එක දාගෙන දිග හැරගන්න. එහි ඝණකම සෙන්ටිමීටර් 1 ප්‍රමාණයට ගන්න.

* දැන් ඩෝනට් කටර් එකක ආධාරයෙන් එකෙන් එක රවුම් කපාගෙන විනාඩි 10ක්‌ වසා තබා අඩු ගින්දරේ සෙමින් බැද ගන්න( වැඩි ගින්දරේ බැදීම තුළින් මැද අමු විය හැකියි).

 

* පසුව බැදගත් ඩෝනට් තෙල් බේරීමට සහ නිවෙන්නට ඉඩ හරින්න . අවසන්ව ඩබල් බොයිල් කරගත් චොකලට්වලින් ඩෝනට් ග්ලේස් කරගන්න.පසුව එය මත ස්ප්‍රිකල් ඉසගන්න. ස්ප්‍රිකල්වලින් ඩෝනට් එකට හරිම ලස්සනක්, මනා නිමාවක් ගෙන දෙනවා.

 

* දැන් රස බලා පිළිගන්වන්න.

--------------------------------

ක්‍රි‍ස්මස් කලර් බාර්

නත්තලට ම ආවේණික වන රතු, කොළ වර්ණයන්ගෙන් සැදුම්ලත් හරිම අපූරු රසකැවිල්ලක්.පෙනුම මෙහෙමනම් රස කොහොම ඇතිද?

 

* වයිට් චොක්ලට් / චිප්ස් ග්‍රෑම් 600 ක්

* වැනිලා ෆ්‍රෝස්ටින්

(frosting) ග්‍රෑම් 200 ක්

* ආහාර වර්ණක

 

 

* පළමුව සාමාන්‍ය ප්‍රමාණයේ කොටු හැඩයේ භාජනයක් ගෙන එයට තෙල් කොළයක් දමා සූදානම් කර තබන්න.

* චොක්ලට් ටික ගෙන මෙය මයික්‍රෝවේ අවන් එකක් ආධාරයෙන් හෝ ඩබල් බොයිල් කරගනිමින් හොඳින් දියකර ගන්න.

* දියකරගත් චොක්ලට් එකට වැනිලා ෆ්‍රොරොස්ටින් එකතු කර ඒ ආකාරයටම හොඳින් දියවෙනතුරු කලවම් කරගන්න.

* පසුව එම මිශ්‍රණය සමාන කොටස් තුනකට වෙන වෙනම භාජනවලට දමාගන්න. අනතුරුව ආහාර වර්ණක ඔබගේ කැමැත්ත පරිදි එකතු කරගන්න. ආහාර වර්ණකවලින් මේ රසකැවිල්ලට හරි අපූරු නිමාවක් ගෙන දෙනවා. මෙහිදී නත්තල් කෑම මේසයට ගැලපෙන පරිදි යොදා ගත්තේ රතු සහ කොළ වර්ණයන්. එය හොඳින් මිශ්‍ර කරගන්න.

 

* මුලින් පිළියෙල කරගත් භාජනයට සාදාගත් මිශ්‍රණය වරින් වර වෙන වෙනම එකතු කර ලස්සනට සමානව අතුරා ගන්න.

 

* පසුව එය පැය කිහිපයක් ශීතකරණයේ සෙට් වෙන්නට හැර ගන්න. කැමැති හැඩයකට කපාගෙන නත්තල් මේසයට පිළිගන්වන්න.

------------------------

රසට, පහසුවට කුකීස්

 

දිව නැටවෙන කුකීස් රසයට කවුරුන් නම් පෙම් නොබඳීවිද? බාල මහලු වෙනසකින් තොරව කුකීස් කන්න ආස ඔබට නිවෙසේදී ම පහසුවෙන් පිළියෙල කරගත හැකියි. නත්තල් මේසයේ හැඩ වැඩට කියාපු රසකැවිල්ලක් වන කුකීස් කැබලි 35ක් මේ ප්‍රමාණයන්ගෙන් සෑදිය හැකියි.

 

අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ

 

*බටර් ග්‍රෑම් 225 ක්

* සීනි ග්‍රෑම් 200 ක්

* වැනිලා තේ හැඳි 1 1/2 ක්

* ලුණු තේ හැඳි 1/2 ක්

* පාන්පිටි ග්‍රෑම් 400 ක්

 

සාදාගන්නා ආකාරය;

 

* බෝල් එකක් ගෙන බටර් සහ සීනි දමා විනාඩි 2ක් බීට් කර ගන්න.ඉන්පසු වැනිලා , ලුණු සහ පිටි දමා සෙමින් මිශ්‍ර කර ගන්න.

