මේ කාලේ ගණන් අඩුම චව් චව් ගැන රස රහස්

පෙබරවාරි 12, 2024

 

අද එතරම් ප්‍රසිද්ධ නැති මේ අපූරු එළවළුව ඒ කාලේ අත්තම්මලා භාවිතයට ගත්තේ බොහෝම නැණවත් ආකාරයකට. ගර්භිණී අම්මලාට හිතකර බව ජීවන අත්දැකීමෙන් දැන සිටි ඔවුන්, පිළිසිඳ ගත් මුල් කාලයේ ගැබ්බර අම්මලාට දෙන ආහාරවලට එකතු කළ වෑ‍ංජනයක් මේ.

දරුවාගේ අතපය නහය කට වාත්තු කළා මෙන් හැදෙන්නට, කිරි දෙන්නට සහ ප්‍රසවයට ගැබ්බර අම්මා පිළියෙල කිරීමේ මුල් පියවරක් ලෙසයි ඒ.

ගැබිනි මුල් තුන් මාසයේ ආහාරයට ගැනීමෙන් කලලයේ ඇතිවන ස්වභාවික විකෘති වළක්වා නිරෝගී දරු සම්පතක් ලබා ගැනීමට උපකාරීවන බව අත්තම්මලාට තිබු දැනුම නම් ඉතා අපුරුයි. අද වන විට මේ සඳහා ගැබිනි මවුවරුන්ට අතිරේකව ලබාදෙන ෆෝලික් ඇසිඩ්, චව් චව්වල බහුලව තිබීම ඊට හේතුවයි. දොළදුක් අම්මාගේ බත් පතේ පමණක් නොව ඇඟ පත නොසොල්වා  කඳ  බඩ  මහත් වුණු වැඩිහිටි උදවියට නිරෝගී බව පවත්වාගෙන යන්නටත් දියවැඩියා සහ හදවත් රෝගීන්ට පිළියෙල කළ බත් පතෙත් නොවැරදුණු චව් චව් වෑංංජනය අද බොහෝ දෙනා දුක් විඳින බඩ  පපුව දැවිල්ලටත් අමෘතයක් බව එකල අත්තම්මා දැන  සිටියා. ලවන වර්ග බහුලතාවය නිසා කිරිදෙන මවුවරුන්ගේ හිසකේ ගැලවී යාම වැළක්වීමටත්, ආර්තවහරණයෙන් පසු සමේ තෙතමනය පවත්වා ගැනීම, සම රැලි වැටීම වළකා තරුණ බව රැක ගැනීමටත් අනගි ආහාරයක් චව්  චව්.

රසවත් ලෙස පිසූ මේ වෑංජනයට අන් අයගේ  හිත නොගිය දිනෙක  අත්තම්මා ..''උන්ට එපා වුණාට මයේ මොකෝ..මගේ අතපය මං රැක ගන්නවා '' යි මුමුණමින් ඇයම ආහාරයට ගත්තේ කුමන හේතුවක් නිසාදැයි එකල මා නොදැන සිටියත් අද එයට හේතුව දනිමි. ඒ අන් කිසිවක් නොව ඒ ගුණය නම් ආර්තවය නැවතුණු වැඩිහිටි කාන්තාවන්ගේ අස්ථි රැක දීමේ හැකියාවයි.

ගැස්ට්‍රයිටිස් රෝගය සමනයට වටිනා ඖෂධයක්වන චව් චව් ඊට අමතරව, මල බද්ධය, මුත්‍රා ගල්, උදරයේ පිපීම, හදවත් රෝග වැළැක්වීම වැනි තවත් බොහෝ සෞඛ්‍යමය ප්‍රතිලාභ සිරුරට ගෙන දෙනවා.

විටමින් සහ ප්‍රතිඔක්සිකාරක අධික චව් චව් මද, කොළ  පමණක් නොව ඇටද  ආහාරයට ගැනීමෙන් පිළිකා රෝගය වළක්වා ගැනීමටත් පුළුවන් බව කියවෙනවා.

ආයුර්වේදයේ සහ දේශීය වෙදකමේදී චව් චව් ශාකයේ සියලු කොටස් අස්ථි, සන්ධි ආබාධ, බඩවැල්වල රෝග, පණු රෝග, දියවැඩියාව සහ තවත් බොහෝ රෝග සුව කිරීමට භාවිතකර තිබෙනවා.

