රැස් විහිදෙන ඇස් වැහෙන්න දෙන්න එපා

ගෙදරදීම දෙනෙත් රැකගන්න පහසු ක්‍රම කිහිපයක්
දෙසැම්බර් 5, 2022

 

තරුණියකගේ කාන්තිමත් නෙත් ඇගේ රුව වඩාත් ඔපවත් කරයි. කැලුම් දෙන බැල්මෙන් යුත් සුන්දර නෙත් සඟලක හිමිකාරියක් නම් ඔබ සැබෑම වාසනාවන්තියක්. ඒත් සුන්දර නෙත් ආදරයෙන් රැක බලා නොගත්තොත් ඔබේ රුවට ඉන් සිදු වන හානිය මෙන්ම ඔබේ දෙනෙතේ පෙනීමට සිදුවන හානිය ගැන තක්සේරු කළ නොහැකියි.

 

බොහෝවිට අද වැඩිහිටි කාන්තාවන් සේම තරුණියන් ද තමාගේ දෙනෙතේ ඇති වන ගැටලු ගැන විසඳුම් සොයමින් සිටින කාලයක්. රැකියාවල නියුතු වූවන් සේම අධ්‍යාපන කටයුතුවල නිරත වූවන් ද නිවෙස්වල සිටින ගෘහණියන් ද ආදී ලෙස සෑම අයෙකුට ම මේ ගැටලුවට මුහුණ දීමට සිදු වේ.

අද පවතින අධික කාර්ය බහුල බව, වැඩි කාලයක් පරිගණක තිර දෙස, ජංගම දුරකතන තිර දෙස බලා සිටීමට සිදුවීම, දැඩි ලෙස නෙත් වෙහෙසීම, අධික ලෙස නිදි වැරීම ආදී හේතූන් නිසා ඇස්වල විවිධ ගැටලු ඇති වීමට හේතු වේ.

ඇස් අවට ප්‍රදේශය රැලි වැටීම, ඇස් යට ගිලුණු ස්වභාවක් ඇති වීම, ඇස්වල වියළි ස්වභාවය, ඇස් අවට ප්‍රදේශය කළු වීම ආදී ගැටලු ඇති විය හැකියි.

ඇස් යට ගිලීම සාමාන්‍යයෙන් වයසට යාමත් සමඟම සිදුවන දෙයක් වුවත් අධික ලෙස නිදි වැරීම, අධිකව ඇස් වෙහෙසීම මෙන්ම මත්ද්‍රව්‍ය අධික ලෙස භාවිත කරන අයගේ ඇස් යට ගිලීම සිදු වේ.

කුඩා අකුරු නිතර කියවීම, අධික එළියට නිතර නිරාවරණය වීම මෙන්ම මඳ එළියේ කියවීම වැනි හේතූන්ද ඇස්වල කාන්තිමත් බව නැති වීමට මෙන්ම ඇස්වල පෙනීමට ද බාධා කරයි. නිදන්ගත රෝග, අධික සෙම, හිසරදය, පීනස, සිරුරේ උෂ්ණ ස්වභාව ආදිය ද ඇස්වල නිරෝගී බවට මෙන්ම දීප්තියට ද හානි කරයි.

මේ සියලු දේවලට අමතරව ඔබ ලස්සන වෙන්න සිතා නිතර භාවිත කරන අයි ලයිනර්, අයි ෂැඩෝ, මස්කාරා ආදිය ආලේපකර නිසි පරිදි ඉවත් නොකිරීමත්, බාල වර්ගයේ ආලේපන භාවිතයත් ඇස්වල නිරෝගී බව නැති කිරීමට හේතුවේ. එමෙන්ම අයිලෑෂර්ස් ඇලවීම නිතර නිතර කිරීමේදී ඒ සඳහා භාවිත කරන ගම් වුවද ඇතැම් අයට ආසාදිත තත්ත්වයන් ඇති කළ හැකි බැවින් හැකි තරම් අයිලයිෂර්ස් පැලඳීමෙන් වළකින්න. අයි මේක්අප් කිරීමේදී පෙට්‍රෝලියම් අඩංගු නොවන හොඳ තත්ත්වයේ ආලේපන යොදාගන්න.

