පොඩ්ඩො කන්න ආසම කෑම ගෙදරදීම

නොවැම්බර් 6, 2023

පොඩි අය ආසාවෙන් ඉල්ලන සමහර කෑම අපිට එළියෙන් අරන් දෙන්න යනකොට දෙපාරක් හිතන්න වෙනවා නේද. ඒ කියන්නෙ ඒවයෙ ති‍ෙයන සෞඛ්‍යාරක්ෂිත බව කොහොමද කියලා දෙමව්පියො සෑහෙන්න හිතනවා. ඒත් මේවා පොඩ්ඩන්ට තේරෙන්නෙ නැති නිසා එයාලා ඒවාම ඉල්ලනවා. ඉතින් මේ වගෙ පොඩ්ඩො ආසාවෙන් ඉල්ලන කෑම වර්ග ටිකක් ගෙදරදීම හදාගන්න හැටි කියලා දෙන්න තරුණී අපි හිතුවා. ලේසියෙන්ම වගේම ගුණාත්මකව මේ කෑම හදලා බයක් නැතුව පොඩ්ඩන්ට දෙන්න දැන් ඔයාලටත් පුළුවන්.

 

කින්ඩර් ජෝයි

 

මිල්ක් චොකලට් ස්ලැබ් 1ක්

වැනිලා වේෆර්ස් බිස්කට් 3ක්

වයිට් චොකලට් ග්‍රෑම් 50ක්

කිරි මේසහැඳි 2ක්

චොකලට් චිප්ස් මේසහැඳි 2ක්

 

 

චොකලට් ටික ඩබල් බොයිල් කරගන්න. ඉන්පසු බිස්කට් ටික අතින් කුඩු කරලා ඩබල් බොයිල් කරගත් චොකලට්වලට දාලා කලවම් කරලා අතින් බෝල හදාගන්න. මේ බෝල ටික ශීතකරණයේ තබන්න. දැන් වයිට් චොකලට් ටික ඩබල් බොයිල් කරගන්න. මේකට කිරි ටිකත් දාලා කලවම් කරගන්න. චොකලට් චිප්ස් ටිකත් වෙනම ඩබල් බොයිල් කරගන්න.

දැන් කින්ඩර් ජෝයි එක හදන්න සුදුසු ප්ලාස්ටික් කප් එකකට මෙල්ට් කරගත් චොකලට්වලින් හැඳි 3ක් වගේ දාලා උඩින් වයිට් චොකලට්වලින් ලේයර් එකක් දාගන්න.

දැන් කින්ඩර් ජෝයි එකේ විදියට සාදාගත් බෝල වලින් දෙකක් තියලා ෆ්‍රිජ් එකේ තියලා පොඩි අයට කෑමට දෙන්න.

----------------------------

 

වොන්ඩර් බාර් අයිස්ක්‍රීම්

 

කිරි කෝප්ප 2ක්

පිටිකිරි මේසහැඳි 2ක්

සීනි මේසහැඳි 2ක්

කෝන් ස්ටාර්ච් මේසහැඳි 2ක් සමඟ කිරි කෝප්ප 1/4ක්

ඩාක් චොකලට් ග්‍රෑම් 250ක්

වැනිලා තේහැඳි 1ක්

 

 

 පෑන් එකට කිරි ටික දාලා ළිපේ තියන්න. එය මද ගින්නේ කලවම් කරගන්න. මෙයට පිටිකිරි ටික එකතු කරන්න. ඉන්පසු විස්ක් එකකින් හොඳින් කලවම් කරලා සීනි ටික දාගන්න. කෝන් ස්ටාර්ච්වලට කිරි කෝප්ප 1/4ක් වගේ දාලා දියකරලා මිශ්‍රණයට එකතු කරන්න. කිරි නටනකල් විස්ක් කරගන්න. ඉන්පසු එය ළිපෙන් බාලා නිවෙනකල් දිගටම හැඳිගාන්න. එයට වැනිලා එකතු කරගන්න.

