ඔබේ ආදර කතාව ඛේදවාචකයක් නොවන්නට නම්...

ආදරය ආදරයෙන් විඳින්න
නොවැම්බර් 7, 2022

 

අකුරු හතරක් එකතුව සැදි ලොව මිහිරිතම වචනය ආදරයයි. එය ලෝකයේ පැවැත්ම සඳහා අවැසිම වූ දෙයකි. ආදරය නොමැති වූ තැන ලෝකය කතරකි. ආදරය මේ මුළු විශ්වය පුරාම පැතිරුණකි. මවුපිය දූදරු, සහෝදර, ගුරු-ගෝල, ඥාති හිත මිතුරු මෙන්ම සුරතලුන්ට, සත්ත්වයන්ට දක්වන ආදරය ද අප හැම අයකු තුළම පවතී. පරිසරයට ආදරය කිරීම මෙන්ම ආදරවන්තයකුට හෝ ආදරවන්තියකට ආදරය කිරීම ලෝකයේ පැවැත්ම උදෙසා වඩාත් වැදගත් ය.

සිනමාව, සංගීතය, ඡායාරූප, සිත්තම්, සාහිත්‍ය ආදියෙන් ආදරයේ සොඳුරු බව ලොවට පෙන්වයි. එපමණක් නොව ලෝකය ලස්සන කළ සැබෑ සොඳුරු ආදර කතා ගැන ද අපි අසා ඇත්තෙමු. එහෙත් අද දවසේ දී මේ සොඳුරු ආදරය එලෙසින්ම පවතින්නේ දැයි ගැටලුවකි. සිය දිවි හානි කර ගැනීම්, තර්ජනය කිරීම්, බිය වැද්දීම්, පැහැර ගැනීම්, පහර දීම්, මරා දැමීම්, මානසික වියවුල්.... මේ අපි අද දකින ආදර කතාවල ප්‍රතිඵලයි. මේ ආදරය ද? සත්‍ය ප්‍රේමය ද? නැත. ආදරයට කියා මේවා කරන්නේ නම් සැබෑවටම කිසි දිනෙක ඒ හිත්වල සැබෑ ආදරයක් තිබී නැත.

තාරුණ්‍ය යේ හිඳින ඔබ ආදරයක් අරඹන්නට පෙර සැබෑ ආදරය කුමක් දැයි වටහා ගත යුතුය. එසේ වටහා ගෙන ආදර කතාවකට මුල පුරන්නේ නම් පමණක් ඔබේ ආදරය ඛේදවාචකයකින් අවසන් නොවනු ඇත. එය සිනමා සිත්තමක පෙන්වන තරම්, නවකතාවක කියැවෙන තරම් සොඳුරු ආදර කතාවක්ම වනු ඇත.

 

මිහිරි මතක ගෙනෙන පරිත්‍යාගය

අප යම් පුද්ගලයකුට ආදරය කරන්නේ නම් ඔහු හෝ ඇය හා බැඳුණු සියලුම දේට, පුද්ගලයන්ට ද නිතැතින්ම ආදරය කරන්නට පෙලඹේ. ඒ ආදරයේ ස්වභාවයයි. නියමාකාරයෙන් ආදරය කරන්නේ නම් ඒ ආදරය තුළ කරුණාව හා මුදිතාව ද ගැබ්ව පැවතිය යුතුයි.

