මේ සිංහල අවුරුද්දට අපේම කෑම හදමු

අප්‍රේල් 3, 2023

 

රතට රතේ අතු අග දිලිසෙන එරබදු මල් යාය, මලින් ඵලින් බරවන ගහකොළ, ඒ අතුපතර සැඟ වී හඬ නඟන කොහාගේ මිහිරිතම නාදය, අපට මේ පවසන්නේ අලුත් අවුරුදු උදාවයි.

 

වසන්ත මාසය එහෙමත් නැතිනම් බක් මාසය කියන්නෙම අපේ කාන්තාවන්ට කාර්ය බහුල මාසයකි. අලුත් අවුරුද්ද වෙනුවෙන් නිවෙස කලඑළි කරන්න, කැවිලි පෙවිලි තනන්න, අලුත් ඇඳුම් පැලඳුම් වාගේම, තෑගි භෝග මිලදී ගන්න මේ හැමදේටම වෙහෙසෙන්නී ඇයයි.

විශේෂයෙන්ම අලුත් අවුරුද්දට නිවෙසට ගොඩවදින අමුත්තන්ට වාගේම තම පවුලේ සාමාජිකයන්ට කටට රසට කෑමබීම ටික සකසා දෙන්නත් ඇය හරිම උනන්දුයි.

ඉතින් හැමදාමත් රස විඳින අල, පරිප්පු, බෝංචි, වම්බටු ආදී වශයෙන් වූ ඒකාකාරී ආහාර වට්ටෝරුව වෙනුවට මේ සිංහල අවුරුද්දට වෙනස්ම ආකාරයේ ආහාර කිහිපයක් සකසා ගන්න ඔබත් කැමැති ඇති. එහිදී දිවග පිනවන ආහාර සමඟ සිරුරට ගුණාදායක පෝෂණය පිරුණු ආහාර කිහිපයක් හඳුන්වා දෙන්නයි අපේ මේ සුදානම.

ලංකාවේ විවිධ ප්‍රදේශවල කටට රසට පිසෙන අපිටම ආවේණික මේ ආහාර බොහොමයක් දෙනා රස නොවිඳ ඇති බවට සැකයක් නැහැ. ඉතින් සිංහල අවුරුද්දේ වෙනසකටත් එක්ක මේ ආහාර කිහිපයක් හෝ සකසා ඔබේ නෑ හිත මිතුරන්ට පිළිගන්වා ප්‍රතිචාර කොහොමදැයි බලන්න.

 

 

තොරතුරු සහ ඡායාරූප

වැලිමඩ සමූහ

කේ.ආර්. ආර්. රාජමන්ත්‍රී

 

කොල්ලු ව්‍යංජනය

කොල්ලු යනු ඉතාමත් ගුණදායක ධාන්‍යයකි. ඒ නිසාම දේශීය වෙදකමට ද මේ කොල්ලු භාවිත කෙරේ. ඇතැම් ප්‍රදේශවල මෙය තම්බා ආහාරයට ගන්නා මුත් ඌව පළාතේ කොල්ලු සකසා ගන්නේ ව්‍යංජනයක් ලෙසිනි.

කොල්ලු ග්‍රෑම් 250ක්

මිරිස් කුඩු තේ හැඳි 02ක්

කහ ස්වල්පයක්

රස පදමට ලුණු

තක්කාලි ගෙඩියක්

සුදුලූනු බික් දෙකක්

රතුලූනු හෝ බී ලූනු ගෙඩියක්

අබ සහ වියළි මිරිස් කරල්

දෙකක්

රම්පේ, කරපිංචා

පොල්තෙල් ස්වල්පයක්

 

 

