මඤ්ඤොක්කාවලින් රස කෑම

හැමෝටම අමාරු කාලේ ලේසියෙන්ම ගමේ කෑම හදමු
මාර්තු 4, 2024

වත්තට ගිය ලොකු ආතා ගෙට ගොඩ වුණේ නිකම්ම නෙවෙයි. උගුලපු මඤ්ඤොක්කා අල කිහිපයකුත් අරගෙනමයි. 'ලොකු කෙල්ලේ මඤ්ඤොක්කා අලයක් තම්බලා කොච්චි සම්බෝලයක් හදලා ගත්තනම් පංකාදුයි.

දැන් දවස් දෙකකට කලිනුත් මඤ්ඤොක්කා වෑංජනයක් හැදුවා නේද ලොකු ආතේ.. මඤ්ඤොක්කා කොයි තරම් කෑවත් අගුණයක් වෙනවා යෑ ලොකු කෙල්ලේ. අගුණ වෙන අවස්ථාත් නැතුව නෙවෙයි. ඒත් ඉතින් මඤ්ඤොක්කා කියන්නේ ගුණ සම්භාරයක්නේ. අපේ මුතුන් මිත්තන්ගේ දිවි රැකුණේ විසි කළත් පැළවෙන මඤ්ඤොක්කා දණ්ඩක, ගස් යට කුණු වෙලා යන වැල ගෙඩියක, කොස් ඇටයක, කටේ ඇලෙන කුරහන් තලපයක, බැද්දෙන් හාරාගෙන ආ කටු අලයක පෝෂණ ගුණයෙන්නේ.

ඒ විතරක් යෑ කොහොම හැදුුවත් රසයිනේ. අද කාලේ එවුන්ට ඒවායේ ගුණ දොසක් තේරෙන්නේ නැහැ.‘

ලොකු ආතාගෙ පෙරැත්ත නිසාම කිරි අම්මා මාවත් හවුල් කරගෙන මඤ්ඤොක්කා අල ටික ශුද්ධ කරන්න ගත්තේ කතාවකට මුල පුරන ගමන්මයි. ‘දුවේ, අපි අලයක් දෙකක් ඉතිරි කරමු මඤ්ඤොක්කා පිට්ටු ටිකක් හදන්න. ඇත්තටම කිරි අම්මේ මඤ්ඤොක්කාවලින් හදන්න පුළුවන් කෑම මහ ගොඩක් තියෙනවා කියලා මම අහලා තියෙනවා. කිරි අම්මා ඒ කෑම වර්ගත් හදන්න දන්නවද? මම කියලා දෙන්නම්කෝ මගේ දුවට ඒවා හදන හැටි.

‘ කිරි අම්මා හරි බරි ගැසී කියන්න යන රසම කෑම වට්ටෝරු ටික තරුණී කියවන ඔයාගේ ගෙදර අයටත් වැදගත් වේවී. අපි අහල දැනගමුකෝ මේ වට්ටෝරු ටික.

පෝෂණ ගුණය

මඤ්ඤොක්කාවල කොලෙස්ටරෝල් අඩංගුව නැත. අර්තාපල්, කෙසෙල් සහ අනෙකුත් අල වර්ගවලට සාපේක්ෂව ප්‍රෝටීන් වැඩි ප්‍රමාණයක් මඤ්ඤොක්කාවල අඩංගු වේ.

තවද අාසාත්මික තත්ත්වයන් ඇතිකළ හැකි ග්ලූටින්වලින් ද තොරයි. එමෙන්ම ළපටි මඤ්ඤොක්කා කොළවල ප්‍රෝටීන් හා විටමින් “කේ” අන්තර්ගතයි.

විටමින් “කේ” මඟින් අස්ථි ශක්තිමත් කෙරේ. එමෙන්ම අන්සයිමා රෝගයේදී රෝගියාගේ ස්නායුවල හානිය සීමා කිරීමේ හැකියාවක් මඤ්ඤොක්කාවල පවතී. මඤ්ඤොක්කා ආහාරයට ගැනීමෙන් රුධිර කොලෙස්ටරෝල් අඩුකර ගැනීමට, රුධිර පීඩනය පාලනය කිරීමට වගේ සීනි මට්ටම පාලනය කර දෙයි. කෙඳි සහිත ආහාරයක් වීම නිසා මලබද්ධය නැති කෙරේ. ගැබිනි මවුවරුන්ට වගේම කිරි දෙන මවුවරුන්ටත් ගුණදායකයි.

