කොවිඩ් මාරයා බිලිගත් කාරුණික හෙද සොයුරිය

සැප්තැම්බර් 8, 2021

 

කෝවිඩ් රෝගීන් වෙනුවෙන් අවසන් මොහොත දක්වා කැපවීම් කර කෝවිඩ් නිසාම සිය ජීවන ගමනට සදහටම සමුදුන් හෙද සොයුරියක් පිළිබඳ සංවේදී පුවතක් අපට වාර්තා වුණා. ඒ මිනුවන්ගොඩ මූලික රෝහලෙනි.
                 
සැමියකුට තම ආදරණීය බිරියක් ද දරු දෙදෙනෙකුට මව් සෙනෙහස ද අහිමි කරමින් කෝවිඞ් ආසාදිතයින් ජීවත් කරලීම සඳහා ඇප කැප වී සේවය කළ හෙද පාලිකාවක එලෙස කෝවිඞ් ආසාදිත වීමෙන් මියයාමේ ශෝචනීය සිදුවීම රටම කම්පා කළ පුවතක් වුණා.

එලෙස අවාසනාවන්ත ලෙස ඉන්දු අමරසිංහ නම් හෙද සොයුරිය සිය ජීවිතයට සමු දී තිබුණා. කොරෝනා ආසාදිතව මරණයට පත්වූ සිව්වැනි හෙදිය වන්නේ ද ඇයයි. දෙදරු මවක් වන ඇය, මියයන විට 56 වැනි වියේ පසුවූවාය.

මිනුවන්ගොඩ යටියන සමඟි මාවතේ පදිංචිව සිටි ඇය මිනුවන්ගොඩ රෝහලේ සේවය කරමින් සිටියදී කෝවිඩ් ආසාදනය වී එම රෝහලේම ප්‍රතිකාර ලැබීය.
නමුත් රෝගී තත්ත්වය ක්‍රමයෙන් බරපතළ වූ හෙයින් පසුගිය 14 වනදා ඇයව කොළඹ IDH රෝහල වෙත මාරු කෙරුණි.

එහෙත් තම අවසන් හුස්ම පොද රැකගන්නට තරම් ශක්තියක් ඇය සතුව තිබුණේ නැත.

රෝගීන් සිය ගණනක් කෝවිඩ් මාරයාගෙන් ගලවාගත් ඉන්දු මහත්මිය පසුගිය 26 වැනිදා කෝවිඩ් මාරයා සමග සිය අවසන් ගමන ගියාය.

මින් පෙර කොළඹ ජාතික රෝහලේ සහ ගම්පහ මූලික රෝහලේ සේවය කළ ඇය වසර 37ක සේවා කාලයකට හිමිකම් කියූ ප්‍රවීන හෙද සොහොයුරියකි.
ඇය රෝහලේ ප්‍රමුඛ චරිතයක් වුණේ හසල අත්දැකීම් නිසා පමණක්ම නොව ඈ තුළ තිබූ උතුම් මානුෂික ගුණාංග නිසා ය.
සමහර කොවිඩ් රෝගීන්ට කෑම පවා රැගෙන ඒමට ඇය විටෙක කාරුණික වූවාය.

මිනුවන්ගොඩ මූලික රෝහලේ වාට්ටු අංක 2 භාරව කටයුතු කළ අමරසිංහ මහත්මිය, එම රෝහල කොවිඩ් ආසාදිත රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කරන රෝහලක් බවට පරිවර්ථනය කළ දා සිට රෝහලේ ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා පැමිණි සිටි වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරීන්ට ආහාරපාන තම නිවසින්ම ගෙනැවිත් ලබාදෙමින් රෝහල ප‍්‍රතිසංස්කරණය කිරීමට දායකවී කටයුතු කළ බව ඇගේ සහෝදර හෙදි පාලිකාවක් පවසා සිටියාය. සියල්ලන්ගේම ප්‍රශංසාවට පාත්‍රවූ හෙද නිලධාරිනියක ලෙසින් කටයුතු කළ බව ද  එම රෝහලේ හෙද සොයුරියන් පැවසීය.

කොවිඩ් රෝගීන්ට හිතාදර මිතුරියක වූ ඇය සෙනෙහස පිරි නිවසක ආදරණීය දෙදරු මවක් ද විය.

"හැම මොහොතකම පරිස්සම් වන්න" ඒ..ඇය ඔබට දී ගිය පණිවුඩයයි.
"හැම දේකින්ම අම්මා පරිස්සම් වුණා. මමත් රැකියාවට යන කෙනෙක් විදිහට දැකපු දෙයක්.., සාමාන්‍ය පුරවැසියන් හැමදේම පොලීසියට සහ රජයට භාරදීලා ඉන්න උත්සාහ කරනවා. පුළුවන් නම් ඒකෙන් වැළකිලා තමන්ගේ ජීවිතයේ ආරක්ෂාව තමන්ගේ අතට ගන්නවා නම් මේ ප්‍රශ්නය දුරදිග යන එක අපිට නවත්ව ගන්න පුළුවන් වෙයි. තමන්ට අවංක වෙලා සෞඛ්‍ය පුරුදු පිළිපැදලා.. තමන්ගේ කෙනෙක් නැති වෙන දුක දරාගන්න වෙන්නේ නැති තැනට වැඩ කරන්න කියලා ඉල්ලනවා." යැයි හෙද නිලධාරිනියගේ දියණිය පැවසුවා.

   යටියන ගම් පියසේ ද කාගේත් ආදරයට පාත‍්‍රව සිටි හෙද පාලිකා ඉන්දු අමරසිංහ මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු නිරෝධායන නිති රෙගුලාසිවලට අනුව මිනුවන්ගොඩ දී 27 වන දින සවස සිදු කෙරිණී.
කෝවීඩ් මාරයා තරා තිරම නොබලා අපගේ ආදරණීයන් බිලි ගනිමින් සිටියි. ඒ නිසා සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කිරීම සැමගේ යහපතට හේතුවක් වේවී.