වයසට නොයන සුන්දරත්වයේ රහස්

සැප්තැම්බර් 11, 2023

තරුණ බවින් යුතු, රැලි රහිත සමක් පවත්වා ගැනීමට නූතන කාන්තාව බොහෝ වෙහෙසෙයි. සමෙහි රැලි ඇති වීම දිනකින් දෙකකින් සිදු වන දෙයක් නොවේ. අප දෛනික ජීවිතයේ සිදු කරන දෑ සමඟ සම පිළිබඳ පැන නඟින ගැටලු බද්ධව පවතී.

ආතතිය, අඩු නින්ද, තිර (Screen) සමඟ ගත කරන කාලය වැඩි වීම සහ පරිසර දූෂකවලට නිරාවරණය වීම, එනම්, සම හිරු එළියට නිරාවරණය වීම ආදී කරුණු සමේ සෞඛ්‍යයට ප්‍රධාන වශයෙන් බලපායි.

සමෙහි රැළි වඩාත් කැපී පෙනෙන්නේ මුහුණ, බෙල්ල අත් සහ නළල වැනි හිරු එළියට වඩාත් නිරාවරණ වන සමේ ය.

හිරු එළියට නිරාවරණය වීම රැලි ඇතිවීමට ප්‍රධාන හේතුවකි. විශේෂයෙන්, සැහැල්ලු, සංවේදී සමක් ඇති පුද්ගලයන්ට එය වඩාත් බලපායි.

ඔබේ සමෙහි ඇතිවන රැලි සුමට කිරීමට හෝ ඒවා පෙනෙන ප්‍රමාණය අඩු කිරීමට ඔබට වෙන කවරදාටත් වඩා බොහෝ විකල්ප තිබේ.

ක්‍රීම් වර්ග, ලේසර් ප්‍රතිකාර, බෝටොක්ස් ආදී බොහෝ ක්‍රමවේද පවතී. ඉන් ඔබ්බට ගොස් ශල්‍යකර්ම මඟින් ද අද සෑම රූපලාවණ්‍ය ගැටලුවක් සඳහා ම විසඳුම් ඇත.

ඔබ වයසින් වැඩෙත් ම ඔබේ සමේ හි ස්වාභාවිකව ම, ඇදෙන සුලු බව වැඩි වේ. කොලජන් හීන වීම, ස්වාභාවික තෙල් නිෂ්පාදනය අඩුවීම ඔබේ සම වියළීමට සහ එය වඩාත් රැලි සහිත පෙනුමක් ඇති කිරීමට බලපායි.

සමේ පැහැපත් පෙනුමට අහිතකර ලෙස බලපාන දේවල් ජීවිතයෙන් හැකි තරම් ඈත් කර තබා ගැනීමෙන් සම එල්ලා වැටීම, රැලි වැටීම අවම කරගත හැකියි.

* හිරු එළිය සහ පාරජම්බුල කිරණ

*හිරු එළියට නිරාවරණය වීමෙන් හැකිතාක් වළකින්න. හිරු ආවරණ (කුඩ) භාවිත කරන්න. ආරක්ෂිත තොප්පි, ඇඳුම් පැලඳුම් හැකිතාක් භාවිත කරන්න. විශේෂයෙන් උදේ 10 සිට සවස 3 දක්වා කාලය අව්වට නිරාවරණය වීමෙන් වළකින්න.

* ඔබ නිදා ගන්නා ඉරියව්ව ද, මුහුණේ රැලි ඇතිවීම සඳහා බලපායි.

එකම ඉරියව්වකින් සෑම රාත්‍රියකම නිදාගන්නේ නම් එය වෙනස් විය යුතුයි. සමට නිරන්තරයෙන් බාහිරින් එන පීඩනය හේතුවෙන් මුහුණේ රැලි ඇතිවිය හැකියි.

* ආහාර පාලනය සහ ව්‍යායාම

අධික මේදය සහිත, කෘත්‍රිම ලෙස සැකසූ ආහාර පරිභෝජනය ඔබේ සමට හානි කරයි. පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත ආහාර වේලක් මඟින් සමේ රැකවරණය ඔබටම සලසාගත හැකියි.