මඤ්ඤොක්කා ලිංගික සරුබව සඳහා, ඇස්වල ඉදිමීම, සන්ධි රෝග, පාචනය, ඇස්වලින් කඳුළු ගැලීම, ඇස්  රතුවීම, උරා යන රෝග සඳහා ඉතා ගුණදායක  ඔසුවකි. සිරුරේ ඇතිවන තුවාල සඳහා ආයුර්වේදයේදී මඤ්ඤොක්කා යුෂ භාවිත කෙරේ.

විශේෂයෙන්  පිළිකා බවට පත්විය හැකි අවස්ථා විනාශ කිරීමේ හැකියාව මඤ්ඤොක්කාවල පවතී.

මඤ්ඤොක්කා කොළවල කෙඳි බහුල වේ. මඤ්ඤොක්කා කොළවල අත්‍යවශ්‍ය ප්‍රතිඔක්සිකාරක අන්තර්ගත වේ. එමඟින් පිළිකා නාශක ගුණ හා අකලට වයසට යාම වළකාලයි.

මුත්‍රාශයේ හා පුරස්ථි ග්‍රන්ථි සඳහා ඉතා හොඳ ඔසුවකි. එමෙන්ම අධික තරබාරුව පාලනය කෙරේ. රක්ත හීන බව වැළැක්වීමට ද මහත් උපකාරී වේ. මෙහි ඇති පෝෂ්‍ය පදාර්ථයන් හේතුවෙන් මානසික ආතතිය හා නොසන්සුන්කම, අම්ල පිත්ත රෝග නැති කෙරේ.

මේ නිසා බොහෝ රෝග ගණනාවකට මඤ්ඤොක්කා ඉතා ගුණදායක ආහාරයකි.

 

අගුණවන අවස්ථා

මඤ්ඤොක්කා ආහාරයට ගත් පසුව ඉඟුරු යොදා සකස් කළ තේ බීමෙන් ආසාත්මිකතා ඇතිවිය හැකිය.

පළුදු වූ මඤ්ඤොක්‌කා අල ආහාරයට ගැනීම නුසුදුසුයි.

මඤ්ඤොක්කා අල තම්බන අවස්ථාවේ දී පියනකින් වසා තැම්බීම නුසුදුසුයි. හැමවිටම පියන හැර මඤ්ඤොක්කා තම්බන්න.

ඒ වගේම මඤ්ඤොක්කා තම්බන විටත්, වෑංජනයක් ලෙස සකස් කරන විටත් විශේෂයෙන්ම කහ යෙදීම කළ යුතුයි. එමඟින් මඤ්ඤොක්කාවල අඩංගු විස මර්දනය වීමක් සිදු වනවා.

විශේෂයෙන් මඤ්ඤොක්කා ආහාරයට ගැනීමේ දී පොලුත් සමඟ ආහාරයට ගන්නවා නම් සිදුවන ආසාත්මිකතා අවම කරගන්න පුළුවන්.

 

--------------------------------

මඤ්ඤොක්කා පිට්ටු

කෙනෙක් කතාබහක් නැතුව මුල්ලකට වෙලා ඉන්නවනම් නෝක්කාඩුවට පිට්ටු ගිලලද කියල අහන එක අපේ පුරුද්දක් නේ.

 

හැබැයි මඤ්ඤොක්කා පිට්ටු ගිලපු කෙනෙක් ගොළු වෙලා ඉන්නවනම් ඒ වෙන මොකුත් නිසා නෙමෙයි, මඤ්ඤොක්කා පිට්ටුවල රස විස්තර කරන්න වචන ගළපන්න බැරි නිසා.

මේ සඳහා වියළාගත් මඤ්ඤොක්කා පිටි ග්‍රෑම් 200ක්, හාල්පිටි ග්‍රෑම් 100ක්, ගාගත් පොල් ගෙඩි 1ක් සහ උණු වතුර ස්වල්පයක් අවශ්‍ය වේ.

මුලින්ම පොතු ඇරලා කපලා හෝදගත්තු මඤ්ඤොක්කා ටික පොඩියට වෙන්න කපලා අව්වේ වේළගන්න.