ඔබ ඇස්වලට කාච පලඳින අයෙක් නම් එම කාච පිරිසුදුව පැලඳීමට උනන්දු වන්න. දෑත් පිරිසුදු කර එම කාච පැළඳීම හා ගැලවීම සිදු කරන්න. එක් දිනක් භාවිත කිරීමෙන් පසුව ඉවතලන කාච වර්ග මෙන්ම මාස 03ක් භාවිත කරන කාච වර්ග ලෙස විවිධ කාල පරාසයන්ට අනුව සැකසූ කාච වර්ග ඇති බැවින් ඒ පිළිබඳ දැනුවත් වීම ද වැදගත්. නැතිනම් කල් ඉකුත් වූ කාච පැලඳීමෙන් ආසාදන තත්ත්වයන් පවා ඇති විය හැකියි. කාච පැලඳීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගෙන ඒ අනුව ඒවා භාවිත කිරීම වඩාත් සුදුසුම ක්‍රියා පිළිවෙතයි.

ඇස්වල මෙන්ම ඇස් වටා ඇති වියළි බව නැති කිරීමට ශරීර අභ්‍යන්තරයට ලබා දෙන ප්‍රතිකාරයක් ලෙස දිනකට වතුර ලීටර් 3ක් වත් පානය කිරීමට පුරුදු වන්න. අප ගන්නා ආහාර පාන ඇස්වලට ද බලපාන බැවින් විටමින් වර්ග කෘත්‍රිමව ලබා ගන්නවාට වඩා පලා වර්ග ආහාරයට ගැනීම, පලතුරු වර්ග ආහාරයට ගැනීම මඟින් විටමින් වර්ග ස්වභාවිකව ලබා ගැනීම වැදගත් වේ. ෆිෂ් ඔයිල් එකක් භාවිත කිරීම ද ඇස්වල පෙනීමට මෙන්ම දීප්තිය රඳවා ගැනීමට ද ඉවහල් වේ.

නිදි වැරීම නවතා පැය 08ක නින්දක් ලබා ගන්න. මෙයින් ඔබේ ඇස්වල ඇති විඩාබර ගතිය, ඇස්වල වියළි බව, ඇස් වටා කළු වීම වළක්වා ගන්න පුළුවන්. ඇස් වටේ කළු වීම දුරු කර ගැනීමට ඔබේ බඩ ශුද්ධ කිරීම ද වැදගත් වේ. ඒ සඳහා විරේක බෙහෙතක් හෝ අරළු පෙති ඔබට භාවිත කළ හැකියි. මේ සඳහා වෛද්‍ය උපදෙස් වුවද ඔබට ලබා ගත හැකියි.

ඔබට ඇත්තේ උෂ්ණ සිරුරක් නම් ඉස්සෝ, බලමාළු වැනි උෂ්ණාධික ආහාර ගැනීමෙන් වැළකී සව්, බාර්ලි, කිරල, කිතුල්පිටි කැඳ ආදී සිරුර සිසිල් කරන ආහාර ලබා ගන්න.

ඇස් වටා සම වියළි වූ විට,

කෝමාරිකා පත්‍රයේ ඇති ජෙලි කොටස ගෙන එය පිරිසුදු කපු රෙදි කඩකට දමා හොඳින් මිරිකා ජෙලි කොටස පෙරාගන්න. එයට විටමින් ඊ කරලක් දමා ඇස් වටේ ආලේපකොට විනාඩි 20-30 ක් පමණ තබා සෝදා හරින්න.

ඇස්වල වෙහෙස, වියළි බවට

තේ කොළ මණ්ඩි හෝ භාවිත කළ ටී බෑග් ශිතකරණයේ එකේ තබා පසුව ඇස් මත තබන්න.

