වර්ෂ 2025 ක්වූ May 19 වැනිදා Monday
අප්පච්චි

ආදරණීය පුතේ,
මනුස්සයෙක් වුණාම විශේෂයෙන් තරුණයෙක් වුණාම තමන්ගේ ඉදිරි දියුණුව වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. ඒකට අධිෂ්ඨානයක් තියෙන්න ඕනේ. එහෙම නැතුව ජීවිතේ ඉදිරියට ගෙනියන්න බෑ.
ජීවිතය කියන්නේ මහ අමුතුම දෙයක් කියලා අපි අත්දැකීමෙන් දැනගන්න පටන් ගන්නවා. මුදල් තමා අද ලෝකේ අංක එකට තියෙන්නේ ජීවත් වීම සඳහා. මොකද ගුණ ධර්ම, මනුස්සකම් කන්න පුළුවන් ද කියලා අහන අයත් ඉන්නවානෙ. එයාලා හැබැයි ජීවත්වෙන්නේ මුදල් හම්බ කරන්න නිසා ජීවිතයක් නෑ.
ජීවිතය සතුටින් විඳින මිනිස්සු හම්බ කරලා, ඉතිරිත් කරලා සතුට වෙනුවෙනුත් වියදම් කරනවා. ඒක අපි හදාගන්න විදිහ අනුව තමා සිදු වෙන්නේ. කොහොම වුණත් හැම කෙනෙක්ටම සිහින තියෙනවා. ඒවා හොඳ රැකියාවක්, ලස්සන ගෙයක්, වාහනයක්, සුන්දර බිරියක්, සුන්දර දරුවන් වෙන්න පුළුවන්. ඉඩකඩම්, යාන වාහන කියන ඒවා ඇතැම් අයට මවුපියන්ගෙන්ම හිමිවුණත් සමහර අය ඒවා තියාගන්න දන්නේ නෑ. නාස්තිකාර දරුවෝ ඉන්නවානෙ. ඒත් සමහර දරුවෝ ඉන්නවා මවුපියනුත් ගොඩදාගෙන ඉදිරියට යන්න දඟලන. ඒකට කියන්නේ කට්ට කෑමක් කියලා. කවුරු හරි කිව්වොත් ඒක අනාගත අරමුණක් ඇතිව කරන දෙයක්. මිනිහෙක් නාකි වෙනකම්ම හම්බ කරන්නම දඟලන්නේ නෑ. නාකි කියන්නේ නොහැකි කියන එක. මනුස්සයකුට වැඩ කරන්න පුළුවන් කාලයක් තියෙනවා. ඒ කාලෙ කරගන්න ඕනෙ. ඒ වගේම හම්බ කරන ධනය වියදම් කරන හැටිත් දැනගන්න ඕනේ. අපේ ආගමික ශාස්තෘන් වහන්සේලාත් අතීතයේ දී මේවා ගැන පහදලා තියෙනවා.
මම අර කලින් කිව්වා වගේ පුතේ අපිට සිහින තියෙන්න ඕනේ. සිහින දකින්න ඕනේ. ඒවා යථාර්ථයක් කරගන්න අරමුණක් ඇති කර ගන්න ඕනේ. එයින් එකක් තමා පාසල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය කියලා කියන්නේ. මම හැමදාම කියන එක තමා දොස්තරලා ගැන. වෛද්‍යවරු වෙන්න නම් හොඳ මතක ශක්තියක් තියෙන්න ඕනේ. ඒ වාසනාව මේ වෛද්‍යවරුන් වෙන අයට ලැබිලා තියෙනවා. ඒකනෙ හොඳටම මතක හිටින්නේ. විභාග පාස්වෙන්නේ, ඉදිරියටම යන්නේ ඒ මතක ශක්තිය නිසා. වෛද්‍යවරු වෙලා ඒ කරන සමහර අකටයුතුකම් නිසා සමස්ත වෛද්‍යවරුන්ම නිගාවට පත්වෙන එක කනගාටුවක්. මම දැක්කා අද පුවතක් එක වෛද්‍යවරයෙක් එම රෝහලේ අවශ්‍ය බෙහෙතක් නැතිව දරුවෙක් අසරණ වෙනවා දැකලා එම ඔසුව එතුමාගේ මුදලින් පරිත්‍යාග කළා.
එහෙම රත්තරන් මිනිස්සුත් ඉන්නවා. එහෙම වෙන්නේ නිදහස් අධ්‍යාපනය ලබපු, අවංක මිනිස්සු ඉන්න නිසා. මට මතකයි මුරුංගාගස්යායේ ඤාණිස්සර නායක හාමුදුරුවෝ වෛද්‍යවිද්‍යාලයට තේරෙන නිර්ධන පන්තියේ ළමුන්ට ශිෂ්‍යත්ව ලබා දුන්නා. සමහර විට ඒ වගේ අය හොඳට අවංකවම මිනිස්සු වෙනුවෙන් වැඩ කරනවා වෙන්න පුළුවන්.හරි ඉතින් මං කියමින් හිටියේ අපේ සිහින ගැනනෙ. සිහින සැබෑ කරගන්න කැපවීම් කරන්නත් ඕනේ. අනික මට හිතෙනවා එහෙම කරද්දි තමා, අවශ්‍ය තැනට අපිව යොමු කරන්නේ. කට්ටකාගෙන යන ගමනක් නේද අප්පච්චි කියලා ඔයා අහාවි. ඔව් ඉතින් ලංකාව ගත්තොත් කට්ට කාපු අය තමා රටේ ප්රමුඛ ව්‍යාපාරිකයෝ, උගත්තු, ධනවත්තු වෙලා තියෙන්නේ. ඒ වගේම දේශපාලකයන්ගේ සහයෝගයෙන් රටට අවංක නොවන විදිහට හරිහම්බ කරගෙන පොහොසත් වෙච්ච අයත් ඉන්නවා.
මේ යන ගමනේදී අපිට විවිධ මිනිස්සු හම්බ වෙනවා. අපිට ගරහනවා. නින්දා කරනවා. ගමන අඩාල කරන්න කටයුතු කරනවා. කරන දේ විවේචනය කරනවා. කොටින්ම අපිට ගල් ගහනවා. යන්න දෙන්නේ නෑ. ඒත් අපි කොහොම හරි මේවා නොසලකා ඉදිරියට යන්න බලන්න ඕනේ.
මතකද අම්මා ඔයාට කිව්වා මෙහෙම කතාවක්.
‘පුතා මිනිස්සු ගල් ගැහැව්වා කියලා ගහක මල් පිපෙන එක, ගෙඩි හැදෙන එක නවත්වන්නේ නෑ...මල් පූදනවා, ගෙඩි හදනවා..අන්න ඒ වගේ කොපමණ බාධා ආවත් ඒවා නොසැලී ගමන යන්නයි ඕනේ..’
ඇත්ත නේද.
උපාලි බණ්ඩාර වීරසේකර