2022 වසරේ අපේ කාන්තාවන්ට ජපානයේ රැකියා

ජනවාරි 10, 2022

 

වසන්ත සෘතුවේදී ජපානයේ සකුරා මල් පිපී හිනැහෙයි.. රෝස පාට විල්ලුද පළාත් සේ මල් ඇතුරූ පාර දිගේ ඇවිද යන රුවැත්තියක්... කිමෝනාවකින් සැරසී පවන් සලමින් තාලයට පා තබමින් ඇවිද යන්නේ ශාන්ත විලසිනි.

මේ පාර දිගේ ඇවිද යන ඇය සමඟ ජපානයේ ටෝකියෝ නගරයේ වීදි අතර සැරිසරන්නට සිහින මවන අපේ යුවතියන් කොයි තරම්ද? අපේ රටේ තරුණියන් බොහෝදෙනකු සිහින මවන්නේ ඈත මැදපෙරදිග රටක බැලමෙහෙවරකම් කරමින් ලබන කර්කෂ වූ අමිහිරි අත්දැකීමකට වඩා මෙවැනි සුන්දර රටක රැකියාවකට යන්නයි. මේ සිහිනය සැබෑ කර ගැනීමේ ඇති ආසාව නිසාම සමහර යුවතියන් මෙන්ම තරුණයින් වංචාකරුවන්ට හා තැරැව්කරුවන්ට හසු වූ අවස්ථා නිරතුරුවම අපට අසන්න ලැබීම ඉතාම ඛේදජනකයි. එවැනි වංචාකරුවන්ට හා තැරැව්කරුවන්ට ඔවුන් හසුවන්නේ නිවරැදි ආකාරයෙන් විදේශගත නොවීම හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී නිසි පුහුණුවක් නොලැබීම නිසයි.

රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ජපන් රජයත් සමඟ ගිවිසුම්ගතවීමත් සමඟ ශ්‍රී ලංකාවට ජපානයේ රැකියා අවස්ථා වැඩිවී තිබේ. එවන් පසුබිමක 2022 වසරේ අපගේ තරුණ තරුණියන් හට ජපානයේ රැකියා සඳහා වැඩි වැඩියෙන් රැකියා අවස්ථා විවෘතවීම සතුටට කරුණකි.

මේ අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගනිමින් නියම ආකාරයෙන් ජපානයේ රැකියාවක් ලබා ගන්නේ කෙසේද යන්න ගැන අප ඔබව දැනුවත් කරන්නට සිතුවේ ඒ නිසියි. ඒ පිළිබඳව අප විමසීමක් කළේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ බඳවාගැනීමේ අංශයේ සහකාර කළමනාකාරිනි චිත්‍රානි මංගලිකා මහත්මියගෙනි.

ඇය මේ රැකියා අවස්ථාව උදාකර ගන්නා ආකාරය ගැන ඉතාම සරලව අපට පැහැදිලි කළේ මෙලෙසිනි.

“මෙතෙක් කාලයක් අපේ රටට කුසලතා සංවර්ධන සහතිකය හිමිවෙලා තිබුණේ නැහැ. නමුත් දැන් නව වසරේ එම සහතික ලබාදීමට කටයුතු කරන බවට ජපන් රජය සහතික වී තිබෙනවා. එය ලැබීමත් සමඟ අපේ තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා වැඩි ප්‍රමාණයක් හිමි වෙනවා. මේ රැකියා අවස්ථා හිමිකර ගැනීමේ මූලික සුදුසුකමක් ලෙස සලකන්නේ ජපන් භාෂාව කතා කිරීමට හා ලිවීමට හැකිවීමයි. මේ සඳහා අපේ රටේ ජපන් භාෂා ප්‍රවීණතා විභාග දෙකක් පවත්වනවා. JLPL හෝ NAT කියන විභාග දෙකෙන් එක් විභාගයක් N4 මට්ටම සමත්වීම හේ ඊට වඩා ඉහළ සුදුසුකම් තිබේ නම් ජපානයේ රැකියාවක් ලබාගැනීමේ හැකියාව තිබෙනවා. මේ විභාගය පවත්වන්නේ ජපන් රජය විසින්මයි.

මේ NAT විභාගය සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් මාස 04ක පාඨමාලාවක් පවත්වනවා. මේ සඳහා රුපියල් විසි දහසක මුදලක් වාරික 4කින් ගෙවීම සඳහා අවස්ථාව ලබාදී තිබෙනවා. කොයි ආකාරයකින් ජපන් භාෂාව පිළිබඳව පුහුණුව ලැබුවත් අවසානයේ JLPL හෝ NAT කියන විභාග සඳහා පෙනී සිටිය යුතුයි. මේ විභාගය ජපන් භාෂාව පිළිබඳ විභාගයක් නිසා එම භාෂාව ගැන දැනුම තිබිය යුතුයි.

