විදෙස් කෑම ගමේ රසට

ජනවාරි 15, 2024

කඩ කෑම කොච්චර රසයි කියලා කෑවත් ටික දවසක් යද්දි එපා වෙනවා. ඒ අපිට පුරුදු රස ටික කාලයක් නොලැබෙද්දී දැනෙන නුහුරු ගතිය නිසා. ගමේ රසට ගෙදර හදන කෑම කවදාවත් එපා වුණා කියලා අහලවත් තියෙනව ද? ගමේ කෑම ශ්‍රී ලාංකික අපට ඒ තරම් සමීපයි. ඒ නිසා ගමේ රසට ගමේ විදියට කන්න ආස කොයි කාටත් රසම රස රෙසිපි ටිකක් අද ගෙනාවා.

දැන් පොළොස් බර්ගර් ගෙදරදීත් හදන්න පුළුවන්

බර්ගර් බන් එක හදන්නේ මෙහෙමයි

මේ බර්ගර් බනිස් හදන්න පාන් පිටි කිලෝ 1යි ග්‍රෑම් 500ක්, දියර කිරි මිලි ලීටර් 50ක්, ඊස්ට් තේ හැඳි තුනක්, ලුණු ස්වල්පයක්, සීනි ස්වල්පයක්,

බටර් ස්වල්පයක්, බිත්තර 08ක්, තල ඇට ග්‍රෑම් 50ක් සහ

ජලය මිලි ලීටර් 200 - 250ක් අවශ්‍යයි.

 

පළමුව ඊස්ට් උණුසුම් වතුර බඳුනකට දමා එය හොඳින් කලවම්කරගන්න. ඉන්පසු විනාඩි පහක් පමණ එය තිබෙන්නට හරින්න. දැන් බිත්තර 7ක්, බටර්, සීනි, ලුණු, දියර කිරි, සහ පාන් පිටි ගෙන කලින් සාදාගත් ඊස්ට් මිශ්‍රණයට එකතුකර අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා අතේ නොඇලෙන තලපයක් ආකාරයට හොඳින් අනාගන්න.

හොඳින් අනාගත් පිටි මිශ්‍රණය පිරිසුදු රෙදි කෑල්ලකින් වසා පැයක පමණ කාලයක් තිබෙන්නට හරින්න.

ඉන්පසු ඒවා බර්ගර් හැඩයට සිටින සේ සකසා නැවත වතාවක් පිරිසුදු තැටියක අසුරා පැයක පමණ කාලයක් වසා තබන්න. විදුලි උඳුන සෙල්සියස් අංශක 150ක උෂ්ණත්වයට විනාඩි 10ක් පමණ රත් වෙන්න හරින්න. ඒ අතරතුර ඉතිරි බිත්තරය හොඳින් ගසාගෙන සාදාගත් බර්ගර් හොඳින් තවරා ගන්න. එයට උඩින් තල ඇට කිහිපයක් ඉසගත් පසු විදුලි උඳුනේ මිනිත්තු 40ක් තබා, පිටතට ගෙන නිවෙන්න හරින්න.

දැන් අපි පොළොස් බර්ගර් එක හදමු

මේ සඳහා පොළොස් කිලෝ එකක්, අමු මිරිස් කරල් 4 -5ක්, සුදු ලූනූ බික් 3-4ක්, ඉඟුරු කෑල්ලක්,

ලුණු ස්වල්පයක්, ගම්මිරිස් ස්වල්පයක්, මාලු මිරිස් කරල් 2 -3ක්, කරපිංචා ඉත්තක්, තම්බාගත් කඩල ග්‍රෑම් 100ක්, තුනපහ, කෑලි මිරිස් සහ කහ කුඩු ස්වල්පය බැගින් අවශ්‍යයි.

පළමුව පොළොස් ටික ගෙන පොතු හැර වතුර භාජනයක දමා ලුණු සහ කහ මිශ්‍ර කරගන්න. පසුව වතුර බඳුනක් ළිප තබා කරපිංචා ස්වල්පයක් එකතුකර ලුණු සහ කහ ඊට එකතුකර වතුර උණුවෙන්නට හරින්න.

ඉන්පසු වතුර එක උණුවීගෙන එනකොට සකසාගත් පොළොස් ටික දමා මඳක් තැම්බෙන්නට හරින්න.

ඉන්පසු ඉඟුරු, සුදුලූනූ, අමු මිරිස්, කරපිංචා, මාළු මිරිස්, කෑලි මිරිස්, ලුණු, ගම්මිරිස් එකට මිශ්‍රකොට ග්‍රයින්ඩ් කරගන්න. ඉන්පසු තම්බාගත් පොළොස්වලිනුත් කොටසක් ග්‍රයින්ඩ් කරගන්න. දැන් ග්‍රයින්ඩ් කරගත් අමුද්‍රව්‍ය මිශ්‍රණයත්, ග්‍රයින්ඩ් කරගත් පොළොස් ටික සහ තම්බාගත් ඉතිරි පොළොස් ටිකත් තරමක් ලොකු බෝල් එකකට දමා ගන්න. දැන් ඊට තම්බාගත් කඩල පිටි එකතුකර හොඳින් අනාගන්න. දැන් මේ මිශ්‍රණය කුඩා කොටස්වලට වෙන් කොට බර්ගර් හැඩයට සකසා ගන්න.