පිපිඤ්ඤාවලට සමාන එළවළුවක්වන චව් චව් ශරීරයේ බර අඩුකර ගැනීමට බෙහෙවින් උපකාරීවන අතර ග්‍රෑම් 100ක් ආහාරයට ගැනීමෙන් ලැබෙන්නේ කැලරි 16ක් වැනි ඉතා කුඩා ප්‍රමාණයක්. තෙල් වර්ග කිසිවක් අඩංගු නොවන මෙම අගනා එළවළුවේ ආහාරමය තන්තු, ඛනිජ ලවන, විටමින් බී, පොටෑසියම් සහ ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වෙනවා. අතීතයේදී කයිදම් බතට පවා සැකසුණු චව් චව් අමු පොල් , හාල්, අබ අඹරා කිරට වෑංජනය ලෙස හෝ බැදපු පොල් අඹරා මිරිසට සකස්කර ගැනීමට නැතහොත්  පරිප්පු එක්කර සුදට හින්දවා පිළියෙලකර ගැනීමටත් පුළුවන්. ගස්ලබු මැල්ලුම ආකාරයට පොල් අඹරා චව් චව් මැල්ලුම ආකාරයටත් පිළියෙලකර ගත හැකියි.

සුප් වර්ගවලට ඊටම ආවේණික රසයක් ලබාදෙන චව් චව් එහි ඇති දිරවීමේ පහසුව නිසා රෝගීන්ට සහ බර අඩුකර ගැනීමට අවශ්‍ය අයට සාදන සුප්වලට එකතු කිරීමට ඉතා සුදුසුයි. මේ ගුණයම නිසා මුලින් ආහාර ගන්න ළදරුවන්ටත් ඉතා වටිනා එළවළුවක් මෙමඟින් සැපයෙනවා.

ගමේ රහට චව් චව්

මේ දවස්වල හැම එළවළුවක්ම හරි ගණන්. හැබැයි චව් චව්වල නම් ගණන් අඩු වෙලා. ඒ නිසා එළවළු කඩයකට ගියොත් මුලින්ම ඇහැ ගැටෙන්නේ චව් චව් එළවළුව. ඉතිං හැම තැනකදීම වගේ මේ දවස්වල දකින්න ලැබෙන චව් චව් දැක්කම මට මතක් වුණේ කාලයත් සමඟ අපට අමතක වෙලා භාවිතයෙන් ඈත්ව ගිය, අත්තම්මා රසට පිසූ බොහෝ ඖෂධිය ගුණ ඇති චව් චව් නම් රසවත් එළවළුව. ඒ කාලේ අත්තම්මා විවිධ විදිහට චව් චව් හැදුවා මට තාමත් මතකයි.

චව් චව් අපි එළවළුවක් විදිහට ගත්තට ඇත්තටම චව් චව් කියන්නෙ පලතුරක්. අත්තම්මා ඒ දවස්වල කිව්වෙ එහෙමයි. ඒ ලුණු ගම්මිරිස් ඉහළා අමුවෙන් වුණත් කන්න පුළුවන් නිසයි. ඒත් ඉතින් අපිට හුරු උයල කන්නනෙ. ඒ නිසාම මං හිතුවා අත්තම්මා එදා හදපු චව් චව් ඒ හදපු විදිහටම ආයෙත් හදලා බලන්න.

***********************

චව් චව් කරිය

සුදු කැකුළු හාලේ බතයි, චව් චව් කරියයි, පොල් සම්බෝලයකුයි තිබ්ෙබාත් හිතේ හැටියට කන්න පුළුවන්. අත්තම්මා හදන චව් චව් කරිය ගැන හොඳටම දන්න අප්පච්චි කිව්වේ එහෙමයි.

උදෑසනට ඉක්මනින්ම හදාගන්න පුළුවන් පෝෂණීය රස කෑම වේලක් තමයි ඒක. මේ චව් චව් කරිය හරි රහට හදාගන්න නම් කළමනා කිහිපයක්ම අවශ්‍යයි. මේ කළමනා ටික මේ විදිහට සූදානම් කරන්න බැරි වුණොත් ඒ හරිම රස ඒ විදිහටම ගන්න අමාරු වෙයි.

ඒ සඳහා චව් චව් ගෙඩියක්, තෙල් ටිකක්, ලියාගත් සුදුලූනූ බික් 2ක්, ලියාගත් රතුලූනූ ගෙඩි 2ක්, රම්පේ හා කරපිංචා, උළුහාල් ටිකක්, මිරිස්කුඩු තේ හැඳි 1ක්, තුනපහ කුඩු තේ හැඳි 1/2ක්, කහ කුඩු තේ හැඳි 1/4ක්, ලුණු, අබ ටිකක්, කපාගත් අමු මිරිස් කරල් 2ක්, දියකිරි කෝප්ප 1/2 සහ මිටිකිරි කෝප්පයක් අවශ්‍යයි.