ඊට පස්සෙ වේළා ගත්තු මඤ්ඤොක්කා ටික කොටාගෙන, හලාගෙන මඤ්ඤොක්කා පිටි ටික හදාගන්න. දැන් භාජනයක් අරගෙන මඤ්ඤොක්කා පිටි හා හාල් පිටි එකතු කරන්න.

එයට ගාගත්තු පොල්, ලුණු සහ වතුර එකතු කරලා කැට හිටින විදියට කලවම් කරගන්න.

මේ විදියට කැට කරගත්තු මිශ්‍රණය පිට්ටු බම්බුවකට දාලා තම්බා ගන්න.

 

--------------------------------

මඤ්ඤොක්කා කට්ලට්

 

කට්ලට් ටිකක් හදාගන්නත් ඕනේ. ඒත් අලයි මාළුයි නෑනෙ. මොකද කරන්නෙ?

 

අනේ මොකුත් ඕනෙ නෑ මඤ්ඤොක්කා තියෙනවා නම්. මෙන්න අපෙන්  රසම රස මඤ්ඤොක්කා කට්ලට් .

මේ සඳහා මඤ්ඤොක්කා ග්‍රෑම් 250ක්, රතුලූනු ගෙඩි 5ක්, සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 3ක්, සිහින්ව ලියාගත් සුදුලූනු බික් 2ක්, පාන් පිටි ග්‍රෑම් 50ක්, පාන්කුඩු ග්‍රෑම් 75ක්, බිත්තර 1ක්, කහ කුඩු තේ හැඳි 1/2ක්, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, කුරුඳුපොතු සහ බැදගැනීමට තෙල් අවශ්‍යයි.

මුලින්ම හොඳට පිරිසුදු කරගත් මඤ්ඤොක්කා හොඳින් තම්බලා පොඩි කරගන්න. ඊට පස්සෙ වෙන භාජනයක් අරගෙන ඒකට තෙල්  දාලා රත් වෙන්න ඇරලා රම්පේ, කරපිංචා, කුරුඳුපොතු, රතුලූනු, අමු මිරිස්, සුදුලූනු එකතු කරගන්න.

ඒකට කහ කුඩු, ගම්මිරිස් කුඩු එකතු කරලා පොඩි කරගත් මඤ්ඤොක්කා ටික එකතු කරන්න.

ඊට පස්සෙ ලුණු දාලා රස බලල ළිපෙන් බාගන්න.

ළිපෙන් බාගත්තු මිශ්‍රණය නිවෙන්න තියලා කට්ලට් බෝල හදාගන්න. ඊට පස්සෙ පාන් පිටි හා බිත්තරේ එකතු කරලා උකු බැටර් එකක් හදාගෙන කට්ලට් ඒකෙ දවටලා, පාන්කුඩු එකේ දාලා ගැඹුරු තෙලේ බැදලා ගන්න

-----------------------

මඤ්ඤොක්කා බයිට්

බයිට් වෙවී කන්න වෙනස්ම කෑමක් ගෙනාව ඔන්න. මේක නිකම් ඉන්න වෙලාවට හදලා හප හප ඉන්න කියාපු බයිට් එක.

 

මඤ්ඤොක්කා අලයක්, ලුණු, මිරිස් කුඩු සහ බැද ගැනීමට තෙල් ස්වල්පයක් අවශ්‍යයි.

 මුලින්ම මඤ්ඤොක්කා පොතු අයින් කරලා දිග අතට තීරු කපාගන්න. ඊට පස්සෙ ඒ ටික බාගෙට තම්බාගන්න.

ඒ ටික ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකල් බැදගන්න.

බැදගත්තු මඤ්ඤොක්කා තීරුවලට ලුණු කුඩු හා මිරිස් කුඩු ඉහළා කෑමට ගන්න.

--------------------------------

මඤ්ඤොක්කා වෑංජනය

මඤ්ඤොක්කා හැම විදියටම හදපු එකේ කරි එකක් වගෙත් හදමුද? එහෙනම් මේ විදිහට හදලා බලන්න.

 

මඤ්ඤොක්කා ග්‍රෑම් 500ක්, රතුලූනුු ග්‍රැම් 75ක්, අමුමිරිස් කරල් 3ක්, සුදුලූනු බික් 3ක්, කුරුඳු පොතු කෑලි 1ක්, කහ කුඩු තේ හැඳි 1/2ක්, තුනපහ කුඩු තේ හැඳි 1/2ක්, මිටිකිරි කෝප්ප 1ක්, දියකිරි කෝප්ප 1ක්, රස අනුව ලුණු සහ රම්පේ, කරපිංචා ඉත්තක් අවශ්‍ය වේ.