තාක්ෂණික පුහුණු වැඩසටහනක් ලෙස මොවුන් විදේශගත කරන නිසා සමහර ආයතනවල නීති රීති වෙනස් වෙනවා. අප විසින් ක්‍රියාත්මක කරන I'm Japan කියන වැඩසටහනේදී ශරීරයේ පච්චා (Tattoos) තිබේ නම් විදේශගතවීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. සමහර ආයතනවල එවැනි නීති අදාළ වෙන්නේ නැහැ. මේ වැඩසටහන සඳහා ජපන් නියෝජිතයෙක් අපේ රටේ ඉන්නවා. ඔවුන් තමයි විභාග පවත්වා තෝරාගත් පසු පුහුණූව ලබාදී විදේශගත වීමට අවස්ථාව ලබාදෙන්නේ.

මෙහිදී කිසිම අයෙකුගේ බලපෑම මත මේ විභාගය සමත්වෙන්න බැහැ.

නමුත් විභාගය සඳහා පුහුණු කිරීම අපගේ ආයතනයේ වගේම පෞද්ගලික ආයතනයකටත් කරන්න පුළුවන්. භාෂාව ඉගැන්වීම ඕනෑම ආයතනයකට කරන්න අවස්ථාව තිබෙනවා. අප භාෂා පුහුණුව ලබාදුන් පසුව විභාගයට පෙනී සිටීම පෞද්ගලිකව අයදුම්කරුවා විසින් කළ යුතුයි. මෙවැනි රැකියා අවස්ථා සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ විට භාෂා ප්‍රවීණතා ඇති තරුණ තරුණියන්ගේ අඩුවක් තිබෙනවා. එම පරීක්ෂණය සඳහා සූදානම් කිරීම කවුරු හෝ කිරීම ඉතා වටිනා දෙයක්. දැනට අප විදේශ සේවා කාර්යංශය මඟින් පවත්වන භාෂා පුහුණු වැඩසටහන ගැන ඒ සඳහා හොඳම ස්ථානය බවට පසහතික වෙන්න පුළුවන්. ඇත්තටම ජපන් යෑමට කාටහරි ආසාවක් තියෙනවා නම් ජපන් භාෂාව පුහුණුවිම තමයි පළමුවෙන්ම කළ යුත්තේ.

මේ වගේම තාක්ෂණික පුහුණුලාභීන් මඟින් විදේශසේවා තවත් ආයතනයක් තියෙනවා. එයින් ජපානයේ සාත්තු සේවිකා ඇබෑර්තු කාන්තාවන් විශාල ප්‍රමාණයක් පවතිනවා. මේ වැඩසටහනට අමතර කුසලතා ඇති අයට රැකියා අවස්ථා හිමිවන වැඩසටහනක් තිබෙනවා. එහි අංශ 14ක් අතුරින් අංශ දෙකකට ලංකාවේ සේවිකාවන් සඳහා රැකියා අවස්ථා විවෘතවීම විශේෂ අවස්ථාවක්. හෙද සාත්තු සේවය හා ආහාර සේවා කර්මාන්තයට 2022 වසරේ සිට රැකියා අවස්ථා හිමි වෙනවා. කුසලතාවය හා ජපන් භාෂා හැකියාව තියෙන ඕනෑම තරුණ තරුණියකට මේ වැඩසටහන මඟින් විදේශගතවීමේ අවස්ථාව මුල්වරට අපේ රටට ලැබෙනවා.

මේ වනවිට ලංකාවේ කාන්තාවන්ට ඊශ්‍රායල් රටේ රැකියා අවස්ථාවන් හිමි වී තිබෙනවා. නිවාස පාදක සාත්තු සේවා රැකියා අවස්ථාව සඳහා NVQ Level III විභාගය සමත්වීම හෝ වසර දෙකක පළපුරුද්ද ඇති කාන්තාවන් සඳහා අපගේ ආයතනය හරහා විදේශගතවීමටත් අවස්ථාව උදාවී තිබෙනවා. අපගේ මේ සියලු රැකියා තොරතුරු විදේශසේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk කියන වෙබ් අඩවියේ පළකර තිබෙනවා. ඒ ඔස්සේ සියලු තොරුතුරු ඕනෑම කෙනකුට ලබා ගන්න පුළුවන්.

 

තොරතුරු සැපයීම සඳහා දායකත්වය දැක්වූ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය කළමනාකාර

කේ. පී. රාමනායක

මහතාට විශේෂ ස්තුතිය.