ග්‍රීන් ටී එකකින් අයිස් කැට සකසා එම අයිස් කැටවලින් ඇස් තවන්න. මෙය අයි අයිස් මසාජ් ලෙස හැඳින්වේ.

අර්තාපල් අල ග්‍රේට්කර එය මිරිකා යුෂ ගෙන එයට කෝමාරිකා යුෂ ද මිශ්‍ර කර අයිස්කැට සාදාගන්න. පසුව එම අයිස් කැටවලින් ඇස් තවන්න.

ඇස් වටා සමේ කළු පැහැය නැති කිරීමට

අල පෙති තැබීමෙන් ඇස් වටා ඇති කළු පැහැය දුරු වේ.

පිපිඤ්ඤා පෙති විනාඩි කිහිපයක් ඇස් මත තබා ගැනීමෙන් ඇස් වටා කළු පැහැය දුරුවන අතර ම ඇස්වල ඇති වෙහෙස ද නැති කරයි.

ඇස්බැමි වර්ධනයට

විටමින් ඊ කරලකට ඔලිව් තෙල්, පොල් තෙල් දමා මිශ්‍ර කර කොට්න් බඩ් එකකින් ඇස්බැමි මත ආලේප කර ඇඟිලි තුඩු මඟින් සෙමෙන් සම්බාහනය කරන්න. මේ සඳහා කෝමාරිකා ජෙලි කොටස ආලේපකොට සම්බාහනය කිරීම ද සුදුසුයි.

පිරිසුදු පොල් තෙල් ස්වල්පයක් ළිප තබා එයට ගොටුකොළ යුෂ ස්වල්පයක් දමා රත්කර පෙරාගන්න. මෙය නිවුණ පසුව විටමින් ඊ කරල් 2ක් දමා හොඳින් කලවම්කර කුඩා බෝතලයකට දමා ගන්න. සෑම දිනකම රාත්‍රියේ මෙය ඇස් බැමෙහි ආලේප කර පැයක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.

ඇසි පියන් වවා ගැනීමට,

ගොටුකොළ යුෂ යොදා ඇහිබැම වවා ගැනීමට සැකසූ ඉහත සඳහන් තෙලම මේ සඳහා ද සුදුසුය. අයිලෑෂර් බ්‍රෂ් එක උපයෝගී කරගනිමින් ඇසි පියන්වල තෙල් ආලේප කරන්න.

පොල් තෙල්වලට විටමින් ඊ කරලක් දමා ආලේප කිරීම ද මේ සඳහා කළ හැකියි. එඬරුතෙල් ඇසි පියන් මත ආලේප කිරීම ද ඇසි පියන් වවා ගැනීමට හැකි ක්‍රමයකි.

මේ සියල්ල කළ යුත්තේ ඇසට හානියක් නොවන පරිද්දෙනි.

අප මෙතෙක් කතා කළේ ස්වභාවික ද්‍රව්‍ය මඟින් ඇස් රැක ගැනීම සිදු කරන ආකාරයයි.

කෙසේ වුවත් ඇස්වල ඇති මෙම ගැටලු සඳහා සැකසූ ආලේපන වර්ග ද වෙළෙඳපොළේ ඇත. එවැනි ආලේපන භාවිතයෙන් ද ඔබට යම් සහනයක් ලබා ගත හැකි වුවද ඒවා තෝරා ගැනීමේදී විශ්වාසදායක, ක්ෂේත්‍රයේ නමක් ඇති ආලේපන තෝරා ගැනීම වැදගත් වේ. ඇස්වලට භාවිත කරන සෑම දෙයක් ම කොතරම් මිල වුවත් හොඳම දෙයින් ලබා ගත යුත්තේ නැතිනම් එය ඔබේ ඇස්වල පෙනීම වුවද නැති කළ හැකි බැවිනි.

 

 

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

නිලූකා කොඩිකාර