ආදරය යනු ලබා ගැනීම හෝ හිමිකර ගැනීම ම නොව, ඒ තුළ කැප කිරීම, පරිත්‍යාගය ද ඇතුළත් ය. ආත්මාර්ථයෙන් තොර ආදරයක් තුළ ඇත්තේ පරිත්‍යාගයයි. ආදරය කිරීමේ දී අපට අනෙකා වෙනුවෙන් කැප කිරීම් කළ නොහැකි නම් ඒ ආදර සබඳතාව සාර්ථක එකක් නොවනු ඇත. ආත්මාර්ථයෙන් හිමිකර ගන්නා ආදරයකට වඩා පරාර්ථයෙන් යුතුව පරිත්‍යාග කරන ආදරයක් ඇතැම් විට වඩාත් මිහිරි මතකයන් හා සැනසීමක් ඔබේ සිතට ගෙන දිය හැකියි. තමා යමකුට ආදරය කරන්නේ නම් ඒ පුද්ගලයාගේ යහපත ගැන සිතා කටයුතු කිරීම සැබෑ ආදරයේ ස්වභාවයයි. එවැනි ආදරයකට අනෙක් පුද්ගලයා හොඳින් වටහා ගැනීමට ද හැකියි.

 

ආත්මාර්ථකාමී හැඟීම්

අද බොහෝ දෙනෙක් ආදරය යැයි රැවටී ඇත්තේ ආත්මාර්ථයෙන් යුතු හැඟීමකටයි. තමාට වුවමනා අයුරින් අනෙක් පුද්ගලයා වෙනස්කර ගැනීමට, තමාට වුවමනා කටයුතු අනෙකා ලවා සිදුකර ගැනීමට උත්සාහ කිරීම ආදරය යනුවෙන් දකී. නමුත් ඒවා සැබෑ ආදරයේ ලක්ෂණ නොවේ. විශ්වාසය, අවංක බව ආදරයකට වඩාත් වැදගත් අංග දෙකකි. විශ්වාසයක් නැති තැනක අවංක බවක් නැති තැනක ආදරයක් රැඳෙන්නේ නැත. අනෙකා කෙරෙහි දැඩි විශ්වාසයක් පැවතීම මෙන්ම තමා ද අනෙකාට විශ්වාසවන්ත පෙම්වතියක, පෙම්වතකු වීම මඟින් සුන්දර ආදරයක් හිමිකර ගත හැකියි. බොරුව, රැවටීම ළඟ ආදරය රැඳෙන්නේ නැත. රැඳුණත් එය සැබෑ ආදරය නොවේ. ආත්මාර්ථකාමීත්වය වෙනුවෙන් රැඳී සිටීමක් පමණක් වනු ඇත.

 

සිද්ධාර්ථ - යශෝධරා

මේ ආදර කතාව අපට ආදරය ගැන බොහෝ දේ වටහා ගත හැකි ආදර කතාවකි. ඔවුන් දෙදෙනා හොඳින් අනෙකා අවබෝධ කරගෙන සිටි යුවළකි. එබැවින් සිද්ධාර්ථ කුමරා ජීවිතයේ විමුක්තිය සොයන බව යශෝධරාව දැන සිටියාය. ඔවුන්ගේ ආදරණීය පුතණුවන් උපන් රැයේ ම සිදුහතුන් ගිහි ගෙයින් නික්ම ගිය ද යශෝධරාව කිසිම විටෙක ඔහුගේ ජීවිත අරමුණ වෙනස් කිරීමට හෝ එම අරමුණට බාධා කිරීමට, විවේචන කිරීමට නොගියා ය. හැම විටම ඇය ඔහුට ආශීර්වාද කළාය.

රජ කුමරියක් වූ බැවින් ඇයට ඔහු සොයා යාම අපහසු කාර්යක් නොවේ. නමුත් ඇයට එසේ ගොස් ඔහුගේ අරමුණට බාධා කිරීමට වුවමනා නොවීය. ඇය මාලිගාවේ සිට ම ඔහුගේ අරමුණ සාක්ෂාත් කරගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කළාය.

සිදුහත් කුමරා රළු රෙදිවලින් කළ ඇඳුමක් අඳින බව දැනගත් ඇය මාලිගයේ සිටියදීම තම ආභරණ, සිනිඳු සළු පිළි අතැර රළු රෙදිවලින් කළ ඇඳුම් ඇන්දාය. තම ස්වාමියා ආහාර ගන්නේ අඩුවෙන් යැයි දැනගත් ඇය ද එලෙසින් ම ආහාර ලබා ගත්තාය. යශෝධරාවගේ කැප කිරීම, දරා ගැනීම බුද්ධත්වය කරා සිදුහත් කුමරා ගිය ගමනට ආශීර්වාදයක් ම විය.