මුලින්ම මඤ්ඤොක්කා ටික පොතු අයින් කරලා හෝදලා කපාගන්න.

ඊට පස්සෙ භාජනයක් අරගෙන මඤ්ඤොක්කා, හීනියට කපාගත්තු රතුලූනු, අමු මිරිස්, සුදුලූනු, අබ, කුරුඳු පොතු, කහ කුඩු, තුනපහ කුඩු, රම්පේ, කරපිංචා දාලා දෙවැනි කිරෙන් තම්බා ගන්න (දිය කිරෙන්).

ඊට පස්සෙ දෙවැනි කිරි හොඳට හිඳුණාට පස්සෙ පළවෙනි කිර (මිටිකිරි) එකතු කරලා හොඳට උතුරන්න ඇරලා ළිපෙන් බාගන්න.

--------------------------------

මඤ්ඤොක්කා සුප්

 

සුප් හදන්න ගියාම එළවළු හොය හොය ඉඳපු කාලෙ ගියා. වෙනසකටත් එක්ක මෙන්න මේ සුප් එක හදලා දෙන්න. ගෙදර උදවිය හැමදාම උනත් ඉල්ලයි.

මෙය සැකසීමට මඤ්ඤොක්කා ග්‍රෑම් 200ක්, රතුලූනු ගෙඩි 1ක්, පරිප්පු ග්‍රෑම් 50ක්, සුදුලූනු බික් 3ක්, තුනපහ කුඩු තේ හැඳි 1/2ක්, කරපිංචා ස්වල්පයක්, පොල්කිරි කෝප්ප 1/2ක්, රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු ස්වල්පයක් අවශ්‍ය වේ.

මුලින්ම පොතු ඇරපු මඤ්ඤොක්කා ටික භාජනේකට දාගන්න. එයට පරිප්පු, හීනියට කපාගත්තු රතුලූනු, සුදුලූනු, කරපිංචා එකතු කරන්න. දැන් තුනපහ කුඩු එකතු කරලා වතුර ටිකක් දාලා හොඳට තම්බා ගන්න.

ඊට පස්සෙ තම්බ ගත්තු මිශ්‍රණය නිවෙන්න තියලා බ්ලෙන්ඩ් කරගන්න. පස්සෙ ඒක පෙරාගෙන, පෙරාගත්තු උකු මිශ්‍රණයට පොල් කිරි ටික දාලා ළිපේ තියන්න.

අවසානයට රස අනුව ලුණු ගම්මිරිස් එකතු කරලා ළිපෙන් බාගන්න.

--------------------------------

මඤ්ඤොක්කා රොටී

 

හැමදාම කන පොල් රොටියෙන් එහාට ගිය රොටියක් මේක. මඤ්ඤොක්කා පිටි ග්‍රෑම් 200 (මඤ්ඤොක්කා පිට්ටු සඳහා පිළියෙල කරගත්), පාන්පිටි ග්‍රෑම් 100ක්, ගාගත් පොල් ගෙඩි 1ක්, රම්පේ, කරපිංචා ස්වල්පයක්, සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 3ක්, සිහින්ව ලියාගත් බී ලූනු ග්‍රෑම් 50ක් සහ බටර් ස්වල්පයක් අවශ්‍ය වේ.

 

පළමුව මඤ්ඤොක්කා පිටි හා පාන්පිටි මිශ්‍ර කරන්න

ඒකට බී ලූනු, රම්පෙ, කරපිංචා, අමු මිරිස් එකතු කරන්න. එයටම ගාගත් පොල්, ලුණු හා බටර් එක්කර හොඳින් අනාගන්න. ඕනෙ නම් වතුර ටිකකුත් දාගන්න

ඊට පස්සෙ මේ මිශ්‍රණය කැමති විදියට කොටස් වෙන් කරලා රොටී හදාගන්න. එහෙම හදාගත්තු රොටිය රත් වුණු තැටියක දමා දෙපැත්ත පුච්චා ගන්න.

 

 

උපදෙස්

සූපවේදී සුජිත් ආරියරත්න