අම්මාගේ ආදරයට පුංචි තිළිණයක්

මාර්තු 27, 2023

 

මලක් වාගේ ඔබ හදා වඩා ඇති දැඩි කළ ආදරණීය මෑණියන්ගේ උපන් දිනය ඔබට ඉතා විශේෂිතයි. කිසිවක් පෙරළා බලාපොරොත්තු නොවීම ඇය සතු සියල්ල ඔබ වෙත පිරිනැමුවා. එබැවින් අප ඇයට සදා ණයගැතියි.

 

ඉතින් ඒ ආදරණීය මවගේ උපන් දිනයට මෙවැනි කේක් නිර්මාණයක් ඔබේ අතින් නිර්මාණයකර දිය හැකි නම් ඇය කොයිතරම් නම් සතුටට පත්වේවි ද?

මේ නිර්මාණය සඳහා කේක් කිලෝවක් ප්‍රමාණවත් වේ. එය ග්‍රෑම් 250 ප්‍රමාණයේ කේක් හතරක් ලෙස සකසා ගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය -

*බටර් හෝ මාජරින් ග්‍රෑම් 250ක්

*සීනි ග්‍රෑම් 250ක්

*බිත්තර 05ක්

*කේක් පිටි ග්‍රෑම් 240ක්

*බේකිං පවුඩර් තේ හැඳි 02ක්

*කිරිපිටි තේ හැඳි 02ක්

*වැනිලා තේ හැඳි 02ක්

කොළ සහ දම් වර්ණයෙන් කලරින් ස්වල්පයක්

සාදන්නේ මෙහෙමයි -

*බඳුනක් ගෙන එයට බටර් සහ සීනි දමා හොඳින් බීට් කරන්න. සිනී කැට හොඳින් දිය වුණු පසුව බිත්තර එකින් එක එක් කරමින් බීට් කරන්න.

*මෙයටම වැනිලා තේ හැන්දක් එකතුකර නැවතත් බීට් කරන්න.

*දැන් බේකිං පවුඩර්, කිරිපිටි සහ කේක් පිටි හොඳින් හළාගන්න.

*අනතුරුව බීට් කරගත් බටර්, සීනි, බිත්තර මිශ්‍රණයට මේ පිටි මිශ්‍රණය ටිකෙන් ටික එකතු කරමින් බීට් කරන්න.

*අවසානයට ඉතිරි වැනිලා තේ හැන්ද ද එකතුකර කේක් මිශ්‍රණය ක්‍රීම් එකක් ආකාරයට බීට් කරගන්න.

*දැන් ග්‍රෑම් 250 ප්‍රමාණයේ කේක් තැටි හතරක් තෙල් කඩදාසි දමා සකසා ගන්න.

*ඉන්පසුව සාදාගත් කේක් මිශ්‍රණය මේ කේක් තැටි හතරට සම සමව දමාගන්න. එයින් තැටි දෙකකට කොළ වර්ණයත්, අනෙක් තැටි දෙකට දම් පැහැයත් ස්වල්ප වශයෙන් දමා කලවම් කරන්න.

*සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයට විනාඩි 10ක් පමණ උදුන රත්කර කේක් දමා විනාඩි 40ක් බේක් කරගන්න.

*මෙලෙස බේක් කරගත් කේක් පිටතට ගෙන හොඳින් නිවෙන්නට හරින්න.

අයිසිං සාදමු

අවශ්‍ය ද්‍රව්‍ය -

*බටර් හෝ මාජරින් ග්‍රෑම් 350ක්

*අයිසිං සීනි ග්‍රෑම් 1250ත් 1500ත් අතර ප්‍රමාණයක්

සාදන ආකාරය -

*ගීතකරණයෙන් පිටතට ගත් බටර් හෝ මාජරින් විනාඩි 10ක් පමණ වේලාවක් තබන්න.

*ඉන්පසුව වියළි බඳුනකට මේ බටර් හෝ මාජරින් දමා බීට් කරන්න.

*එයටම අයිසිං සීනි ටික ටික එකතු කරමින් තරමක් ඝනට අයිසිං මිශ්‍රණය සාදාගන්න. එයටම වැනිලා ස්වල්පයක් ද එකතු කරන්න.

*පළමුව රෝස පැහැති කේක් එක මත කොළ පැහැති කේක් එකක් තබා සැන්ඩ්විච් කරන්න. නැවත රෝස පාට අනෙක් කේක් එක මත කොළ පැහැ කේක් එක තබා සැන්ඩිවිච් කරන්න. කේක් හතරම මෙලෙස සැන්ඩිවිච්කර බෝඩ් එකක් මත තබන්න.

*අනතුරුව සම්පුර්ණ කේක් එකම අයිසිංවලින් ආවරණය කරගන්න.

*දැන් අයිසිං ටිකකට කොළ පැහැති වර්ණය දමා කොළ වර්ණයේ අයිසිං සාදාගන්න. නො. 17 නොසල් එක ආධාරයෙන් රූපයේ පෙනෙන ආකාරයට මලක නටු මෙන් කේක් එක වටේටම උඩු අතට ඉරි දමාගන්න.

*නො.12 නොසල් එක ආධාරයෙන් ඔබට රෝස පොහොට්ටු සෑදිය හැකි අතර රෝස පෙති දැමිය යුත්තේ නො.104 නොසලයෙනි. මේ සඳහා ඔබට Flower Nailඑකක් භාවිත කළ හැකියි.

*ළා දම් පැහැයේ සහ තද දම් පැහැයෙන් සාදාගත් බටර් අයිසිං රෝසමල් වලින් ඔබේ කේක් එක උඩ සම්පුර්ණයෙන්ම පුරවා ගන්න.

*මෙහි දැක්වෙන කොළ සාදා ගැනීමට Leaf නොසල් එක භාවිතා කරන්න.

*අතරින් පතර පාච්මන්ට් අයිසිංවලින් සැකසූ කුඩා මල් කිහිපයක් ද රඳවන්න.

*අවසානයට කොළ පැහැති රිබන් එකක් ගැට ගසා කේක් එක හැඩවැඩ කරගන්න.

 

බටර් ඩ්‍රීම් කේක්ස් හී කේක් නිර්මාණ ශිල්පිනි

තෙයාගි සධනිකා ගමගේ