දෙල් වාරේ රස තාලේ

පෙබරවාරි 5, 2024

කහ පාටට පැහිලා තිබෙන දෙල් ගහේ ගෙඩි දැක්කාම නිසංසලාට හිතුණේ දෙල් වෑංජනයක් කන්න ඇත්නම් කියන සිතුවිල්ලයි. ඒත් දරු පැටියාගේ මුහුණ දකින්න දැන් බොහොම ආසන්න කාලයක සිටින නිසා ඇයට දෙල් කන්න වැඩිහිටියන්ගෙන් අවසරයක් නැහැ.”දෙල් උෂ්ණයි…මේ දවස්වල කන්න හොඳ නැහැ….” ඒ වගේම මීට අවුරුදු තුනකට ඉස්සර ලොකු පුතාට කිරි දෙන කාලයේදීත් දෙල් කන්න අවසර තිබුණේ නැහැ. එතකොට කිව්වේ කිරි දෙන අම්මා දෙල් කෑවොත් දරැවාට රත බිබිලි එන බවයි. මේවායේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් දෙල් වෙනුවෙන් ගැබ්බර අම්මාට වගේම කිරි දෙන අම්මාටත් තහංචි තිබුණා. එදා දවසේ තිබුණු මේ සම්මත අදහස් තුළ විද්‍යාත්මක හේතු ඵල සම්බන්ධතාවයකුත් තිබුණා. ඒ නිසා එදා අම්මලාගෙන් ලැබුණු තහංචි අපිට යල් පැන ගිය බව කියමින් ඉවත දාන්නත් බැහැ. ඒ කොහොම වුණත්…,

දෙල් වාරෙට දෙල් අගුණයක් නැතුව ආහාරයට ගන්නේ කොහොමද…?

අපි දෙල් තම්බලා ආහාරයක් විදිහට අනුභව කරනවා. මෙහිදී පොල් එකතු කරගන්නවා. එයින් දෙල්වල තිබෙන උෂ්ණ බව අඩුවෙනවා. ඒත් සමහර උදවිය මෙතැනදී එක් වැරැද්දක් කරනවා. ඔවුන් දෙල් ආහාරයට ගන්න කොච්චි සම්බෝලයක් හදා ගන්නවා. කටගැස්මක් විදිහට නම් බොහොම අපූරුයි. ඒ වුණාට කොච්චි යොදා ගත්තාම දෙල්වල ගිනියම් බව තවත් වැඩි වෙනවා.

දෙල්වල තිබෙන ගිනියම් බව අඩුකර ගන්නේ කොහොමද…?

ඉස්සර කාලයේ පටන්ම දෙල් වෑංජනයක් පිසින විට නිවිති කොළ එක්කර ගත්තා. නිවිතිවල සිරුර නිවන හැකියාව තිබෙනවා. ඒ වගේම දෙල් වෙනුවෙන් යහමින් කිරි එකතුකර ගැනීමත් හොඳයි. පොල් කිරිවලිනුත් දෙල්වල ගිනියම් බව අඩු වෙනවා. සමහර උදවිය දෙල් පිසගෙන එයට දෙහි යුෂ එක්කර ගන්නවා. එයින් අපූරු රසයක් ලැබෙනවා වගේම දෙල්වල ගුණ අවශෝෂණයකර ගැනීම පහසුයි.

දෙල් ආහාරයට ගන්නා විට අකැප දේවල්

දෙල් ආහාරයට ගන්නා විට අකැප දේවල් කීපයක්ම තිබෙනවා. හැම ආහාරයක්ම අපි ලබා ගනිද්දී එහි අගුණ බව අඩු කරන්න, ගුණය වැඩි කරන්න විවිධ පිළියම් තිබෙනවා. දෙල් වෑංජනයක් පිළියෙල වුණා නම් කෙලවල්ලෝ, බල, හුරුල්ලෝ වැනි උෂ්ණ මාළු ආහාරයට ගැනීම සුදුසු නැහැ. ගැස්ට්‍රයිටිස් තිබෙන අයට දෙල් නිසා රෝග තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා පවුලේ අම්මා විදිහට දෙල් පිළියෙල කරනවා නම් අතුරු වෑංජන මඟින් දෙල්වල අගුණ නැති වීම වැදගත්.