*ව්‍යායාම කිරීම මඟින් සමේ රුධිර සංසරණය ඉතා හොඳින් සිදු වේ. කොලජන් නිෂ්පාදනයට, සමේ නව සෛල ප්‍රවර්ධනය කිරීමට ව්‍යායාම උපකාරී වේ.

* හැකි තරම් ජලය පානය කිරීම

* ආතතිය කළමනාකරණය සහ මානසික සෞඛ්‍යයට සහාය වීමට පියවර ගැනීම ආදි කරුණු මඟින් ඔබේ සමස්ත සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ අවධානය යොමු කිරීම මඟින් ඔබේ සමේ රැකවරණයට බොහෝ ප්‍රයෝජන සැපයේ.

 

සම රැක ගැනීම සඳහා කළ හැකි දෑ

ඔබ වයසට යන විට ඔබේ සම තරුණ වියට වඩා වියළි, සංවේදී සහ ඉක්මනින් වෙනස් වන සුලු තත්ත්වයට පත්වේ. සම රැකවරණ පිළිවෙතක් අනුගමනය කිරීමෙන් ඔබේ සමේ නීරෝගි, දීප්තිමත් බව, සම රැලි වැටීම, රැළි මතුවීම වළක්වා ගනිමින් පවත්වා ගත හැකියි.

ඒ සඳහා දිනකට දෙවරක් ඔබේ මුහුණ පිරිසුදු කර, සමෙහි තෙතමනය සුරක්ෂිත කර ගැනීම සඳහා සුදුසු මොයිස්චරයිසර් ක්‍රීම් වර්ගයක් භාවිත කරන්න.

නිරන්තරයෙන් සමේ තෙතමනය සුරක්ෂිත කර ගන්න. වියළි සම වේගයෙන් රැලි වැටීමට ලක් වේ.

පිටතට යෑමේදී දිනපතා හිරු ආවරණ පලඳින්න. අධික හිරු එළියට නිරාවරණය වන විට සෑම පැය දෙක තුනකට වරක් ඔබේ සන් ක්‍රීම් එකක් භාවිත කරන්න.

 

නිවෙසේදී ස්වාභාවික රැලිවලට ප්‍රතිකාර කරන්නේ කෙසේද?

ඔබේ සම වයසට යාම වළක්වා ගැනීම සඳහා ඔබ විසින් ක්‍රීම් වර්ග සහ සීරම් වර්ග භාවිත කරනවා වන්නට පුළුවන්. ඒවා එක් වරක් දෙවරක් භාවිත කර ප්‍රතිඵල බලාපොරොත්තු වන්නේ නම් එය එසේ සිදුවන්නේ නැහැ. අවම යම් නිෂ්පාදනයක් ඔබ භාවිත කරන්නේ නම්, එය ඔබට ප්‍රතිඵලදායක දැයි බැලීම සඳහා මාසයක සිට මාස තුනක කාලයක් දක්වා එය භාවිත කර උත්සාහ කර බැලිය යුතුයි.

 

නිවෙසේදී කළ හැකි සරල පිළියම්

කෝමාරිකා යුෂ සමට යොදා ගැනීම සිදු කළ හැකියි. කෝමාරිකාවල සුව ගුණ රාශියක් ඇත. දිනපතා කෝමාරිකා ජෙල් යම් ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් මුහුණේ ආලේප කිරීමෙන් සැලකිය යුතු මට්ටමින් සමට පෝෂණයක් සපයයි.

එසේම සම තෙල් වර්ග යොදා ගනිමින් සම්බාහනය කිරීම ද ,සම සුරක්ෂිත කරගැනීම සඳහා උපකාරී වෙයි.

ආගන් ඔයිල්, ජොජොබා, දෙළුම්, රොස්මරි, සඳුන්, ලැවැන්ඩර් ආදි තෙල් වර්ග යොදා ගත හැකියි.