ගමේ කෑම ගමේ රහට

අගෝස්තු 14, 2023

කොළඹ රටේ අපේ ජීවිතේ කොහොම ගත කළත් බඩේ ගින්දරට හැමෝම හොයන්නෙ කටට රහට කන්න පුළුවන් කෑම ටිකක්. ගමේ රහට ගමේ කෑම කියලා අනන්තවත් කෑම කඩ තිබුණත් ඒවා වලින් අපට ලැබෙන්නෙ තුනපහ ටිකක් එහා මෙහා කරපු රතු බතක් විතරයි.

ඉතින් ගමේ කෑම ගෙදරම හදලම බලමුද? මේ ආහාර වට්ටෝරු සකසා ගමේ කෑම වේලක රස අත්විඳින්න.

 

ඔෆිස් එකට බත් ගෙනියන්න  චිලි පේස්ට්

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

වියළි කූනිස්සන් තේ හැන්දක්

කෑලි මිරිස් තේ හැඳි 1 1/2ක්

සෝයා සෝස් තේ හැන්දක්

අඹරාගත් සියඹලා තේ හැඳි 2ක්

තෙල් මිලි ලීටර් 100ක් පමණ

සිහින්ව කපා ගත් සුදු ලූනූ බික් 05ක්

සිහින්ව කපාගත් ලොකු ලූනු පොඩියක්

දුඹුරු සීනි තේ හැන්දක්

රස අනුව ලුණු

 

සාදන ක්‍රමය

 

මුලින්ම භාජනයක තෙල් ටිකක් දාලා මඳ ගින්නේ රත් වෙන්න දෙන්න. තෙල් රත් වේගෙන එනකොට සුදු ලූනු ටික දාලා රන්වන් පාට එනකං බඳින්න. ලූනුත් දාලා ඒ ගමන් ඒකත් රන්වන් පාට එනකන් බඳින්න. ඊළඟට කුනිස්සෝ ටිකත් යම් තාක් දුරකට බැඳෙන්න අරින්න.

 

මිරිස් කෑලිත් දාලා තරමක් බැදෙන්නේ අරින්න. රන්වන් පාට වෙන්න ඕනි නෑ.

 

ඊළඟට සෝයා සෝස් දුඹුරු සීනි එක්ක සියඹලා දාලා ඔක්කොම විනාඩියක් කලවම් කරන්න.

දැන් ඔය පේස්ට් එක අරන් ග්‍රයින්ඩරයකට දාලා ඔක්කොම ආයෙත් අඹරා ගන්න. වැඩි වෙලාවක් ඕනි නෑ. ටිකක් ඇඹරුණාම ඇති

හොඳින් වියළපු ජෑම් බොතලේකට දාලා තියාගත්තොත් මාසයක් විතර කන්න පුළුවන්.

 

---------------------

කොස් ඇට වෑංජනය මස් වගේ රසට උයමු

*කොස් ඇට තිහක්

පමණ *කපා ගත් රතු ලූනු මිටක්

*ගෙඩිය පිටින් තළා ගත් සුදු ලූනු බික් පහක්

*උම්බලකඩ මේස හැන්දක්

*උළුහාල් තේ හැන්දක්

*කහ කුඩු තේ හැඳි බාගයක්

*මිරිස් කුඩු තේ හැන්දක්

*ගම්මිරිස් තේ හැන්දක්

*රස අනුව ලුණු

*මිටි කිරි කෝප්පයක්

*දියකිරි කෝප්පයක්

*අබ තේ හැන්දක්

*සූදුරු තේ හැන්දක්

*ගාගත් පොල් මේස හැඳි දෙකක්

*සහල් මේස හැන්දක්

*කරපිංචා සහ රම්පේ

 

මුලින්ම පොල්, සහල්, සූදුරු, අබ කබලේ බැඳ සිනිඳු වෙන තුරු කොටා ගන්න. දැන් හොඳින් තැම්බූ කොස් ඇට බර දෙයකින් තළා පොතු ඉවත් කරගන්න. ඉන්පසු මිරිස්, ලුණු වැනි ඉතිරි ද්‍රව්‍යයත්, පොල් කිරිත් සියල්ල බඳුනකට දමා හොඳින් නටවා ගන්න. නටන විට කළුපොල් මිශ්‍රණය එක්කර අවශ්‍ය පමණට හින්දවා ගන්න.

 

-----------------

කෙසෙල් මුව වඩේ

 

 

 

*කෙසෙල් මුව

*පරිප්පු ග්‍රෑම් 250ක්

*උම්බලකඩ

*කොච්චි මිරිස් කරල්

*රතු ලූනූ

*කරපිංචා

*පොල් තෙල්

 

 

 

කෙසෙල් මුවය හොඳට සෝදා ඉතා සිහින් ලෙස කපා උතුරන වතුරට දමන්න.

විනාඩි 5ක් පමණ කාලයක් කපාගත් කෙසෙල් මුව තම්බාගන්න. ඉන්පසුව තම්බාගත් කෙසෙල් මුව වතුර මිරිකාහැර මිරිස්ගලක හෝ වංගෙඩියක දමා තරමක් තළාගන්න.

සුළු මොහොතක් පරිප්පු පෙඟෙන්නට හැර සෝදා ගලෙන් අඹරාගන්න. ඊට පසු ලියාගත් ලූනූ, කරපිංචා, කොච්චි, උම්බලකඩ, අඹරාගන්නා ලද පරිප්පු සියල්ල කෙසෙල් මුවවලට දමා ලුණු එකතුකරමින් හොඳින් සියල්ල එකට මිශ්‍රවන සේ අනාගන්න.

පසුව තමන් කැමැති ප්‍රමාණයට (වඩයක ප්‍රමාණයට) මිශ්‍රණයෙන් ගුලියක් ගෙන මඳක් පැතලි කොට හොඳින් රත්වූ තෙල් තාච්චියකට දමා රන්වන්පැහැ වන තුරු බැඳගන්න.

 

---------------

අඹ මෝජුව

 

* පැසුණු අඹ ගෙඩි 3 ක්

* උම්බලකඩ කැබැලි ග්‍රෑම් 50 ක්

* කෑලි මිරිස් මේස හැඳි 1ක්

* අඹරා ගත් ඉඟුරු තේ හැඳි 1 ක්

* අඹරා ගත් සුදු ලූනු මේස හැඳි 1ක්

* විනාකිරි මේස හැඳි 2-3 ක්

* සීනි මේස හැඳි 1ක්

* ලොකු ලූනු ගෙඩි 3 ක්

* අමු මිරිස් කරල් 6ක්

* බැඳ ගැනීමට තෙල්

* රසට අනුව ලුණු.

 

අඹ ගෙඩියේ ‍පොත්ත පිටින්ම තීරු කපා ගන්න. ලූනු සිහින්ව ලියා ගන්න. අමු මිරිස් ද දෙකට පළාගන්න. දැන් අඹ කැබලි ලූනු, අමු මිරිස්, උම්බලකඩ වෙන වෙනම රත්වූ ගැඹුරු තෙ‍ලේ බැඳගන්න. 

තෙල් බේරෙන්නට තබන්න. දැන් මැටි ඇතිලියක් ගෙන එයට තෙල් ටිකක් දමා ළිප තබන්න. තෙල් ටික රත්වන විට ඉඟුරු, සුදු ලූනු දමන්න. කෑලි මිරිස්, ලුණු, සීනි දමන්න. විනාකිරි ද දමන්න. දැන් බැඳ ගත් සියල්ල එක්කර කලවම් කරගන්න.