දෙල් කල් තබා ගන්න පුළුවනි.

දෙල් වාරයට ගස් පල්ලේ කුණුව යන දෙල් අවාරයට ආහාරයට ගන්නා විදිහට සකස්කර ගන්න පුළුවනි. දෙල් සිහින්ව කපලා ලුණු ස්වලපක් එක්කරලා වසා තබන්න. එය යාන්තමින් මෙලෙක් බවට පත් වුණාම හොඳින් හිරු රැස් ලැබෙන අව්වක වේළාගෙන සුළං නොවදින සේ අසුරා තබන්න. අවාරයට මේවා පිස ගන්න පුළුවනි. උයන්න පෙරාතුව පොඟවා ගන්න. ඊට පසුව සාමාන්‍ය විදිහට තුනපහ එක්කරල උයා ගන්න.

රසකැවිල්ලක් විදිහටත් දෙල් පිළියෙල කරගන්න පුළුවනි. දෙල් සිහින්ව ලියා ගෙන තෙලෙන් බදින්න. ඊට පසුව සීනි උකු ද්‍රාවණයක් විදිහට උණුකර ගෙන මෙම බැදගත් දෙල් එහි දවටන්න. සුළං නොවදින විදිහට අසුරා ගෙන රස බලන්න පුළුවනි.

මේ දෙල් වාරේ නිසා විවිධ රසට සැකසිය හැකි මේ වට්ටෝරුත් හදලා බලන්න.

-------------------

දෙල් වෑංජනය

 කපාගත් දෙල් ග්‍රෑම් 250ක්

කුඩාවට කපා ගත් රතුලූනූ ගෙඩි 6-7ක්

අබ ඇට තේ හැඳි 1ක්

බැදගත් උළුහාල් තේ හැඳි 1/4ක්

උම්බලකඩ කුඩු මේස හැඳි 1ක්

කපාගත් අමු මිරිස් කරල් 2ක්

රම්පේ කැබැල්ලක්

කරපිංචා ඉත්තක්

කුරුඳු පොතු කැබැල්ලක්

කපාගත් සුදුලූනූ බික් 2ක්

තෙල් මේස හැඳි 2ක්

කහ කුඩු සහ තුනපහ කුඩු තේ හැඳි 1 බැගින්

මිරිස් කුඩු තේ හැඳි 1/4ක්

දියකිරි අඬු කෝප්ප 2ක්

මිටිකිරි අඬු කෝප්ප 1/2ක්

අවශ්‍ය පමණට ලුණු

වියළි මිරිස් කරල් දෙක තුනක්

 

පළමුව මැටි වළඳක් ළිප තබා තෙල් රත්වන විට ඒකට අබ දමා පුපුරන විට රම්පේ, කරපිංචා, කුරුඳු පොතු, සුදුලූනූ, අමු මිරිස් එකතුකර ලූනූවලින් කොටසක් එක්කර බැදෙන්නට හරින්න. එය බැදීගෙන එනවිට උළුහාල්, තුනපහ, මිරිස් කුඩු, කහ කුඩු, උම්බලකඩ දමන්න. මෙම මිශ්‍රණය බැදෙන අතරතුර දියකිරි සමඟ කපා ගත් දෙල් කැබලි දමා අඩු ගින්දරේ තැම්බෙන්නට තබන්න. දෙල් හොඳින් තැම්බුණ පසු මිටිකිරි එකතුකර රස අනුව ලුණු ද මිශ්‍රකර ගන්න. 