කොල්ලු ඇට සෝදා ගරාගෙන වැලි ඉවත්කර ගතයුතුය. ඉන්පසු අව්වේ වියළා ගන්න. එසේ වියළා පිරිසුදු කරගත් කොල්ලු ඇට බඳුනක් ළිප තබා රන්වන් පාටවන තෙක් බැදගන්න. ඉන්පසු බ්ලෙන්ඩරයක හෝ මිරිස් ගලක ආධාරයෙන් යම් තරමකට කෑලි සිටින සේ අඹරා ගන්න. දැන් මැටි බඳුනක් ළිප තබා තෙල් ස්වල්පයක් දමා රත් කරගන්න. රත් වූ තෙලට කපාගත් සුදුලූනු ,බී ලූනු, මිරිස් කරල් කෑලි කිහිපයක් එක්කර තෙම්පරාදු කරගන්න. අනතුරුව කැබලිකරගත් කොල්ලු පිටි එක්කරගන්න. කරපිංචා සහ තක්කාලි ගෙඩියත් කපා ඊට එක්කර ගන්න. මිරිස් කුඩු හා ලුණු , කහ එකතු කරන්න. කොල්ලු පිටි උකුවන තෙක් හැන්දකින් කවලම් කරන්න. උකු බවට පත්වු පසුව ළිපෙන් බිමට ගන්න.

---------------------

රස වගේම ගුණ මඤ්ඤොක්කා කොළ මැල්ලුම

 

බත්පතට රසය වාගේම පෝෂණ ගුණයත් එකතු වෙන්න නම් කොළ මැල්ලුමක් ඕනෙමයි. ගුණාත්මක බව රැකෙන පරිදි විවිධ රසයට කොළ මැල්ලුම් සකස් කෙරේ. ඒ අතරින් කලවම් පලා මැල්ලුමට වැඩිදෙනෙකු බොහෝ රුචිකත්වයක් දක්වන අතර කලවම් පලා මැල්ලුම වගේම රසවත් මේ මඤ්ඤොක්කා කොළ මැල්ලුම කෙතරම් අපූරුදැයි බලන්න.

 

* නොමේරූ මඤ්ඤොක්කා කොළ

* තිබ්බටු ගෙඩි ස්වල්පයක්

* පොල්තෙල් ස්වල්පයක්

* රස පදමට ලුණු

* සුදු ලූනූ බික් දෙකක්

* වියළි මිරිස් කරල් දෙකක්

* හාල්මැස්සන් ඔළු කිහිපයක්

 

මේ සඳහා මඤ්ඤොක්කා ගස්වල නොමේරූ කොළ කඩා ගන්න. අනතුරුව එම කොළවල නැටි ඉවත්කර හොඳින් සෝදා ගන්න. තෙත් ස්වාභාවය නැතිවෙනතුරා ටික වේලාවක් තබන්න. හොඳින් තෙත හිඳී ගිය පසු වංගෙඩියක බහා හොඳින් කොටගන්න. මෙහිදී මඤ්ඤොක්කා කොළ ටික ඉතාමත් සියුම්ව කොටා ගැනීමට වග බලා ගන්න. මඤ්ඤොක්කා කොළ භාගයට කොටාගත් පසු ඊට තිබ්බටු එක්කර කොටා ගැනීමෙන් මෙය සිහින්ව කොටා ගත හැකියි. දැන් බඳුනක් ළිප තබා ඊට ජලය ස්වල්පයක් දමන්න. එයටම රස පදමට ලුණු එක්කරන්න. ඉන්පසු කොටාගත් මඤ්ඤොක්කා කොළ එක්කර හොඳින් මලවා ගන්න. අවශ්‍ය නම් ඔබට ගම්මිරිස් කුඩු ස්වල්පයක් ද එක්කර ගත හැකියි. හොඳින් මැලවුණු පසුව බඳුන ළිපෙන් බිමට බා ගන්න. දැන් වෙනත් බඳුනක් ළිප තබා පොල්තෙල් ස්වල්පයක් දමාගන්න. රත්වු තෙලට සෝදා පිරිසුදු කරගත් හාල්මැස්සන්ගේ හිස් (ඔළු), සුදුලුනු, කඩාගත් වියළි මිරිස් කරල් දමා තෙම්පරාදු කරගන්න. ඉන්පසුව හොඳින් මලවාගත් මඤ්ඤොක්කා කොළ ටික එයට එක්කර ළිපෙන් ඉවතට ගන්න

-----------------------

ආහාර රුචිය වැඩිකරන සියඹලා මල් ඇඹුල

ගසෙහි කොළ තරමට හටගන්නා සියඹලා මල්වලින් වැඩි ප්‍රමාණයක් නටුවෙන් ගිලිහෙනවා. ගස යට මල් පාවඩයක් දැම්මා හා සමාන මේ සියඹලා මල් රසවත් ව්‍යංජනයක් ලෙස පිළියෙල කළ හැකි යැයි ඔබ සිතුවාද? කල් තබාගෙන ප්‍රයෝජනයට ගත හැකි මේ සියඹලා මල් ඇඹුල අතීතයේදී වන්දනා ගමනට නැතිවම බැරි ව්‍යංජනයකි.

