ලොව ළාබාලම මහාචාර්යවරයා..

සොබොර්නෝ පටේක් බාරි
අගෝස්තු 18, 2021

21වැනි සියවසේ අයිසැක් නිව්ටන්

 

බුද්ධිය, ඥානය කෙනකුට ලැබෙන්නේ පෙර කරන ලද කුසල් අකුසල් නිසා බව බෞද්ධ දර්ශනයේ සඳහන් ය. එය ඇතැම් අයගේ මත ගැටුම්, වාද විවාද නිතර ඇතිවන මාතෘකාවකි. මේ වාද විවාද කෙසේ වුවද මේ කරුණ සනාථ කරන දරුවන් විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ කලාතුරකින් හමු වේ. මේ දිනවල දී බොහෝ දෙනාගේ විමතිය දනවන ආකාරයේ දක්ෂතා ඇති දරුවකු පිළිබඳ අසන්නට ලැබේ.

 

ලොව ළාබාලතම මහාචාර්යවරයාගේ වයස කීයක් වනු ඇතිදැයි ඔබට නිකමට හෝ සිතිය හැකි ද? වයස අවුරුදු නවයේ දරුවකු සෙල්ලම් කරමින්, හුරතල් වෙමින් සිටින අයුරු අපට අරුමයක් නොවේ. එහෙත් වයස අවුරුදු නවය වන විට ලොව ළාබාලතම මහාචාර්යවරයා වීමට හැකිවෙතැයි සිතීම පවා අපගේ සිතට දනවන්නේ විමතියකි. එහෙත් එය සැබෑවකි. ඔහු දකුණු ආසියාතික සම්භවයක් ඇති දරුවකු වීම අපට ද ආඩම්බරයකි. මේ වන විට ඔහු ප්‍රසිද්ධ වී ඇත්තේ අපේ කාලයේ අයින්ස්ටයින් ලෙසයි.

ඔහු නමින් සොබොර්නෝ පටේක් බාරි ය. 2012 වසරේ අප්‍රේල් මස 09 වැනි දින අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ දී උපත ලැබූ සොබොර්නෝගේ පියා රශිදුල් බාරි ගණිතඥයෙකි. මව ශහේදා බාරි ය. රශිදුල් බාරි බංගලාදේශ ජාතිකයෙක් වන අතර ඔහු අමෙරිකා එක්සත් ජනපදයට පැමිණෙන්නේ 2000 වසරේදී ය. එමනිසා සොබොර්නෝ උපත ලබන්නේ අමෙරිකානු පුරවැසිකම ද ඇතිවයි. ඔහුට අපොර්බෝ බාරි ලෙසින් වැඩිමල් සොයුරෙක් ද සිටියි.

වයස මාස 6 ක් වන විට මේ දරුවා වාක්‍යයක් ගළපා කතා කිරීමට හැකියාව ලබා තිබුණු අතර වයස අවුරුදු දෙකේ දී ආචාර්ය උපාධි මට්ටමේ ගණිත, භෞතික විද්‍යා හා රසායන විද්‍යා ගැටලු පහසුවෙන් නිරාකරණය කිරීමට හැකියාව ලබා තිබුණි. මෙය ඔහුට ඉතා ප්‍රියජනක දෙයක් වූ අතර මවුපියන් ඔහුගේ මේ හැකියාව වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය වෙත යොමුකරන්නේ තමාගේ දරුවාගේ හැකියාව ලොවට ම පෙන්වීමටයි.

මෙහිදී නිව්යෝක් මාධ්‍ය නාලිකා කිහිපයක ම අවධානය ඒ වෙත යොමු වන අතර සුප්‍රසිද්ධ වොයිස් ඔෆ් අමෙරිකා කුඩා සොබොර්නෝ සමඟින් වැඩසටහනක් විකාශය කිරීම විශේෂ සිද්ධියක් බවට පත් වේ. ඒ, එම වැඩසටහන සඳහා සහභාගී වූ ළාබාලම පුද්ගලයා වන නිසයි.

මේ කුඩා බුද්ධිමතාට බාරි සයන්ස් ලැබ් නමින් යූ ටියුබ් චැනලයක් ආරම්භ වන්නේ ඔහුගේ වයස අවුරුදු 2ක් වන විටයි. එනම්, 2014 වසරේදී යි. මේ වන විට ඉතාමත් අධික ග්‍රාහක සංඛ්‍යාවක් සිටින යූ ටියුබ් චැනලයක් ලෙස එය සැලකේ.

