එළවළු ගණන් කාලේ පොත්තෙන් රසම කෑම

ජනවාරි 8, 2024

අහක දාන එළවළු පොත්තෙනුත් වැඩක් ගමු ද? අහලා තියෙනවද ඕනෑම එළවළුවක පලතුරක වැඩිම පෝෂණයක් තියෙන්නේ පොත්තේ කියලා. ඒත් එතරම් ගුණ තියෙන එළවළු පොතුවලිනුත් රසම රස කෑම හදන්න පුළුවන් කියලා අපේ ගෘහණියන් තවමත් නොදන්නවා විය හැකියි. ඒ විදිහට එළවළු පොතුවලින් කෑම හැදුවොත් වියදමක් නැතුව අමතර පෝෂණයකුත් ලබා ගන්න පුළුවන්. ඒ නිසාම මෙවර තරුණී පුවත්පතෙන් එහෙම කෑම වර්ග කිහිපයක් ගෙන එන්න හිතුවා. හදලා බලන්නකෝ මේවා අහක දාන පොතු කියලා හිතන්නවත් බැරි වේවි. ඒ තරම් රසයි.

 

දෙල් පොතු වෑංජනය 

දෙල් පොතු වෑංජනය හරිම රසවත්. මේ දෙල් පොතු බැදලත් විවිධ කෑම වර්ග හදන්න පුළුවන්. අද අපි දෙල් පොතු වෑංජනය හදලා බලමු.
මේ සඳහා අලුත් දෙල් ගෙඩි 1/2ක පොතු, මිටිකිරි හා දියකිරි කෝප්පය බැගින්, තළාගත් සුදුලූනු බික් 2-/3ක්, ලියාගත් රතුලූනු ගෙඩි 2/3ක්, කරපිංචා ඉත්තක්, රම්පේ කැබැල්ලක්, අබ ස්වල්පයක්, අමුමිරිස් 2 ක්, කහ ස්වල්පයක්, අමුතුනපහ කුඩු තේ හැඳි 1/2ක්, මිරිස් කුඩු තේ හැන්දක්, බැදපු තුනපහ කුඩු තේ හැඳි 1/2ක්
ඉදුණු තක්කාලි ගෙඩියක් සහ රස අනුව ලුණු අවශ්‍යයි.

 

දෙල් පොතු ලුණු වතුරේ දමා හොඳින් පිරිසුදුකර කුඩා කැබලි කපන්න. මැටි බඳුනකට තෙල් ස්වල්පයක් දමා අබ දමා පුපුරවන්න. එයට ලියාගත්  සුදුලූනු, රතුලූනු, කරපිංචා, රම්පා, අමුමිරිස්, තක්කාලි දමා තෙම්පරාදු කරන්න. ඒ අතරතුර තක්කාලි කැබලි හැන්දකින් පොඩි කරන්න. කපාගත් දෙල් පොතු එකතු කරන්න. එයට  අමු තුනපහ, මිරිස් කුඩු, බැදපු තුනපහ කුඩු, කහ සහ දියකිරි එකතුකර මඳ ගින්දරේ පිසින්න. කෑලි හොඳින් තැම්බී දියකිරි හිඳුණු පසු මිටිකිරි එකතුකර පදමට ලුණු දමා  මඳ ගින්දරේ මඳක් හිඳෙන තුරු පිසින්න. මෙම වෑංජනය තෙම්පරාදු නොකර පොල් කිරි දමා හින්ඳවා වුවත් කෑමට ගත හැකිය.

------------------------

අළුකෙසෙල් පොතු තෙලට

 

අළු කෙසෙල් උයලා පොතු ටික විසි නොකර අළු කෙසෙල් ලෙලිවලින් රසවත් ඒ වගේම හරිම ගුණ පොඩි කෑමක් හදලා බලමු.

 

ඒ සඳහා සිහින්ව කපාගත් අමු අළු කෙසෙල් ලෙලි, උම්බලකඩ, කෑලි මිරිස්, රතු ලූනූ, අමු මිරිස්, කුරුඳු පොත්තක්, රම්පෙ, කරපිංචා සහ ලුණු ස්වල්පයක් අවශ්‍යයි.

පළමුව භාජනයකට තෙල් ටිකක් දාල රත් වෙන කොට උම්බලකඩ කෑලි දමා ටිකක් බැද ගෙන පසෙකින්. නැවත තෙල් ටිකක් දමා කෙසෙල් ලෙලි ටික ටිකක් බැදෙන්න දෙන්න. උම්බලකඩ හැර සියලුම අමු ද්‍රව්‍ය එක්කර හොඳින් කලවම් කර කෙසෙල් ලෙලි ටික මෘදු වන තෙක් පිසගන්න. අන්තිමටම බැඳගත් උම්බලකඩ එක් කර ළිපෙන් ඉවතට ගන්න.

 

-------------------------

වැටකොළු පොතු මැල්ලුම

වැටකොළු පොතු මැල්ලුම කියද්දි නම් ගොඩක් අයට නුහුරු හැඟීමක් ඇති වෙයි. ඒත් ගමේ ඉන්න වයසක ආච්චි අම්මලනම් මේ මැල්ලුම ගැන හොඳටම දන්නවා.

 

ඒ තරමට ඈත අතීතයේ ඉඳලම ප්‍රසිද්ධ කෑමක් තමයි මේ වැටකොළු පොතු මැල්ලුම

මේ සඳහා හීනියට කපාගත් ළපටි වැටකොළු පොතු,

පොතුවල ප්‍රමාණයට අනුව ගා ගත් පොල් ස්වල්පයක්, කරපිංචා ඉත්තක්, කහ කුඩු ස්වල්පයක්, කපාගත් බී ලූනූ, අමු මිරිස් කරල් 2 -3ක්, සුදු ලූනූ බික් දෙකක්, රම්පේ කෑල්ලක්, ගම්මිරිස් ඇට කිහිපයක් සහ ලුණු ස්වල්පයක් අවශ්‍යයි.

පළමුව වැටකොළු පොතුවලට කහ, ලුණු, කරපිංචා හා රම්පේ කෑල්ල එක්කර වතුර ඉතාම ටිකක් දා තම්බා ගන්න.

ඉන්පසු පොල්වලට කහ, බී ලුනු, අමු මිරිස්, සුදු ලුනු , ගම්මිරිස් ඇට එක්කර හොඳට ග්‍රයින්ඩ් කරගන්න.

වැටකොළුවල වතුර ගතිය සීඳී ගෙන එන විට ග්‍රයින්ඩ් කරපු පොල් මිශ්‍රණය එක්කර මිශ්‍රකර බා ගත්තා. හොඳින් නිවුණ පසු දේහි යුෂ එක් කර ගන්න.

 

 

උපදෙස්

සූපවේදී සුජිත් ආරියරත්න