නත්තලේ රස විඳින්න නත්තල් කෑම

දෙසැම්බර් 18, 2023

නත්තල් කිව්වම ඇඟ හිරිවැටිලා අමුතුම ෆීලින් එකක් එනවා නෙහ්. ඔව්... ඔව්... ඒ කාලේ ළඟ ළඟම එනවා. ඉතින් ප්‍රීතිමත්ම නත්තල් කාලෙට හදන විශේෂ කෑම වර්ග ටිකක් තමා අද කියලා දෙන්න හදන්නෙ. මේ සමහර කෑම කලින් හදලා කල් තියාගන්නත් පුළුවන්. ඉතින් නත්තල් ප්‍රීතිය විඳ ගනිමින් මේ කෑම හදලා රස විඳින්න.

බෲදර් බ්‍රෙඩ්

 

ඩෝ එකට

පාන්පිටි ග්‍රෑම් 200ක්

ඊස්ට් තේ හැඳි 1ක්

උණුසුම් කිරි කෝප්ප 1ක්

සීනි තේ හැඳි 2ක්

ලුණු ස්වල්පයක්

 

බැටර් එකට

 

සීනි ග්‍රෑම් 100ක්

බටර් ග්‍රෑම් 100ක්

බිත්තර 2ක්

සුල්තානා ග්‍රෑම් 50ක්

චෙරීස් ග්‍රෑම් 50ක්

 

ග්ලේස් අයිසිං එකට

 

අයිසිං ෂුගර් මේස හැඳි 2ක්

වතුර ස්වල්පයක් 

දෙහි යුෂ ස්වල්පයක්

 

 

සාදන ක්‍රමය

 

මුලින්ම ඩෝ එක සෑදීමට ඊස්ට්, සීනි හා කිරි මේස හැඳි 2ක් කලවම් කරලා පිපෙන්න තියන්න. පාන්පිටිවලට ලුණු දාලා කිරි මිශ්‍රණයෙන් ටික ටික දාලා අනලා ඩෝ එක හදාගන්න. මේක තෙත රෙදි කෑල්ලකින් වහලා ඩෝ එක දෙගුණයක් වෙනකල් තියන්න.  වෙනම බෝල් එකකට බටර්, සීනි හා බිත්තර හොඳට බීට් කරලා පිටි මෝලියට කලවම් කරන්න. මේකට පලතුරු සියල්ලම දාගන්න. බටර් ගාගත් මෝල්ඩ් එකකට දාල තවත් පැයක් පිපෙන්න තියලා සෙල්සියස් අංශක 180°ට විනාඩි 40ක් බේක් කරගන්න.  අයිසිං සීනිවලට වතුර ටිකක් හා දෙහි යුෂ දාලා තරමක් ඝන අයිසිං එකක් හදාගන්න. බෲදර් එක නිවුණාට පස්සෙ මේ ග්ලේස් අයිසිං එක වක්කරගන්න.

******************************

ක්‍රිස්මස් බ්‍රෙඩ්

 

කජු ග්‍රෑම් 100ක්

චෙරි ග්‍රෑම් 100ක්

සුල්තානා ග්‍රෑම් 100ක්

කැන්ඩිඩ් පීල් ග්‍රෑම් 100ක්

දෙහි ලෙලි තේ හැඳි 1ක්

බටර් ග්‍රෑම් 175ක්

සීනි තේ හැඳි 8ක්

බිත්තර 1ක්

පාන් පිටි ග්‍රෑම් 500ක්

ලුණු ස්වල්පයක්

ඊස්ට් තේ හැඳි 4ක්

උණු වතුර ටිකක්

සරසාගැනීමට අයිසින් ෂුගර් තේ හැඳි 8ක්

 

 

මුලින්ම ඊස්ට්වලට උණු වතුර මේස හැඳි 6ක් හා සීනි තේ හැඳි 2ක් දාලා කලවම් කරලා වහලා තියන්න. විනාඩි 10කින් වගේ ඊස්ට් ටික හොඳට පිපිලා ආවම පාන් පිටි, ඉතිරි සීනි සහ ලුණු එකතු කරලා අනාගන්න.

බිත්තරයක් එකතු කරලා ඩෝ එක හදන ගමන් ළා රස්නේ වතුර ටිකකුත් දාලා බටර් ටිකත් එකතු කරලා අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න. දැන් මේකට දෙහි ලෙලි ඇතුළු කපාගත් පලතුරු ටික එකතු කරන්න.

ට්‍රේ එකකට බටර් තවරා ඩෝ එක දමා පිපෙන්න මිනිත්තු 20ක් වගේ තියාගන්න. දැන් මේක සෙල්සියස් අංශක 140°C ට විනාඩි 30ක් බේක් කරන්න.

නිවුණු පසු අයිසිං සීනිවලින් සරසාගන්න.

**************************

චොකලට් ෆිල්ඩ් ක්‍රීම් චීස් පේස්ට්‍රි

 

පේස්ට්‍රි එකට

ක්‍රීම් චීස් ග්‍රෑම් 100ක්

මෘදු බටර් කප් 1ක්

සීනි කප් 1/2ක්

පිටි කප් 3 1/2ක්

 

ෆිලින්ග් එකට

කුකිං චොකලට් ග්‍රෑම් 150ක්

ෆ්‍රෙශ් මිල්ක් කප් 1/4ක්

කැබලි කපාගත් කුකිං චොකලට් ටිකක්

 

 

චීස්, බටර් සහ සීනි හොඳින් ක්‍රීම් වනතුරු බීට් කරගන්න. එයට පිටි ටිකෙන් ටික එකතු කරමින් මෘදු ඩෝ එකක් හදාගන්න. හදාගත් ඩෝ එකෙන් කුඩා කප් ආකාරයට සාදාගෙන පැයක් ශීතකරණයේ තියාගන්න.

