ෆේෂල් එකකින් සම සුදු වෙනවා කියලා හිතන්න නම් එපා

පෙබරවාරි 20, 2023

ෆේෂල් එකක් ඔස්සේ සිදුවන්නේ සම පිරිසිදු කිරීම සහ සම පැහැපත් කිරීමයි. වෙනත් ලෙසකින් කිව හොත් නීරෝගි සමක් පවත්වාගෙන යෑමයි.

 

කරපු ෆේෂල් එක රැක ගන්නේ කොහොමද ?

කෙනෙක් දිහා බලද්දී පළමුව නෙත ගැටෙන්නෙ මුහුණ. අත් පා හා සිරුරේ හැඩය වෙත අවධානය යොමු වන්නේ ඉන් පසුවයි. මුහුණට නව පෙනුමක් ගෙන දෙමින් සුන්දරත්වයක් ළඟා කරගන්නට ෆේෂල් එකකට පුළුවනි. රුව හා ෆේෂල් එකක් අතර ඇත්තේ මනා සබැඳියාවකි.

බොහෝ පිරිස් නි⁣වෙසේදීම සාමාන්‍ය ෆේෂල් එකක් කර ගැනීමේ උත්සාහයක නියැළුණත් ගෝල්ඩ් ෆේෂල් ඇතුළු නවතම මාදිලියේ ෆේෂල් එකක් කර ගැනීම සඳහා නම් රූපලාවණ්‍යාගාරයක පිහිට පතන්නට ම සිදු වේවි.

කිසිම දවසක ෆේෂල් එකක් කර සුදු වේ යැයි බලාපොරොත්තු තබා ගන්නට එපා. බොහෝදෙනෙක් ෆේෂල් එකකින් අපේක්ෂා කරනුයේ සුදු වීමක්. ෆේෂල් එකක් ඔස්සේ සිදු වන්නේ සම පිරිසිදු කිරීම සහ සම පැහැපත් කිරීමයි. වෙනත් ලෙසකින් කිවහොත් නීරෝගි සමක් පවත්වාගෙන යෑමයි.

ෆේෂල් එකකදී පියවර කිහිපයක් අනුගමනය කරයි. ඒ ක්ලෙන්සර් කිරීම, ස්ක්‍රබ් කිරීම, සම්බාහනය කිරීම, පැක් එකක් දැමීම, ටෝනර් කිරීම යනාදියයි.

ස්ක්‍රබ් එකකින් සිදුවන්නේ මැරුණු සම ඉවත් කිරීමයි.නයි, පොළොඟුන් වැනි සතුන් හැව අරියි. ඔවුන් එසේ කරන්නේ මැරුණු සම ඉවත් කිරීමකි.නොදැනුවත්වම අපේ සම මතුපිට සමේ කොටස් රොඩු ලෙස ඉවත් වේ.සමේ ඇතැම් තැන්වල මැරුණු සම ඉබේ වැටීමේ ප්‍රවණතාව අඩුවේ. එවැනි තැන්වල මැරුණු සම එකට එකතු වී තිබේවි. නාසයේ දෙපැත්ත, තොල් යට, බෙල්ල දෙපැත්තේ කළු පැහැයට හුරුව ඇත්තේ මේ මැරුණු සමයි. ස්ක්‍රබ් එකක් භාවිතයෙන් මේ මැරුණු සම ඉවත් කළ හැකියි.

ස්ක්‍රබ් කිරීමෙන් පසු සම්බාහනය කළ යුතුයි. මේ සම්බාහනයෙන් ස්නායු ප්‍රාණවත් වේ. ස්නායුවල ක්‍රියාකාරි්ත්වය මැනවින් සිදුවේ. සමේ ස්වභාවය අනුව සම්බාහනය කරන වෙලාව තීරණය වේ.කුරුලෑ සමක් සම්බාහනය කිරීමට එතරම් වේලාවක් නොගනී.

මුහුණේ සමේ සිදුරු හෙවත් රෝම කූප විවෘත කරගැනීම සිදුවන්නේ ස්ටීම් කිරීමෙනි.දැන් එක්සැක්ටර් එකකින් බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් ඉවත් කරයි.සමට තද කරමින් මෙය නොකිරීමට වග බලා ගත යුතුයි.

අවසානයේ දමන්නේ පැක් එකයි.මේ සඳහා විවිධ පැක් වර්ග යොදා ගනියි.කුරුලෑ සමට වෙනමම පැක් එකක්, පෝෂණීය පැක් ....ආදිි වේ.

සමේ ස්වභාවය අනුව ක්ලෙන්සර් කිරීමට, ස්ක්‍රබ් කිරීමට..මේ ආදි සියලු අවස්ථා සඳහා ගන්නා ආලේපන වර්ග වෙනස් වේ. ෆේෂල් එකක් කිරීමට පෙර සම හඳුනා ගෙන තිබීම හෙවත් සම පිළිබඳ විශ්ලේෂණයක් කර සිටීම අතිශය වැදගත්. ෆේෂල් එක අවසන් කරන්නේ ටෝනර් කිරීමෙනි.

මේ සියලු පියවරයන් අවසානයේ මැනවින් මුහුණ සහ බෙල්ල පිරිසුදු වතුරින් සෝදා හැරිය යුතු වේ. ෆේෂල් එකක් කළ පසු අව්වට නිරාවරණය වීම එතරම් සුදුසු නොවේ.එසේ නිරාවරණය වේ නම් මොයිස්චරයිසර් ක්‍රීම් එකක්, සන් ක්‍රීම් එකක් ආලේප කළ යුතු වේ.සම අව්වට නිරාවරණය වීමෙන් ඉක්මනින් ම පිළිස්සීමට බලයි.

ෆේෂල් එකක් කරද්දී අනුගමනය කරන සම්බාහන ක්‍රමය සහ ඊට යොදා ගන්නා පැක් එක අදාළ ෆේෂල් වර්ගය අනුව තීරණය වේ.

සාමාන්‍යයෙන් දින 28 කට වතාවක් සාමාන්‍ය ෆේෂල් එකක් කළ හැකියි. ගෝල්ඩ් ෆේෂල් ඇතුළු තවත් බොහෝ ෆේෂල් වර්ග රූපලාවණ්‍යාගාරයක් තුළදී සිදු කළ හැකි වේ.දැන් දැන් නවීනතම ෆේෂල් වර්ග රූපලාවණ්‍ය ක්ෂේත්‍රය ආගමනය කර තිබේ.

ෆේෂල් එකක් කළ පසු එය මැනවින් පවත්වා ගෙන යෑම සඳහා හොඳින් වතුර බීම කළ යුතුයි. මොයිස්චරයිසර් ක්‍රීම් එකක්, සන් ක්‍රීම් එකක් භාවිතයෙන් ෆේෂල් කළ සමේ පැහැදිලි , පිවිතුරු, පැහැපත් බව රැක ගත හැකි වේ.

 

උපදෙස් :

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනි

තීක්ෂණී කාරියවසම්