මෙසේ සකසාගත් බර්ගර් බටර් ස්වල්පයක් දමා දෙපැත්ත බැදගන්න.

ඉන්පසු ඔබ මුලින් සැකසූ බර්ගර් බනිස් දෙකට මැදින් කපා එහි බටර් ස්වල්පයක් තවරා බර්ගර් පිසගත් බඳුනටම දමා මඳ වේලාවක් දුඹුරු පැහැවන තෙක් තබා ඉවතට ගන්න.

දැන් සලාද කොළ දෙකක් ගෙන ඉන් එකක් බර්ගර් බනිස් පලුවක උඩින් තබා එයට උඩින් බාබක්‍යු සෝස් තවරන්න. සකසාගත් බර්ගර් එකකුත් ඊට එකතුකර ගන්න. ඉන්පසු දික් අතට කපාගත් පිපිඤ්ඤා ස්වල්පයක් එකතුකර ගන්න. දික් අතට කපාගත් කැරට් සහ රවුම් හැඩයට කපාගත් ලූනූ ද උඩින් තබන්න. බර්ගර් බනිස් එක මතින් ඉතිරි සලාද කොළය ද තබා මෙයොනීස් සෝස් ස්වල්පයක් උඩින් දමා ගන්න.

 

තායි බනානා රොටි

හැමදාම හදන රොටියට වෙනසක් එකතු කරලා බලමු ද? කෙසෙල් සහ චොකලට් එකතු කරන නිසා පොඩිත්තනුත් ආස වේවි.

මේ සඳහා පාන් පිටි ග්‍රෑම් 300ක්, බටර් කෝප්ප 1/2ක්, හොදින් ගසා ගත් බිත්තරයක්, ලුණු තේ හැඳි 1ක්, සීනි තේ හැදී 1ක් සහ වතුර කෝප්ප 1/2ක් අවශ්‍යයි.

පිරවුම සඳහා පොඩියට රවුම් ආකාරයට කපන ලද හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩි 3ක් පමණ, අයිසින් සීනි තේ හැඳි 6 ක්, චොකලට් සෝස් තේ කෝප්ප 1/2ක්,

උකූ කිරි තේ කෝප්ප 1ක් අවශ්‍යයි.

මුලින්ම අපි රොටිය හදමු. පිටි, සීනි, ලුණු ආදිය භාජනයක දමා හොඳින් කලවම් කරගන්න  

ඉන්පසු බටර් ටික දමා හොඳින් කෑලි මතුවන පරිදි මිශ්‍රකර ගන්න, පසුව වතුරද ගසාගත් බිත්තරය ද එකතුකර ගන්න. හොඳින් මිශ්‍රණය රොටි ආකාරයට  කලවම් කරන්න. දැන් එය පැයක් පමණ වසා තබන්න.

ඉන්පසු නන්ස්ටික් බඳුනක් ළිප තබා ගන්න. එයට බටර් ස්වල්පයක් දමා ගෙන රත් වූ පසු එයට සීනි හැන්දක් එකතුකර ගන්න. ඔබ කපාගත් කෙසෙල් ස්වල්පය හැර අනෙක් ද්‍රව්‍ය ළිප තබාගත් භාජනයට එකතුකර ගන්න. එය පිසෙන්නට හරින්න. හොඳින් පිසුණු පසු එයට චොකලට් සෝස් හැන්දක් දමා ළිපෙන් බාගන්න.

පසුව එම බඳුනම පිරිසුදුකර ළිප තබා රත්වෙන්නට හරින්න. දැන් එම මිශ්‍රණයෙන් බෝල එකින් එක ගෙන රොටි ආකාරයට තුනීකර ගන්න. මෙය තෙල් ස්වල්පයක් භාවිත කර ලෙහෙසියෙන් සකසා ගත හැකිය. ළිප තැබූ බදුන රත් වූ පසු බටර් හැන්දක් දමාගන්න. ඉන්පසු එම රොටිය ළිප මත ඇති බඳුනට දමා පෑන් කේක් එකක ආකාරයට පිසගන්න. එලෙස දෙපැත්තම හොඳින් පිසගන්න.

දැන් පිසගත් චොකලට් සෝස් මිශ්‍රණය පෑන් කේක් එක මැදින් දමා ගන්න. ඉන්පසු කෙසෙල් ස්වල්පයක් ඉස ගන්න.  දැන් පෑන් කේක් එක හතර පැත්තට නමාගන්න. පසුව එහි දෙපැත්තම පිසගන්න.පිළිගැන්වීමට පෙර එයට අයිසිං සීනි ඉසගන්න, පසුව එය හතරට කපා චොකලට් සෝස් දමා පිළිගන්වන්න.  මෙය උදෑසන සහ සවස තේ වෙලාවට වඩාත් සුදුසු ගුණදායී අාහාරයකි.

 

උපදෙස්

සූපවේදී මාර්ක් කුමාර්