හිරු එළියේ හොඳින් වියළාගත් සියඹලා මල් සුළං නොවදින සේ බඳුනක අසුරා තැබීමෙන් වසරකට අධික කාලයක් වුවත් කල් තබා ගත හැකියි.

 

සියඹලා මල් වියළා මෙන්ම අමුවෙන් ද පිසගත හැකියි. එහිදී අමු මල් ව්‍යංජනය තරමක් ඇඹුල් රසැති නමුදු සෘජුවම පිසගත හැකියි. පිරිසුදුව තද හිරු එළියේ හොඳින් වියළාගත් සියඹලා මල් පිසින්නට පෙර තද උණුසුම් ජලයේ විනාඩි 10ක් පමණ තම්බාගන්න. අනතුරුව හොඳින් ජලය මිරිකා හැර අවශ්‍ය අමුද්‍රව්‍ය යොදා පිසගන්න.

 

 

අමු හෝ වියළාගත් සියඹලා මල් අවශ්‍ය ප්‍රමාණයට

සිහින්ව කපාගත් සුදුලූනු

බී ලූනු හෝ රතුලූනු

ගෙඩි කිහිපයක්

උම්බලකඩ හෝ හාල්

මැස්සන් ස්වල්පයක්

තක්කාලි ගෙඩියක් හෝ

දෙකක්

රම්පේ කරපිංචා

පොල් කිරි ස්වල්පයක්

රස අනුව මිරිස් සහ

ලුණු

කහ ස්වල්පයක්

 

 

බඳුනක් ළිප තබා පොල්තෙල් ස්වල්පයක් දමා රත්කර ගන්න. එයට කපාගත් සුදුලුනු, රතුලුනු හෝ බීලුනු, උම්බලකඩ හෝ පිරිසුදු කරගත් හාල්මැස්සන්, රම්පේ, කරපිංචා ඇතුළු සියල්ලම රත් වූ තෙල් බඳුනට, එක්කර හොඳින් තෙම්පරාදු කරගන්න.

ඉන්පසු වතුර මිරිකා ඉවත්කරගත් සියඹලා මල් හෝ අමු සියඹලා මල් එක්කරන්න. එයට කපාගත් තක්කාලි ද එක්කරන්න. රස පදමට මිරිස්, ලුණු සමඟ පොල් කිරි ස්වල්පයක් එක්කරන්න. සියඹලා මල් හොඳින් මැලවීගෙන එද්දී ළිපෙන් පිටතට බා ගන්න. තක්කාලි එක් කිරීමෙන් සියඹලා මල්වල ඇඹුල් ගතිය අඩුවේ. දින කිහිපයක් තබා ගන්නේ නම් පොල්කිරි එකතු නොකරන්න. ‍

----------------------

කාල තියෙනව ද මේ කෙසෙල් අල පිට්ටු

මව මරා උපන් කුමරු ලෙසින් හැඳින්වෙන කෙසෙල්මුහය විවිධ රසයට සකසා ගැනීමට ඔබ දන්නවා. නමුත් කෙසෙල් ගසේ අලය ආහාරයට ගන්නා බවක් ඇතැම්විට ඔබ නොදන්නවා ඇති. මේ කෙසෙල් අල පිටි ලෙසින් සකසා එයින් හරි අපූරුවට පිට්ටු සකසා ගත හැකියි.

 

මෙලෙස කෙසෙල් අල පිටි සකසා ගැනීමේ දී අළු කෙසෙල් සහ ඇඹුල් කෙසෙල් යන වර්ග දෙකෙහි අල තෝර ගැනීම වඩාත් සුදුසුයි. කෙසෙල් ගසේ කැන කපා ගත් පසු එහි පොළව යට ඇති අලය ගසත් සමඟ ගලවා ගන්න. අනතුරුව කෙසෙල් ගසෙන් අලය වෙන්කර එහි ඇති මුල් හා පිට පොත්ත පිහියක ආධාරයෙන් ඉවත් කරගන්න. ඉන්පසුව අලය හොඳින් සෝදා පිරිසුදුකර එය ඉතා සියුම්ව පෙති ආකාරයට කපා තද අව්වේ වියළාගන්න. මෙලෙස හොඳින් වියළාගත් කෙසෙල් අල වංගෙඩියක හෝ බ්ලෙන්ඩරය ආධාරයෙන් කොටා පිටිකර ගන්න. එසේ සකසා ගත් පිටි යොදාගෙන අපි පිට්ටු සකසා ගනිමු.