දැන් පොප්සිකල් මෝල්ඩ්වලට මිශ්‍රණය දාලා ස්ටික්ස් ගහලා පැය 6ක් ශීතකරණයේ තබන්න. ඊළඟට චොකලට් ටික ඩබල් බොයිල් කරගන්න. ඉන්පසු ග්ලාස් එකකට මෙල්ට් කරගත් චොකලට් ටික දාලා ෆ්‍රිජ් එකෙන් එළියට ගත් පොප්සිකල් මෝල්ඩ්වලින් ගලවලා මෙල්ට් චොකලට් එකේ හොඳින් ගිල්වා ගන්න. ඉන්පසු තවත් පැය 2ක් ශීතකරණයේ තබන්න.

-------------

බොම්බයි මොටයි

කඩල පිටි කෝප්ප 1ක්

පාන් පිටි ග්‍රෑම් 60ක්

ගී ඔයිල් මේසහැඳි 7ක්

සීනි කෝප්ප 1ක්

වතුර කෝප්ප 1/2ක්

දෙහි යුෂ ස්වල්පයක් 

 

 

පෑන් එකක් ළිපේ තියලා ගී ඔයිල් මේසහැඳි 5ක් දාගන්න. ගී ඔයිල් ටික දියවුණාම කඩලපිටි ටික එකතු කරලා කලවම්කර ගන්න. ටිකකින් පාන්පිටි ටිකත් දාලා හොඳට කලවම් කරගන්න. හොඳට කලවම් කරලා තෙල් ගතිය නැතිවෙලා ඩෝ එක වියළි ගතියට එනකොට තව ගී ඔයිල් මේස හැන්දක් වගේ දාලා අනාගන්න. මඳක් දියාරු මිශ්‍රණයක් හදාගන්න.

විනාඩි 10කට වගේ පස්සෙ ළිපෙන් බාලා තෙල් ගාගත් ට්‍රේ එකකට මේ මිශ්‍රණය දාලා කරලා නිවෙන්න තියන්න.

ඉන්පසු වෙනම පෑන් එකකට ගී ඔයිල් ටිකක් ගාලා පැත්තකින් තියන්න.

දැන් භාජනයකට සීනි හා වතුර දාලා අඩු ගින්දරේ ළිපේ තියන්න. සීනි උණුවෙලා ඝන මිශ්‍රණයක් ආවම මෙයින් ටිකක් අරන් වතුර එකකට දාලා බලන්න. කැටි ගතියක් එනවනම් පදම හරි. දැන් එයට දෙහි යුෂ දාලා තවත් විනාඩි 2ක් ළිපේ තියලා හැඳිගාලා ළිපෙන් බාගන්න.

දැන් එය ගී ඔයිල් ගාගත් පෑන් එකට දාගන්න. එයටම විනාඩියකට වඩා අඩු කාලෙකදි ගී ඔයිල් ගාගත් හැන්දකින් එකතු කරලා එක ගුලියක් හදාගන්න. ඉන්පසු අතේ ඔයිල් ටිකක් ගාලා අතින් ගුලියක් හදාගන්න.

දැන් එය බබ්ල්ගම් එකක් වගේ දිග ඇරලා තුනී කරලා හොඳට අනාගන්න. විනාඩි 2ක් වගේ මේ විදියටම කරන්න. දැන් මේක වළල්ලක් වගේ හදාගෙන කඩලපිටි මිශ්‍රණය මැදින් තියලා කඩලපිටි තවරගන්න. හොඳට ඇදලා පොඩි කරලා මේ සීනි උණුකරපු මිශ්‍රණය නැවත හොඳට අනාගන්න. එය වළල්ලක් වගේ ඇදගන්න. සැරෙන් සැරේ කඩල පිටි තවරගෙන රවුමට අත් දෙකෙන්ම අදින්න. විනාඩි 3-4ක් යනකොට මේක තීරුවලට වෙන් වෙනව පෙනෙයි. කෙඳි හොඳට දිගෑරෙනකල් එය ඇදගන්න ඕනේ. බොම්බයි මොටයි පෙනුමට ආවම ප්ලේට් එකකට දාගන්න.