මුලින්ම චව් චව් ගෙඩිය පොත්ත සුද්දකරලා තරමක කෑලි කපාගන්න. මේකට කහ හා ලුණු ටිකක් අතගාලා පැත්තකින් තියන්න.  දැන් මැටි ඇතිලියක් ළිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාලා පුපුරවගන්න. ඒකට කපාගත් ලූනූ, සුදු ලූනූ, අමු මිරිස්, රම්පේ, කරපිංචා, උළුහාල් දාලා බැදෙන්න අරින්න. මිරිස් හා තුනපහ ටිකත් එකතු කරන්න. ගොඩක් වෙලා බැදෙන්න දෙන්නත් එපා. එහෙම වුණොත් පොඩි තිත්ත රසක් එන්න පුළුවන්. ඉන්පසු චව් චව් කෑලි ටික දාලා දියකිරි ටිකත් දාලා වහලා තැම්බෙන්න තියන්න. හොඳට තැම්බුණාම මිටිකිරි දාලා උතුරවගන්න. හොද්ද හින්දලා කන්න ආස කෙනෙක් නම් ටිකක් හිඳෙන කම් ළිප තියන්න.

*******************

චව් චව් තෙම්පරාදුව

චව් චව් තෙම්පරාදු කරලත් රස බලන්න පුළුවන්. චව් චව් තෙම්පරාදුවට මේ කළමනා ටික සූදානම් කරගන්න.

 චව් චව් ගෙඩියක්, අමු මිරිස් කරල් 2ක්, ඉඟුරු කෑල්ලක්, කපාගත් පොල් කෑල්ලක්, ලුණු, සූදුරු තේ හැඳි 1ක්, කොත්තමල්ලි කොළ ටිකක්, තෙල් ටිකක්, අබ ටිකක්, සිහින්ව කපාගත් ලූනූ ගෙඩියක්, කරපිංචා ඉත්තක්, වියළි මිරිස් කරල් 2ක් සහ කහ කුඩු ස්වල්පයක්.

 මුලින්ම චව් චව් ගෙඩිය සෝදලා පොත්ත සුද්ද කරලා හීනි පෙති කපාගන්න. ඉන්පසු ග්‍රයින්ඩර් එකට අමු මිරිස්, ඉඟුරු, පොල් හා ලුණු දාලා මේකට සූදුරු හා කොත්තමල්ලි කොළ ටිකත් දාලා හොඳට ග්‍රයින්ඩ් කරගන්න. ඒ කාලේ නම් අත්තම්මා මේ මිශ්‍රණය හදාගත්තේ මිරිස් ගලේ අඹරලයි. ඒත් දැන් ග්‍රයින්ඩරය තියෙන නිසා පහසුවෙන්ම මේ මිශ්‍රණය හදාගන්න පුළුවන්.

දැන් පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාගන්න. අබ ඇට පුපුරනකොට සිහින්ව ලියාගත් ලූනූ හා කරපිංචා ටික දාගන්න. 

ටිකකින් වියළි මිරිස් ටික දාලා තෙම්පරාදු කරගන්න. ලූනූ ටික තෙම්පරාදු වෙනකොට චව් චව් ටික දාලා කහ කුඩු දාගන්න. කලවම් කරලා ග්‍රයින්ඩ්කර ගත් මිශ්‍රණය දාලා හොඳට කලවම් කරගන්න. 

***********************

චව් චව් කළුපොල් මාළුව

කළුපොල් මාළුව කියද්දි කාටත් මතක් වෙන්නේ ගමේ අත්තම්මලා හරි රහට හදපු කොස් ඇට කළු පොල් මාළුව. සිංහල අලුත් අවුරුද්දට නම් ඒ කළුපොල් මාළුව ගමේ කාගෙත් බත් පතේ නොවරදින වෑංජනයක්.

මේ කළුපොල් මාළුව ඊට වෙනස් වෙන්නේ මේකට චව් චව් එකතුකරලා හදන නිසයි. වැඩිය කවුරුත් දන්නේ නැති වුණාට චව් චව් කළුපොල් මාළුව හරිම රසවත්.