 

* ඉන්පසු පිටි මෝලිය (පිටි මිශ්‍රණය )පොලිතින් එකකින් වසා පැයක් ශීතකරණයේ තබන්න.

 

* අවන් එක සෙල්සියස් අංශක 180 උෂ්ණත්වය යටතේ විනාඩි 10 ක් රත් වෙන්න තබන්න.කේක් තැටියකට තෙල් කොළයක් දමා සූදානම් කරගන්න. මෝලියෙන් බාගයක් අරගෙන ඉතිරි භාගය ශීතකරණයේ තබන්න.

 

* මෝලිය තුනී කර කැමැති ආකාරයට හැඩ කපා ගන්න. ( පින්තූරවල දක්වා ඇත.) කේක් තැටිය මත කපාගත් කුකීස් තබා විනාඩි 20 ක් ශීතකරණයේ තියන්න.ඉවතට ගෙන සීනී ස්වල්පයක් කුකීස් මත ඉසගන්න. ඉන්පසු විනාඩි 12- 15 ක් කුකීස් යාන්තම් දුඹුරු පාට වෙනතුරු බේක් කර ගන්න. පසුව එය ඉවත්කර ගන්න.ඒ මත ස්ප්‍රිකල් දමාගන්න.මේ ආකාරය ඉතුරු පිටි මෝලියෙන් ද කුකීස් සාදා ගන්න.

----------------------

පාට තුනේ ක්‍රිස්මස් කප් කේක්

නත්තලටම ආවේණික රතු, කොළ හා සුදු පැහැයන්ගෙන් වර්ණවත් වුණු දිවගට මිහිරක් ගෙන දෙන

පාට තුනේ ක්‍රිස්මස් කප් කේක් එකයි මේ.

* බටර් ග්‍රෑම් 250ක්

* සීනි ග්‍රෑම් 250 ක්

* පිටි ග්‍රෑම් 250

* ලොකු බිත්තර 4 ක්

* බේකින් පවුඩර්

තේහැඳි 1 ක්

* කිරි මිලීලීටර් 50 ක්

* වැනිලා තේහැඳි 1ක්

* කොළ හා රතු පාට කලරින්

 

 

* පළමුව කප් කේක් බේක් කරගැනීම සඳහා පේපර් කප් සමග ට්‍රේ පිළියෙල කරගන්න.

 

* අනතුරුව බටර් හා සීනි භාජනයකට දමා හොඳින් බීට් කර ගන්න.දැන් බිත්තර එක ගානේ විටින් විට එයට දමාගෙන හොඳින් බීට් කරන්න කැටි නොගැසුන ක්‍රීම් එකක් ආකාරයට පාන් පිටි හා බේකින් පවුඩර් හලා ගන්න.එය බටර් මිශ්‍රණයට දමා හොඳින් කලවම් වෙනතුරු සෙමින් බීට් කරන්න . මේ අතර කිරි සහ වැනිලා එකතු කරගන්න.

 

* දැන් සාදාගත් කේක් මිශ්‍රණය වෙන වෙනම භාජන තුනකට දමා ගන්න. කොටස් දෙකකට වර්ණ එකතු කර හොඳින් කලවම් කරගන්න.

* පසුව පයිපින් බෑග් එකකට මෙම වර්ණ තුනෙන් යුතු මිශ්‍රණය එකිනෙකට කලවම් නොවෙන ආකාරයට එකතු කරගෙන පෙර සකසා ගත් පේපර් කප් තුළට පයිප් කරගන්න( කප් එක තුළට සම්පුර්ණයෙන් නොපිරවීමට වගබලා ගන්න. පොඩි ඉඩක් ඉතිරි කොට සමානව පයිප් කරගන්න)

 

* දැන් සකසා ගත් කප් කේක් සෙල්සියස් අංශක 180 ට රත්කරගත් අවන් එකක් තුළ විනාඩි 15-20 අතර කාලයක් බේක් කරගන්න( කප් එකේ විශාලත්වය මත කාලය වෙනස් වේ). බේක් වීම ප්‍රමාණවත් ද යන්න පරීක්ෂා කිරීම සඳහා ටූත් පික් එකක් වැනි යමක් කප් කේක් එක මැදට ඇන බලන්න. එය ඇලෙන සුලුනම් බේක් වීම ප්‍රමාණවත් නොවේ. නොඇලෙන සුලුනම් එය ප්‍රමාණවත් වේ.

 

* පසුව එය නිවෙන්නට හැර ඔබ කැමති ආකාරයට අයිසින් කර පිළිගන්වන්න.