 

ජුජුබ්ස්

සීනි ග්‍රෑම් 250ක්

ජෙලටින් ග්‍රෑම් 30ක්

දෙහි යුෂ මේසහැඳි 2ක්

කලරින් 

එසන්ස් ස්වල්පයක් 

වතුර කෝප්ප 1/2ක්

වෙනම සීනි ටිකක්

 

 

ජෙලටින් ටික වතුර මේසහැඳි 4ක දිය කරගන්න. ඉතිරි වතුර ටික ළිපේ තියලා සීනි ටික දාගන්න. මෙයට ජෙලටින් ටික දාලා හැඳිගාලා මිශ්‍රණය නටනකොට ළිපෙන් බාගන්න. දෙහි යුෂ එකතු කරන්න. දැන් මේක වෙන් වෙන් භාජනවලට දාලා කලරින් හා එසන්ස් දාගන්න. දැන් බටර් ගාගත් ට්‍රේවලට දාලා සෙට් වෙන්න තියලා කෑලි කපාගන්න. ඉන්පසුව සීනිවල තවරාගන්න.

 

-------------------

ගමී කැන්ඩි

 

දොඩම් යුෂ කෝප්ප 1/2ක්

මිදි යුෂ කෝප්ප 1/2ක්

වතුර කෝප්ප 1/2ක්

ලෙමන් යුෂ මේසහැඳි 1ක්

කොළ පාට ෆුඩ් කලරින් ස්වල්පයක් 

ස්ප්‍රයිට් කෝප්ප 1/2ක්

සීනි කෝප්ප 1/2ක්

අගර් අගර් පවුඩර් මේසහැඳි 5ක්

 

 

 වතුරවලට ලෙමන් යුෂ හා ෆුඩ් කලරින් දාගන්න. පෑන් එකක් ළිපේ තියලා ඔරේන්ජ් ජූස් ටික දාගන්න. මේකට සීනි මේසහැඳි 2ක් දාගන්න. ඒ වගේම අගර් අගර් මේසහැඳි 1ක් එකතු කරන්න. කලවම් කරලා මේක නටනකොට ළිපෙන් බාලා පෙරාගන්න. මේ විදියට කොළපාට, මිදි හා ස්ප්‍රයිට් ෆ්ලේවර්ස් ටිකත් කරගන්න.

දැන් කැන්ඩි මෝල්ඩ් එකක් අරන් පාට 4ක් වෙන වෙනම අරන් මෝල්ඩ් එක පිරෙන්න දාගන්න. පැය 1/2ක් ෆ්‍රිජ් එකේ තියලා එළියට ගන්න.

 

-------------------------

 

ටිපිටිප්

තම්බාගත් අල ගෙඩි 4ක්

බිත්තර 1ක්

පාන්පිටි මේසහැඳි 2ක්

කෝන්ෆලවර් මේසහැඳි 4ක්

කිරිපිටි මේසහැඳි 2ක්

චීස් කෑල්ලක්

කහ කුඩු තේහැඳි 1/4ක්

ලුණු හා ගම්මිරිස් කුඩු 

‍යීස්ට් මේසහැඳි 1ක්

වතුර කෝප්ප 1/4ක්

බැදීමට තෙල්

 

 

අල ටික පොඩිකර පාන්පිටි හා කෝන්ෆ්ලා දාගන්න. එයට කිරිපිටි ටිකත් දාලා චීස්, ලුණු, කහකුඩු, ගම්මිරිස් කුඩු හා බිත්තරය කඩලා දාලා හොඳට කලවම් කරගන්න.

ඊළඟට ඊස්ට් ටික දාලා හොඳට කලවම් කරගන්න. දැන් වතුර ටික ටික දාලා ටිකක් දියාරු ඩෝ එකක් හදාගන්න.

මේ ඩෝ එක වහලා විනාඩි 30ක් පිපෙන්න දෙන්න. විනාඩි 30කට පස්සෙ මිශ්‍රණය පයිපින් බෑග් එකකට දාලා‍ රත් වුණු තෙලට කෑලි කෑලි පයිප් කරගන්න. රන්වන්පාට වෙනකල් බැදගන්න.

 

උපදෙස් සූපවේදී සුජිත් ආරියරත්න