තමා සහ දරුවා හැර ගියා යැයි සිදුහතුන්ට දෝෂාරෝපණය නොකළ ඇය බුදුබව ලබා තම ගිහි කළ ස්වාමියා පැමිණි විට දරුවාට තම පියා පිළිබඳ වර්ණනා කරමින් ඔහු පසසන්නට විය.

මාලිගයට වැඩි බුදු හිමියන් යශෝධරාව සොයා ඇගේ කුටියට පිවිසෙන්නේ ද ඇය කළ ඒ මහත් වූ කැප කිරීමට උපහාරයක් වශයෙනි. තම දෙපා මුල වැටී හඬන ඇය ඉවත් කිරීමට ඉදිරිපත් වූවන්ට බුදුහිමියන් පවසා සිටියේ ඇයට එසේ හඬන්නට ඉඩ දෙන ලෙසයි. සංසාරයේ තම පෙම්වතිය, සහකාරිය ලෙසින් හැම භවයකම පැමිණි ඇයට සසරින් නික්මෙන මේ භවයේ දී පවා ගෞරව කළ බුදු හිමියන් යශෝධරාවට ලබා දිය හැකි උතුම්ම දෙය වන නිර්වාණ මාර්ගයට රැගෙන ගියේය.

 

ඛේදවාචක

එහෙත් අද සමාජය තුළ අප දකින ආදර කතා සාර්ථක නොවීමට හෝ ඛේදවාචක බවට පත් වීමට හේතු වන්නේ ආත්මාර්ථය, කැප කිරීම් කිරීමට ඇති අකැමැත්ත, පරිත්‍යාග කිරීම්වලට ඇති අකැමැත්ත නිසයි. බොහෝ ආදර කතා බලෙන් හිමි කර ගැනීම, බලෙන් රඳවා ගැනීම වැනි තත්ත්වයන්ට පත්ව ඇත. බිය ගැන්වීම, තර්ජනය කිරීම මඟින් අනෙකා තමන් වෙතින් දුරස්වීම වළකා ගන්නට වෙහෙසේ. නමුදු එය සැබෑ ආදරය නොවේ. සැබෑ ආදරය කිසිදා බලෙන් රඳවා ගන්නට උත්සාහ කරනනේ නැත. තර්ජනය කිරීම්, බිය ගැන්වීම්, අපහාස කිරීම් කරන්නේ නැත.

තමාටම හිමිකර ගැනීමට යාමේදී යම් යම් ගැටලු ඇති විය හැකිය. ඔබ තුළ විශ්වාසය, අවංක බව ඇත්නම්, ආදරය ඔබ සොයා පැමිණෙනු ඇත. නමුත් එහිදී නිතරම අනෙකාගේ යහපත ගැන සිතනවා නම් කිසි දිනෙක අපට අද අසන්නට දකින්නට ලැබෙන දුක්ඛිත සිද්ධීන් සිදුවන්නේ නැත. ආදරය යනු විශ්වාසය, කැපකිරීම, පරිත්‍යාගය, රැකවරණය වන්නේ ඒ නිසයි.

සුන්දර ආදර කතා ගොඩනැඟෙන්නේ මේ කරුණු එක් රැස් වූ විටයි. ඔබේ ආදරයත් සුන්දර ආදර කතාවක් කරගැනීමට ඔබට හැකිය. ඒ සඳහා ඔබේ සිතුවිලි හා ක්‍රියාවන් හසුරුවා ගත යුත්තේ ද ඔබමයි. ආදරය දෙස ආදරයෙන් බලන්න. ආදරය, ආදරයෙන් ම විඳින්න. එවැනි ආදරයක් ඔබේ ජීවිතයට නව මාවතක් විවර කරදේවි.