වෙනම භාජනයක තෙම්පරාදුව සඳහා තෙල් ටිකක් දමා ළිප තබා, ඉතිරි කළ ලූනූ, වියළි මිරිස් දමා බැදෙන්නට හැර පිසගත් දෙල් ව්‍යංජනය මතට දමන්න.

-------------------

දෙල් ආනම

 

දෙල් ගෙඩි 1ක්

තළාගත් සුදුලූනූ මේස හැඳි 1 ක්

කරපිංචා ඉත්තක්

කුරුඳු පොතු කැබැල්ලක් 

කරදමුංගු සහ කරාබු නැටි 2 බැගින් 

කහ කුඩු සහ මිරිස් කුඩු තේ හැඳි 1/2 බැගින්

අබ ඇට තේ හැඳි 1ක්

තුනපහ තේ හැඳි 1ක්

උළුහාල් ඇට 10ක් පමණ 

දියකිරි අඬු කෝප්ප 2ක්

මිටිකිරි අඬු කෝප්ප 1/2ක්

තෙල් තේ හැඳි  2ක්

 

පළමුව දෙල් ගෙඩිය පොතුහැර කුඩාවට කපා කහ සහ ලුණු මිශ්‍ර වතුරේ සෝදාගන්න. දැන් දෙල්වලට මිටිකිරි දමා හොඳින් බ්ලෙන්ඩර්කර පසෙකින් තබන්න. 

මැටි වළඳක් ගෙන එයට දියකිරි දමා කරපිංචා, කුරුඳු, සුදුලූනූ, කරදමුංගු, කරාබුනැටි, තුනපහ කුඩු, මිරිස් කුඩු දමා මිශ්‍රකර පසෙකින් තබන්න.

දැන් වෙනත් භාජනයක් ගෙන ළිප තබා, එයට තෙල් දමා රත්වන විට අබ දමා පුපුරුවා උළුහාල් දමා ගන්න. මෙයට පළමුව සාදාගත් දියකිරි මිශ්‍රණය දමා උතුරවන්න.  ඉන්පසු බ්ලෙන්ඩර්කර ගත් දෙල් මිශ්‍රණය එකතුකර මඳ ගින්නේ පිස ගන්න.  මෙය උකුවට තලපයක් ලෙස සෑදුණු පසු ළිපෙන් බාගන්න.

---------------

දෙල් මුංඇට කරිය

සිහින්ව කපා ගත් දෙල් ග්‍රෑම් 250ක්

පොඟවා ගත් මුං ඇට ග්‍රෑම් 150ක්

කුඩාවට කපා ගත් ලූනූ ග්‍රෑම් 50ක්

අමු මිරිස් කරල් 2ක්

තුනපහ කුඩු මේස හැඳි 1/2ක්

කහ කුඩු තේ හැඳි 1/2ක්

මිරිස් කුඩු තේ හැඳි 1/2ක්

උම්බලකඩ මේස හැඳි 1ක්

රම්පේ

කරපිංචා ස්වල්පයක් 

කුරුඳු පොතු කැබැල්ලක් 

දියකිරි අඬු කෝප්ප 3ක්

මිටිකිරි අඬු කෝප්ප 1/2ක්

තෙල් මේස හැඳි 2ක්

වේළිච්ච මිරිස් කරල් 2ක් (දෙක තුනට කපා ගත්)

ලුණු /දෙහි යුෂ තේ හැඳි 1ක්

 පළමුව කපා ගත් දෙල් ටික කහ සහ ලුණු මිශ්‍ර වතුර දමා සෝදන්න. බඳුනක් ගෙන එයට පොඟවා ගත් මුං ඇට, කපා ගත් දෙල්, ලියාගත් අමු මිරිස්, තුනපහ, මිරිස් කුඩු, කහ කුඩු, උම්බලකඩ, රම්පේ, කරපිංචා, කුරුඳු දමා දියකිරි දමා ළිප තබා අඩු ගින්දරේ තබන්න. 

