තරුණ වෙන්න හරිම යෝගා

අප්‍රේල් 1, 2024

 

සරලව, සුවෙන් සිටීමට කෑම බීම වගේම සරල ව්‍යායාමයක නිරත වීමත් දෛනිකව අවශ්‍ය අංගයකි. ඇවිදීම, පිහිනීම, දිවීම මඟින් වුවද සිරුරේ සෑම මාංශපේශියකටම හොඳින් ව්‍යායාම ලැබේ. සිරුරේ නම්‍යශීලීතාව රැක ගැනීමේ සිට නිරෝගී දිවි පෙවෙතක් දක්වාම සරල ව්‍යායාම වැදගත් වේ.

නමුත් යෝගා කිරීමෙන් කායික සුවතාවක් පමණක් නොව මානසික, අධ්‍යාත්මික සුවතාවක් ද ලබා ගත හැකිය.

නිවෙසේ කටයුතු, ගෙදර දොර කටයුතු, පවුලේ සමාදානය බොහෝ විට රඳා පවතින්නේ කාන්තාව මතයි. එබැවින් කාන්තාවකගේ මානසික සුවය දෛනික ජීවිතයට අතිශයින්ම වැදගත්. මේ නිසයි තරුණී අපි නිරතුරුවම යෝගා ගැන කතාබහ කරන්නේ. අද හඳුන්වා දෙන ආසන ත්‍රිත්වය පුරුදු පුහුණු වීමෙන් ඔබ හිතනවාටත් වඩා මහඟු ප්‍රතිඵල ලබාගත හැකිය. වයස් භේදයකින් තොරව කළ හැකි මේ ව්‍යායාම් ත්‍රිත්වය මුලින්ම යෝගා කරන කෙනකුට නම් තරමක් අපහසු විය හැකියි. එබැවින් දිනපතා පුරුදු පුහුණුවීමෙන් මෙම යෝගාසන පහසුවෙන් කිරීමට හැකිවෙයි.

 

සර්වාංගාසනය

 

පළමු වැනි රූපයෙන් දැක්වෙන්නේ සර්වාංගාසනයයි. සර්වාංගාසනය පහසුවෙන් පුරුදු පුහුණු විය හැකි අතර ඒ සඳහා කැපවීමත් අවශ්‍ය වේ. මෙම ආසනය මඟින් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයටත් හෘදයේ ක්‍රියාකාරීත්වයටත් ගුණ ගෙන දෙයි. විශේෂයෙන් බොහෝ දෙනා පීඩා විඳින නහර ගැටගැසීමත් කාන්තාවන්ගේ ගර්භාශය ආශ්‍රිතව ඇතිවන රෝගවලට ද ඉතාමත් හොඳ විසඳුම් ලබාගත හැකිය. තාරුණ්‍යය රැකදෙන අතර ස්නායු පද්ධතියත් නිරෝගී කරයි. මෙම සර්වාංගාසනයේ අවම වශයෙන් දිනකට විනාඩි 05ක්වත් යෙදිය යුතුය.

 

හලාසනය

 

ඉන්පසු දෙවැනි රූපයේ ආකාරයට හලාසනයට පැමිණිය හැකිය. මෙහි ඡායාරූපයේ දැක්වෙන ඉරියව්වට පැමිණීමට ඔබට කාලයක් ගත විය හැකිය. එහෙත් දෛනිකව පුරුදු පුහුණු වීමෙන් මෙම තත්ත්වය මඟහරවා ගත හැකිය. හලාසනය යනු නඟුලක හැඩය යන්නයි. මෙම ආසනය මඟින් අග්න්‍යාශයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරයි. එමෙන්ම දියවැඩියාව පාලනය කරයි. විශේෂයෙන් තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝගවලින් පීඩා විඳින අයට මෙම ආසනයෙන් ගුණ ගෙන දෙයි.

 

පක්ෂිමොක්සාසනය

තෙවැනි රූපයෙන් දැක්වෙන්නේ පක්ෂිමොක්සාසනයයි. හලාසනයෙන් පසු පක්ෂිමොක්සානය පුරුදු පුහුණු විය යුතුය. එය අපගේ හෘදයට, මොළයට සහ සමට ප්‍රතිකාරයක් වැනිය. ඉහත කතා කළ ඉරියව් තුනම තාරුණ්‍යය රැකදෙන අතර බොහෝ රෝගවලින් ඔබව ආරක්ෂා කරයි. එබැවින් මෙම ආසන තුන කාන්තාවක් නම් අනිවාර්යයෙන්ම පුරුදු පුහුණුවන දෛනික ආසනවලට එකතුකර ගත යුතුමය.

හලාසන සහ පක්ෂිමොක්සාසනයෙන් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරයි. මෙම ආසන ත්‍රිත්වය මාසයක් පුරුදු පුහුණු වීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකිය. මෙම ආසන පුරුදු පුහුණුවන විට එළවළු, පලතුරු, මී කිරි, අලිගැටපේර, සී විටමින් බහුල දෙහි, දොඩම් වැනි පැඟිරි කුලයේ ආහාර ගැනීම වඩාත් සුදුසු ය.

 

එමෙන්ම බොහෝ තරුණ තරුණියන් වයසට වඩා මහලු බවක් පෙන්වන අතර එයට ප්‍රධාන හේතුව වනුයේ හෝර්මෝන පද්ධතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවීමයි. මේ සඳහා සූර්ය නමස්කාරය ද ඔබට උපයෝගිකර ගත හැකියි. ඒ වගේම මේ යෝග ආසන කරනවිට දිනකට අවම වශයෙන් වතුර වීදුරු 6 -12ත් අතර ප්‍රමාණයක් පානය කළ යුතු අතර ය. එමෙන්ම සමේ තරුණබව රැක ගැනීමට කෝමාරිකා ජෙල් ආලේප කිරීමෙන් ද පැහැපත් සමක් ලබා ගත හැකිය. ඊට අමතරව ඔලිව් තෙල්, තල තෙල් සහ පිරිසුදු පොල්තෙල් ආලේප කිරීමෙනුත් දීප්තිමත් සමක් ලබාගත හැකිය.

 

බටහිර රටවල යෝගා රෝග සුවකරන ප්‍රතිකාරයක් ලෙස සලකන්නේ එමඟින් බොහෝ රෝගවලට සුවයක් ලබා දෙන නිසාය. මෙය හොඳින් පුහුණු කිරීමෙන් කායික ලෙඩ රෝග පමණක් නොව මානසික සුවතාවට ද සහනයක් ලබා දෙයි. දිනකට විනාඩි 45ක් පමණවත් මෙම ආසනවල නිරත වන්න. ඔබ දිනකට ආහාර වේල් තුනක් ගන්නේ නම් එය ආහාර වේල් දෙකකට සීමා කරන්න.

 

උපදෙස් -

ආචාර්ය චාමින් වර්ණකුල

සෙත්සඳ යෝග නිකේතනය