උපන් දිනය සරසන දියකිඳුරිය

දෙසැම්බර් 26, 2022

මේ වන විට උපන් දින උත්සව සංවිධාන කරනුයේ යම් තේමාවක් සහිතවයි. සොබාදහමේ අසිරිය හරි අපූරුවට කැටි කරගත් අහස, මුහුද, හිම, ගහ කොළ සහිත වනාන්තර ආදී තේමාවන් එහිදී වැඩි ජනප්‍රියත්වයක් උසුලනවා. පුංචිම වයසේ පසුවන පොඩිත්තන් වාගේම තරමක් වැඩුණු වයසේ දරුවන් ද මෙවැනි තේමාවක් සහිත උපන්දින උත්සව සඳහා දක්වන්නේ පුදුමාකාර කැමැත්තකි. මෙහිදී තේමාවට ගැළපෙන පරිදි උපන්දින කේක් එක නිර්මාණය කරගන්නවා පමණක් නොව ඊට සරිලන සේ අවට පරිසරය සහ ඇඳුම් පැලඳුම් සකසා ගැනීම හරහා උත්සවයට අපූරු පෙනුමක් ලබා ගන්නත් ඔවුන් හරිම උනන්දුයි.

ඉතින් මුහුදට ප්‍රිය, මුහුද තේමා කරගත් උපන් දින උත්සවයක් සඳහා නිර්මාණය කළ දිය කිඳුරියකගේ රුව රැගත් මේ අපූරු කේක් නිර්මාණය ඔබේ දරුවාට අපූරු තිළිණයක්ම වේවි.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:

* ග්‍රෑම් 500 රවුම් කේක් තැටියක්
* සාදාගත් රිබන් කේක් කිලෝ 1 1/2ක් (ග්‍රෑම්
500 රවුම් කේක් තුනක් සකසා ගන්න)
* අවශ්‍ය පමණට බටර් අයිසිං
* ෆොන්ඩන්ට් අයිසිං ටිකක්
* ගම් පේස්ට්
* වෙළෙඳපොළේ මිලදී ගත් කේක් සඳහා යොදා
ගන්නා බෝනික්කෙක්.
* ඉතා සිහින්ව කැබැලි කරගත් බිස්කට් කුඩු
(මුහුදු වැලි පෙනුමට)
* ආහාරයට සුදුසු සුපර් පර්ල් ඩස්ට්
* අවශ්‍ය වර්ණක කිහිපයක්

සාදාගන්නේ මෙහෙමයි

* පළමුව ග්‍රෑම් 500 තැටියෙන් රවුම් කේක් තුනක්
සාදාගන්න.
* දැන් කේක්වල බටර් අයිසිං තවරා සැන්ඩ්විච්
කරගත යුතුය. මෙහිදී කේක් තුනම එක මත
එක තබමින් බටර් අයිසිංවලින් සැන්ඩ්විච්
කරන්න.
* ඉන්පසුව නැවත සම්පූර්ණ කේක් එකම
පළමුවෙන්ම බටර් අයිසිංවලින් කවර් කරන්න.
අනතුරුව නිල් පාට බටර් අයිසිං එකෙන් තව
වතාවක් කවර් කරන්න.

* මෙහිදී කේක් එක වටා එක මට්ටමට සිටින සේ අයිසිං කරගැනීමට ස්ට්‍රේට් ෆැලට් නයිෆ් එකත්, කේක් එකෙහි උඩ කොටස අයිසිං කරගැනීමට ඈන්ගල් ෆැලට් නයිෆ් එකත් භාවිත කරන්න.
* දැන් බටර් අයිසිං ටිකකට දම් පැහැ වර්ණකය භාවිත කරමින් දම් පැහැති අයිසිං සකසා නො. 03 නොසල් එකෙන් මුහුදු පැළෑටි හැඩයට අයිසිං කර ගන්න.
* දම් පාට ෆොන්ඩන්ට් අයිසිංවලින් කුඩා තීරු කපා එම තීරු අඹරා රූපයේ දැක්වෙන ආකාරයට කේක් එකට අලවා ගන්න.
* අනතුරුව කේක් එක වටේට සහ කේක් එකෙහි උඩට මුහුදු වැලි ආකාරයට සිහින්ව කුඩුකරගත් බිස්කට් කුඩු දමන්න.
* ෆොන්ඩන්ට් අයිසිං භාවිත කරමින් බෙල්ලන්, මුහුදු පැළෑටි ආදිය සාදා කේක් එක උඩ වාගේම වටේටත් සරසා ගන්න.

මේ සඳහා ඔබට වෙළෙඳපොළෙන් මිලදී ගත හැකි මොල්ඩ් වුවද භාවිත කළ හැකිය.
* ඉන්පසුව ගම් පේස්ට් භාවිත කරමින් දියකිඳුරිය වාඩි වී සිටින සිප්පි කටුව සාදා ගන්න.
* දැන් වෙළෙඳපොළෙන් මිලදී ගත් බෝනික්කා දියකිඳුරියක ලෙසින් ඒ මත රඳවා ෆොන්ඩන්ට් අයිසිංවලින් ඇයගේ කිඳුරු වරල සාදා ගන්න. උඩ හැට්ටය කොටසත් ෆොන්ඩන්ට්වලින්ම සරසා ගන්න.
* කේක් එක වටේට දිය බුබුළු තබා ගැනීමට නො.03 නොසල් එක භාවිත කරන්න.
* කේක් එක සකසා අවසානයේ හොඳ නිමාවක් ලබා ගැනීම සඳහා සුපර් පර්ල් ඩස්ට් එක සම්පූර්ණ කේක් එකටම ස්ප්‍රේ කරගන්න. එමඟින් දිලිසෙන සුලු ස්වභාවයක් සේම වඩාත් ආකර්ෂණීය පෙනුමක් ලබා ගත හැකියි.
* කේක් එක සකසා අවසානයේ දී ඔබට නම් සහ සුබ පැතුම් සටහන් කළ හැකි අතර, එහිදී ලෙටර් කටර්ස් භාවිතයෙන් පරිස්සමට මෙම අකුරු කපා ගත හැකිය.

උපදෙස් -
කේක් නිර්මාණ ශිල්පිනී
චතූ රත්නායක
අප්ලන්ඩ් කේක්ස්
ඇන්ඩ් ඇකඩමි