රෝස මලෙන් ලස්සන වෙමු

පෙබරවාරි 10, 2021

ගැහැනු ළමයි රෝස මල් වගෙයි කියලා කවුරුත් කියනවනේ. පිවිතුරුයි. සුන්දරයි. සෞම්‍යයි. ඒ වගේම ආදරයේ සංකේතයත් රතු රෝස මලයි. ඒ නිසා රෝස මල්වලට කවුරුත් කැමැතියි. මේ සුන්දර රෝස මල්වලට පුළුවන් ගැහැනු ළමයින්ව රෝස මල් වගේම ලස්සන කරන්නත්.

රෝස මලෙන් කරන මේ රූපලාවණ්‍ය සත්කාරවලින් ඔබටත් රෝස මලක් වගේ ලස්සන වෙන්න පුළුවන්.

රෝස මල්වල විටමින් සී බහුල නිසා සමේ සෛලවලට හානි වීම වළකාලනවා. චදබඪධයඪඤඥදබඵ සහිත නිසා සමට ඉතා ගුණදායකයි. රෝස වතුර ඔබේ සම හිරු කිරණින් පිලිස්සීම වළකාලනවා. රෝස තෙල් බැක්ටීරියාවලට එරෙහිව ක්‍රියා කරන නිසා සමේ කැළැල්, කුහර ආදිය පවා හොඳින් පිරිසුදු කරනවා. ඒ වගේම රෝස පෙති ඔබේ සම පැහැපත් කරනවා.

රුව ලස්සන කරන රෝස මල් සත්කාර ඔබට නිවෙසේදී පහසුවෙන් කරගත හැකියි. මේ සත්කාරවලට රෝස මල් යොදා ගැනීමේදී කල්තබා ගැනීමේ ද්‍රව්‍ය, රසායන ද්‍රව්‍ය නොයෙදූ නැවුම් රෝස මල් පමණක්ම භාවිත කරන්න.

ක්ලෙන්සර්

රෝස මලක පෙති ගෙන හොඳින් පොඩි කරන්න. එයට නැවුම් කිරි එකතු කරන්න. එය පුළුන් කැබැල්ලක් මඟින් මුහුණේ ආලේප කර ක්ලෙන්සර් කර ඉවත් කරන්න.

ස්ක්‍රබ්

රෝස පෙති පොඩිකර පල්පයක් ලෙස සකසා ගන්න. මයිසූර් පරිප්පු කුඩු මේස හැන්දක්, හාල්පිටි මේස හැන්දක් සහ මී පැණි මේස හැන්දක් ද එයට යොදා මිශ්‍ර කරන්න. මේ මිශ්‍රණය මුහුණේ ආලේප කර හොඳින් ස්ක්‍රබ් කරන්න. පසුව සෝදා ඉවත් කරන්න.

ෆේස් පැක්

රෝස පෙති පල්පයක් ලෙස සකසා ගන්න. එය රෙදි කඩකට දමා එහි යුෂ පෙරාගන්න. එයට දොඩම් යුෂ, ආමන්ඩ් ඔයිල් හෝ ඔලිව් ඔයිල්, කෝමාරිකා ජෙල් සහ විටමින් ඊ කරලක් යොදා මිශ්‍ර කරන්න. එය මුහුණේ ආලේප කර මුහුණ හොඳින් සම්බාහනය කරන්න. ඉන්පසුව එය ටිෂූ එකක් මඟින් ඉවත් කරන්න.

රෝස පල්ප මේස හැඳි 2 ක්, පවුඩර් මේස හැඳි 02 ක්, සුදු හඳුන් කුඩු මේස හැඳි 02 ක් ගන්න. ඒවා රෝස වතුරෙන් මිශ්‍ර කරන්න. එය පැක් එකක් ලෙස මුහුණට යොදා පැය භාගයකින් පසුව සෝදා ඉවත් කරන්න.

රෝස පෙති බ්ලෙන්ඩර් කර එයට මුදවපු කිරි ටිකක් එකතු කරන්න. මී පැණි ස්වල්පයක් සහ රෝස වතුර ස්වල්පයක් ද එක්කර පැක් එකක් ලෙස මුහුණේ ආලේප කරන්න. රෝස පෙති පල්පවලට කෝමාරිකා ජෙල්, නැවුම් කිරි සහ සුදු හඳුන් කුඩු මිශ්‍ර කර පැක් එක හදාගන්නත් පුළුවන්.

මේ පැක් ආලේප කිරීමෙන් මුහුණේ ළප කැළැල් සහ අඳුරු ස්වභාවය ඉවත්කර රැලි වැටීම්වලින් තොර පැහැපත් සහ නිකැළැල් සමක් ලබා ගත හැකියි.

ක්‍රීම්

රෝස මලක පෙති ගෙන බ්ලෙන්ඩරයට දමන්න. දැන් කෝමාරිකා මදයක් එකතු කරන්න. පසුව එය ක්‍රීම් ගතියට එනතෙක් බ්ලෙන්ඩර් කරන්න. එයට රෝස වතුර ස්වල්පයක් ද එක්කර රාත්‍රී කාලයේදී ආලේප කරන්න.

රෝස පෙති සහ ඇපල් ගෙඩියකින් භාගයක් ගන්න. එය බ්ලෙන්ඩරයට දමන්න. එයට වතුර නොයොදා මිරිකාගත් පොල් කිරි ටිකක් ද එකතු කර ක්‍රීම් ගතියට එනතුරුම බ්ලෙන්ඩර් කරන්න. එය මුහුණේ ආලේප කර විනාඩි 20 කින් පසුව සෝදා ඉවත් කරන්න.

සීරම්

රෝස පෙති බ්ලෙන්ඩර් කර එහි යුෂ පෙරාගන්න. එයට නැවුම් කෝමාරිකා ජෙල් ස්වල්පයක් ද එක් කරන්න. මෙය දිනපතා උදේ සවස සීරම් එකක් ලෙස ආලේප කරන්න.

රෝස වතුර

ස්වාභාවික ටෝනර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් නිසා ප්‍රබෝධවත්ව ඉන්න මෙය ගොඩක් උපකාරි වෙනවා. ඒ වගේම සම දීප්තිමත් වෙනවා. සමේ සිදුරු කුඩා කරන නිසා කුණු දූවිලි සම තුළට ඇතුළුවීම ද වළකාලනවා.

තරමක් ලොකු රෝස මල් දෙකක් ගන්න. මල් පෙති ගලවා භාජනයකට දමන්න. ඊට නටන උණුවතුර කෝප්ප දෙකක් දමන්න. පැයක් විතර එසේ තබන්න. එවිට වතුර රතු පැහැයට හැරී තිබෙනවා දකින්න පුළුවන්. දැන් රෝස පෙති ටික ඉවත්කර රෝස වතුර ස්ප්‍රේ බෝතලයකට දමා ශීතකරණයේ තබන්න. අවශ්‍ය වූ විට මුහුණට ස්ප්‍රේකර තෙතමාත්තු කරගන්න. මෙය මාසයක් පමණ ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

මේ විදිහට රෝස මල්වලින් ඔබටත් ඔබේ රූපය ඔපකරගෙන රුවැත්තියක් වෙන්න පුළුවන්.

 

 

 

උපදෙස් රූපලාවණ්‍ය ශිල්පිනී

නීෂා මනහාරි