 

 

 

කෙසෙල් අල පිටි අවශ්‍ය ප්‍රමාණයට

ගා ගත් පොල්

ලුණු ස්වල්පයක්

පිට්ටු කෑමට අවශ්‍ය පොල්කිරි

 

 

මුලින්ම කෙසෙල් අල පිටි ටික පෙනේරයකින් හළාගන්න. ඉන්පසුව අනෙක් පිට්ටු සකසා ගන්නා ආකාරයට මෙය කැට කරගත යුතුය. එහිදී පළමුවෙන්ම පොල්වලට ලුණු ස්වල්පයක් දමා මිශ්‍ර කරන්න. අනතුරුව එයට කෙසෙල් අල පිටි ටික ටික එකතු කරමින් හොඳින් කැට කරගන්න. මේ ආකාරයට සකසා ගත් මිශ්‍රණය පිට්ටු බම්බුවක හෝ ස්ටීමරයක ආධාරයෙන් හොඳින් තම්බා ගන්න. කුරහන් පිට්ටුවකට සමාන වර්ණයක් සහිත මේ පිට්ටු පොල් කිරි, ලුණු මිරිස් සමඟ රස විඳිය හැකියි. ඉතා රසවත් මෙන්ම ගුණවත් ආහාරයකි.

----------------------

මලබද්ධය දුරු කරන තෙල් අල කොළ ඇඹුල

මල බද්ධය වාගේ රෝගී තත්ත්වයෙන් පීඩා විඳින බොහෝ දෙනකුට ඉතාමත් ගුණදායක ව්‍යංජනයකි මේ තෙල් අල කොළ ඇඹුල. ඇතැම් ප්‍රදේශවල මේ තෙල් අල කොළ වෙනත් නම්වලින් හඳුන්වන නමුදු මෙය ඇඹුලක් ලෙසින් පිළියෙල කරගන්නා ඉතාමත් රසවත් ව්‍යංජනයකි.

 

 

ළපටි තෙල් අල කොළ අවශ්‍ය ප්‍රමාණයට

ගොරකා බික් කිහිපයක්

බී ලූනු ගෙඩියක්

සුදු ලූනු බික් කිහිපයක්

බැදපු තුනපහ ස්වල්පයක්

රම්පේ සහ කරපිංචා

පොල් තෙල් ස්වල්පයක්

හාල් ස්වල්පයක් සමඟ ගා ගත් පොල් ස්වල්පයක් කබලේ බැදගෙන අඹරා ගන්න. තෙල් අල කොළ දළු හොඳින් සෝදාගෙන සිහින්ව කපා ගන්න. අල කොළ ටික සහ අඹරාගත් හාල්, පොල් හැර අනෙක් අමුද්‍රව්‍ය මැටි බඳුනකට දමන්න. ජලය ස්වල්පයක් එයට දමා හොඳින් උතුරවා ගන්න. අනතුරුව සෝදා කපාගත් තෙල් අල කොළ ටික ඊට එක්කරන්න. දැන් අඹරාගත් හාල් පොල් ද එයට එක්කර හොඳින් තැම්බෙන්නට හරින්න. එසේ හොඳින් තැම්බුණු අල කොළ ළිපෙන් බාගන්න. ඉන්පසු වෙනත් භාජනයක් ළිප තබා ඊට පොල්තෙල් ස්වල්පයක් එක්කරන්න. තෙල් හොඳින් රත්වු පසු අබ ස්වල්පයක්, කඩාගත් වියළි මිරිස් කරල් කිහිපයක් දමා තෙම්පරාදු කරන්න. අල කොළ ඇඹුලට එක්කරගන්න. අනතුරුව එය හොඳින් මිශ්‍ර කරන්න.