ඒ අතරතුර කුකිං චොකලට් 150ට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගෙන ඩබල් බොයිල්කර හෝ මයික්‍රොවේව්කර චොකලට් ටික දියකර ගන්න. නිවෙන්නට හැර චොකලට් කැබලි එක් කරගන්න.

සාදාගත් චීස් කප් ටික සෙල්සියස් අංශක 200ට ප්‍රී රත්කරගත් උඳුනක විනාඩි 10-12ක් බේක් කරගෙන නිවා ගන්න. නිවුණු පසු චොකලට් මිශ්‍රණය පුරවා නැවත ශීත කරගන්න.

 

*************************

පොටෑටෝ ඇන්ඩ් සොසේජ් බයිට්ස්

 

කුඩාවට කපාගත් සොසේජස් කප් 1ක්

පාන් පිටි කප් 1ක්

තම්බා පොඩි කරගත් අල කප් 1ක්

කපාගත් චෙඩාර් චීස් කප් 1/2ක්

බිත්තර 2ක්

අවශ්‍ය පමණ ෆ්‍රෙෂ් මිල්ක්

පාන් කුඩු

 

 

ෆ්‍රෙෂ් මිල්ක්, බිත්තර 1ක් සහ පාන් කුඩු හැර අනෙක් සියල්ලම එකට එක්කර හොඳින් මිශ්‍ර කරගන්න. මිශ්‍රණය කුඩා බෝල සාදා ගැනීමට අවශ්‍ය පමණ ෆ්‍රෙෂ් මිල්ක් එයට එක් කරගන්න.

මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා, බිත්තර සාරුවල දවටා, පාන් කුඩු තවරා ගන්න. විනාඩි 30ක් පමණ ශීතකරණයේ තබා ගැඹුරු තෙලේ බැද ගන්න.

*****************

බේකන් රැප්ඩ් පොටෑටෝස්

 

 

දිග කොටු කපා තම්බාගත් අල හෝ බතල

බේකන් තීරු

සුදු විනාකිරි තේ හැඳි 2ක්

සීනි මේස හැඳි 2ක්

තම්බාගත් අලවලට විනාකිරි සහ සීනි එක්කර විනාඩි 15ක් පමණ තියාගන්න.

 

 

අල කැබැල්ලක් ගෙන බේකන් තීරුවකින් ඔතා ටූත්පික් එකකින් රඳවා ගන්න. ඔයිල් ස්ප්‍රේ කරගත් තැටියක තබා සෙල්සියස් අංශක 180ට රත්කරගත් උඳුනක විනාඩි 35ක් පමණ බේක් කරගන්න.

******************

ක්‍රිස්මස් පුඩිං

 

රේසිං ග්‍රෑම් 100ක්

සුල්තානා ග්‍රෑම් 100ක්

පාන්පිටි ග්‍රෑම් 100ක්

කරන්ට්ස් ග්‍රෑම් 100ක්

චෙරි ග්‍රෑම් 80ක්

ආමන්ඩ් ඇට ග්‍රෑම් 5ක්

කජු ග්‍රෑම් 50ක්

ග්‍රේට්කරගත් දොඩම් පොතු තේ හැඳි 1ක්

කැන්ඩිඩ් ෆීල් ග්‍රෑම් 50ක්

දුඹුරු සීනි ග්‍රෑම් 100ක්

පාන්කුඩු ග්‍රෑම් 40ක්

ස්පයිසස් තේ හැඳි 1/2ක්

බටර් ග්‍රෑම් 100ක්

බිත්තර 2ක්

බේකිං පවුඩර් තේ හැඳි 1ක්

බ්‍රැන්ඩි කෝප්ප 1/2ක්

 

 

 

බ්‍රැන්ඩිවලට කපාගත් පලතුරු සියල්ලම දාලා පැය 8ක් තියන්න. වෙනම බෝල් එකකට පාන්පිටි, බේකිං පවුඩර්, ස්පයිසස් දාලා කලවම් කරන්න. මේකට බ්‍රැන්ඩිවල දාගත් පලතුරු ටික දාලා බිත්තර හා බටර් ටික දාලා හොඳට කලවම් කරගන්න. මේකටම දොඩම් පොතු, සීනි, පාන්කුඩු හා නට්ස් වර්ග දාලා කලවම් කරගන්න. 

බටර් ගාගත් පුඩිං මෝල්ඩ් එකකට ඔයිල් පේපර් එකක් දාලා පුඩිං එක දාලා ෆොයිල් එකකින් කවර් කරගන්න. 

භාජනයකට වතුර 1/2ක් වගේ දාලා පුඩිං බෝල් එක දාලා අඩු ගින්දරේ පැය 3-4ක් ස්ටීම් කරගන්න. වතුර හිඳෙන ගාණට නැවත උණුවතුර එක්කරගන්න

 

 

උපදෙස්

සූපවේදී සුජිත් ආරියරත්න