මේ කුඩා දක්ෂයාගේ හපන්කම්වලින් විස්මිත වූ බොහෝ දෙනාගේ යෝජනාව වූයේ ඔහුට නවීන විද්‍යාවේ පියා ලෙස සැලකෙන සර් අයිසැක් නිව්ටන්ට උපහාරයක් ලෙස සොබොර්නෝගේ නමට අයිසැක් යන නම යොදන ලෙසයි. මේ නිසා ඔහුගේ දෙවැනි නම වූ පටෙල් යන්න වෙනුවට අයිසැක් යන්න දැන් භාවිත කෙරේ. ඒ අනුව ඔහු සොබොර්නෝ අයිසැක් බාරි ලෙස මේ වන විට හැඳින්වේ.

කෙසේ වුවත් සොබොර්නෝ පවසන්නේ තමා කැමැතිම චරිතය වන්නේ තම පියා බවයි. එසේ වීමට හේතු ගණනාවක් ම ඔහුට ඇත. සත්‍ය වශයෙන් ම සොබොර්නෝගේ මවුපියන් ඉතාමත් ආදර්ශවත් ජීවිතයක් ගත කළ අයයි.

රශිදුල් බාරි උසස් අධ්‍යාපනය ලබන්නේ ඉතාමත් දුෂ්කර කාලයක් ගතකරන අතරයි. අමෙරිකාවේ නිව්යෝර්ක් හි ජීවිතය එතරම් පහසු නොවූවද තම සැමියාගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් ඉපැයීමට හා උපයන මුදල් ඉතාමත් අරපරෙස්සමින් භාවිත කරමින් ඔහුගේ ඉලක්ක සම්පූර්ණ කිරීමට සෙවණැල්ලක් සේ ළඟ සිට උදවු කරන්නේ ශහේදා ය. මේ කාලයේ දී දිනකට වේල් තුනක් ආහාර ගැනීමට පවා ඔවුනට අපහසු වේ.

දුකක් වින්දොත් සැපක් විඳින්නට ලැබෙනවා යැයි යන කියමන සැබෑ කරමින් ඔවුන්ගේ මේ දුෂ්කර ක්‍රියාව නිමා වන්නේ ආරක්ෂකයෙක් ලෙස සේවය කරන අතර රශිදුල් උපාධි පහක් හා ශාස්ත්‍රපති උපාධි 2ක් විශ්ව විද්‍යාල කිහිපයකින් ම ලබා ගනිමිනි. මේ අනුව තම පියා තමාගේ ආදර්ශවත් චරිතය කරගැනීම ගැන සොබොර්නෝගේ මතය කොතරම් නිරවුල්දැයි කාහටත් පැහැදිලි වේ.

ලොව පුරා වෙසෙන සුවිශේෂී දක්ෂතා පිරුණු දරුවන් වෙත පිරිනැමෙන ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත එකම සම්මානය වන ග්ලෝබල් චයිල්ඩ් ප්‍රොඩිගි සම්මානය 2020 වසරේ දී සොබොර්නෝ අයිසැක් බාරිට පිරිනැමෙන්නේ විද්‍යා අංශය වෙනුවෙනි. මෙම සම්මානය ඔහුට ලබා දුන් ඉන්දියානු මහාචාර්ය කයිලාෂ් සත්‍යාර්ති පවසන්නේ තමා සොබොර්නෝගේ නම නොබෙල් ත්‍යාගය වෙනුවෙන් යෝජනා කරන බවයි.

මේ කුඩා මහාචාර්ය සොබොර්නෝ චිත්‍රපට නැරඹීමට, විවිධ ස්ථානවල සංචාරය කිරීමට හා පර්යේෂණ කිරීමට වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම ඔහු බිරියානි හා චීන ආහාර සඳහා වැඩි ප්‍රියතාවක් දක්වයි.

අසාමාන්‍ය දක්ෂතාවලින් හෙබි මේ ළාබාල මහාචාර්යවරයා මේ වන විට විශ්ව විද්‍යාලවල දේශන සඳහා ද ඇරැයුම් ලබයි. සත්‍ය වශයෙන් ම මේ ඔහුගේ පින් මහිමය නිසා ලැබුණු බුද්ධියක් විය හැකිය. තම දරුවාගේ දක්ෂතා හඳුනාගෙන නිසි කලට වේලාවට ඒවාට නිසි ඇගයීමක් ලබා දීමට මවුපියන්ට හැකි වීමෙන් එම ජීවිත වඩාත් හොඳ තත්ත්වයකට පත් කිරීමට හැකියාව ලැබේ.

මවුවරුනි ඔබේ දරුවා තවත් සොබොර්නෝ කෙනකු කළ නොහැකිය. එහෙත් ඔහු හෝ ඇය තුළ පවතින සැබෑ දක්ෂතාව කුමක්දැයි හඳුනාගෙන එය වැඩිදියුණු කරගැනීමට දරුවාට සහාය වෙන්න. එවිට වාර්තාපොත්වලට එක් නොවූවත් සාර්ථක පුද්ගලයකු සමාජයට දායාද කිරීමට හැකියාව ලැබේවි.

 

 

තොරතුරු අන්තර්ජාලයෙනි