ඒ සඳහා චව් චව් ගෙඩියක්, අබ ටිකක්, තළා ගත් සුදුලූනූ, සිහින්ව ලියාගත් රතු ලූනූ ගෙඩි 2ක්, මිරිස් කුඩු තේ හැඳි 1ක්, කහ කුඩු තේ හැඳි 1/4ක්, මස් කරි කුඩු තේ හැඳි 2ක්, උම්බලකඩ කෑලි ටිකක්, රම්පේ හා කරපිංචා, කපාගත් තක්කාලි ගෙඩියක්, කුරුඳු පොතු කෑල්ලක්, උළුහාල් ටිකක්, දියකිරි කෝප්ප 2ක්, මිටි කිරි කෝප්ප 1/2ක්, බැදගත් හාල් මේස හැඳි 2ක් සහ බැදගත් පොල් මේස හැඳි 2ක් අවශ්‍යයි.

මුලින්ම චව් චව් ගෙඩිය සුද්ද කරලා තරමක කෑලි කපාගන්න. ඉන්පසු තෙල් ටිකක් ළිපේ තියලා රත්වෙනකොට අබ ටික දාලා පුපුරවගන්න. ඊළඟට සුදුලූනූ දාලා බැදෙනකොට මස් කරිකුඩු හා තුනපහ කුඩු සියල්ලම දාලා බැදෙන්න අරින්න. පැහැය වෙනස් වේගෙන එනකොට චව් චව් කෑලි ටික දාලා රම්පේ, කරපිංචා, උම්බලකඩ, තක්කාලි, කුරුඳු පොතු හා එන්සාල් දාලා රස අනුව ලුණු දාලා ඒකටම බැදගත් හාල්, පොල් දාලා දියකිරෙන් තම්බාගන්න. හොඳට තැම්බුණාම මිටිකිරි දාලා උතුරවගන්න. 

**********************

චව් චව් අච්චාරුව

මේ ගෙවෙන්නේ අරපිරිමැස්ම ඉහළින්ම තියාගෙන ජීවත්විය යුතු කාලයක් නිසා මේ කාලෙට අච්චාරු වර්ග හොඳටම ගැළපෙනවා. ඒ කල් තියාගෙන ටික ටික කන්න පුළුවන් නිසයි. එක අච්චාරු වර්ගයක් හදාගෙන තියාගත්තොත් කෑම වේලකට හදන වෑංජනයක් අඩු කරලා, කලින් හදලා තියාගත්ත අච්චාරු ටිකක් ඒ වෙනුවට එකතු කරන්න පුළුවන්. මේ කියන්න යන්නේ කල් තියාගෙන මාසයක් වුණත් රස බලන්න පුළුවන් චව් චව් අච්චාරු හදන විදිහ ගැනයි.

ඒ සඳහා කොටු කපාගත් චව් චව් ගෙඩි 1ක්, කොටු කපාගත් තක්කාලි ගෙඩි 10ක්, කපාගත් ලූනූ ගෙඩි 5ක්, කපාගත් බෙල්පෙපර් ගෙඩි 5ක්, ලුණු, අමු මිරිස් කරල් 5ක්, විනාකිරි කෝප්ප 2ක්, කුරුඳු කුඩු ටිකක්, කරාබු නැටි 4ක්, සීනි තේ හැඳි 2ක්, කෑලි මිරිස් තේ හැඳි 1ක් අවශ්‍යයි.

බෝල් එකකට තක්කාලි, චව් චව්, ලූනූ, බෙල්පෙපර් හා ලුණු දාලා කලවම් කරලා රැයක් වහලා තියන්න. බෙල්පෙපර් ටිකක් ගණන් නිසා ඒ වෙනුවට මාළු මිරිස් කරල් එකතුකර ගත්තත් ගැටලුවක් නැහැ.

රැයක් තියපු මේ බෝල් එකේ වතුර උනලා තියෙනවා පෙනෙයි. දැන් මේකේ වතුර ටික පෙරලා ඉවත් කරලා ඒ එළවළු ටිකට සීනි හා විනාකිරි දාලා කලවම් කරගන්න. 

ඉන්පසු පිරිසුදු රෙදි කෑල්ලක කරාබුනැටි, කුරුඳු පොතු හා කෑලි මිරිස් ටික ඔතලා චව් චව් එකට දාලා විනාඩි 15ක් තම්බගන්න. නිවුණාම ජීවාණුහරණය කරගත් බෝතල්වල අසුරාගන්න.

 

උපදෙස් - සූපවේදී සුජිත් ආරියරත්න