මුං ඇට තැම්බී වතුර හිඳෙන විට මිටිකිරි දමා හොඳින් කළවම් කර පිසගන්න. රස අනුව ලුණු දමාගන්න.

බඳුනක් ගෙන ළිප තබා එයට තෙල් දමා රත් වූ විට කපා ගත් ලූනූ, වියළි මිරිස් කැබලි, කරපිංචා දමා තෙම්පරාදුකර එයට සාදාගත් කරිය දමා තෙම්පරාදු කරගන්න.  අවසානයේ දෙහි ඇඹුල් එක් කරගන්න.

 

------------------------

සීනි දැමූ දෙල්

 

 

හොඳින් පැසුණු දෙල් ගෙඩියක්

සීනි ග්‍රෑම් 250ක්

වතුර අඬු කෝප්ප 1/4ක්

බැදීමට තෙල්  අවශ්‍ය පමණ

දෙල් ගෙඩිය පොතු හැර සෝදා ගිනිකූරු හැඩයට කපා ගන්න. එය කහ, ලුණු මිශ්‍ර වතුරේ සෝදා අව්වේ වේළා ගන්න. 

තාච්චියක් ළිපේ තබා එයට තෙල් දමා රත් වූ පසු දෙල් දමා රන්වන් පාට වනතුරු ගැඹුරු තෙලේ බැදගන්න. ඉන්පසුව එය තෙල් බේරෙන්නට තබන්න.

 

දැන් සීනි සහ වතුර බඳුනකට දමා උණුකර ගන්න. එය පත්පැණි පදමට උණු වූ පසු පැණි බුබුළු දමා එනවිට බැදගත් දෙල් දමා කූරකින් කලවම් කරන්න. ළිපෙන් බා දෙල් ඒ අත මේ අත පෙරළන විට එහි සීනි මිදී සුදු පාට වේ.  සුළං නොවදින ලෙස අසුරා කල්තබා ආහාරයට ගත හැකියි.

-----------------------

දෙල් මැල්ලුම

 

බාගෙට පැසුණු

දෙල් ගෙඩි 1ක්

ගා ගත් පොල් ග්‍රෑම් 100ක්

සුදුලූනූ බික් 2ක්

අමු මිරිස් කරල් 2ක්

රතුලූනූ ගෙඩි 3-4ක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක් 

කුරුඳු කැබැල්ලක් 

කහ තේ හැඳි 1ක්

සිහින්ව කපා ගත් කරපිංචා කිනිති 1ක්

ලුණු අවශ්‍ය ප්‍රමාණයට 

 

 

පළමුව දෙල් ගෙඩිය සුද්දකර සිහින්ව ලියා ගන්න. ඉන්පසුව කහ සහ ලුණු මිශ්‍ර වතුරේ සෝදා ගන්න. සෝදාගත් දෙල් භාජනයක දමා ලුණු ස්වල්පයක් සහ වතුර එක්කර මඳ ගින්නේ තැම්බෙන්නට තබන්න. 

දැන් මිරිස් ගලක් හෝ වංගෙඩියක සුදුලූනූ, අමු මිරිස්, ලියාගත් කරපිංචා, කුරුඳු සහ ලූනු දමා කොටන්න. එයට ගා ගත් පොල් ටික ද එකතුකර කොටා ගන්න. 

එයට ගම්මිරිස් කුඩු එක්කර අතින් හොඳින් අනාගන්න. 

ළිප තබා ගත් දෙල් තැම්බී වතුර සිඳීගෙන එනවිට සාදා ගත් පොල් මැල්ලුම දමා කූරු ගා ගන්න. 

ටික වේලාවක් ළිපේ තබා ඉවතට ගෙන දෙහි යුෂ එක්කර කළවම් කරගන්න.

 

උපදෙස්

සූපවේදී සුජිත් ආරියරත්න