විශ්ම විශ්වය

මැයි 27, 2025

 

අරුම පුදුම ප්‍රදර්ශනයක්

 

ඉතාලි ජාතිකයෙකු විසින් "ජීවිතය කෙටියි, එය දියවීමට පෙර භුක්ති විඳින්න" යන මාතෘකාවෙන් යුත් කම්පනසහගත ප්‍රදර්ශනයකින් මිනිසුන් පුදුමයට පත් කළේය. මේ සඳහා ඔහු අයිස් කුට්ටි භාවිත කර ඇත. විචිත්‍රවත් සහ අකාලික ස්වරූපයෙන් නිර්මාණය කරන ලද මූර්ති, පැවැත්මේ අස්ථාවරත්වය සහ සෑම මොහොතකම මිනිසා අගය කිරීමට අවශ්‍ය බව සංකේතවත් කරමින් එය සෙමෙන් දිය වීමට සැලසුම් කර ඇත.

 

මෙම ප්‍රදර්ශනයෙන් ජීවිතයේ අනිත්‍ය බව පමණක් නොව, දේශගුණික විපර්යාසවල බලපෑම පිළිබඳ ද පිළිබිඹුවක් ජනනය කිරීමට උත්සාහ කළ අතර, කාලයත් සමඟ ඝන ලෙස පෙනෙන දෙයක් අතුරුදන් විය හැකි ආකාරය පෙන්වයි.

 

ගල් පිළිම වූ යෝධයින් සත්දෙනා

 

උතුරු රුසියාවේ Komi දිස්ත්‍රික්කයේ උරාල් කඳුවලට බටහිර දෙසින් පිහිටා ඇති පැතලි සානුවක යෝධයින් සත් දෙනෙකු දක්නට ලැබෙයි.The Manpupuner Rock Formations නමින් හැඳින්වෙන මෙම යෝධයින් වන්නේ අන් කිසිවෙකුත් නොව දැවැන්ත ගල් කුලුනු 7කි.

 

මීට අවුරුදු මිලියන 200කට පමණ පෙර මෙම ප්‍රදේශය තිබී ඇත්තේ උස් කන්දක් ලෙසටය. වර්ෂාව, හිම, සුළඟ, තාපය වැනි ස්වාභාවික සාධක නිසා මෙම කන්දේ ඇති දුර්වල පාෂාණ ඛාදනය වීමට පටන් ගෙන ඇත. අවසානයේ ඛාදනය කිරීමට නොහැකි දැඩි පාෂාණ පමණක් මෙලෙස කුලුනු ආකාරයට ඉතිරි වී ඇත.

මෙම කුලුනු හතෙන් එකක් අනෙකුත් කුලුනුවලට වඩා තරමක් දුරින් පිහිටා ඇත. එහි පතුල පටු වන අතර ඉහළ කොටස පළල්ව පිහිටා ඇත්තේ බෝතලයක් උඩු යටිකුරු කර ඇති ආකාරයටය. අනෙක් කුලුනු හයම කඳු මුදුනේ එක් ස්ථානයක පිහිටා ඇත. මේවා සියල්ල මීටර් 30 සිට 42 දක්වා උසකින් යුක්තය.

 

Seven Giants එසේත් නැත්නම් Seven Strong Men යන නමින්ද හැඳින්වෙන මෙම කුලුනු හත සම්බන්ධව අපූරු පුරාවෘත්තයක්ද ඇත. අතීතයේ සිටම මේ ප්‍රදේශයේ ජීවත් වෙන මන්සී ජනයා (Mansi people) විනාශ කිරීමට සයිබීරියාවේ කඳුකර ප්‍රදේශවල සිට යෝධයින් හයදෙනෙකු පැමිණ තිබේ.

 

මන්සී ජනයාගේ ආරක්ෂාවට පැමිණි සුදු මුහුණක් සහිත Yallingner නමැති ඉන්ද්‍රජාලිකයෙකු විසින් මෙම යෝධයින් හයදෙනා පාෂාණ බවට පත් කර ඇත. පසුව ඉන්ද්‍රජාලිකයාද පාෂාණයක් බවට පත් ව ඇත. හුදෙකලාව ඇති කුලුනු ඉන්ද්‍රජාලිකයාගේ බවත් අනෙක් කුලුනු හය යෝධයින්ගේ බවත් මෙම පුරාවෘත්තයෙන් පැවසේ. රුසියාවේ පුදුම හතෙන් එකක් ලෙසද සැලකෙන The Manpupuner Rock Formations රුසියානුවන්ගේ අභිමානය දිනා ගත් මනරම් ස්ථානයකි.

 

ඇලවුණු තුඩුවේ ඇඹරුණු ගස්

 

අප නවීන තාක්ෂණයෙන් කොතරම් සන්නද්ධ වී සිටියත් සොබාදම් මාතාවගේ අණසකට නතුවූ ප්‍රදේශ ලොව ඕනෑතරම් දැකිය හැකිය. එවැනි එක් ස්ථානයකි නවසීලන්තයේ දකුණු දූපතේ දක්නට ලැබෙන Slope point.

 

සමකයේ සිට කිලෝමීටර් 5,100 දකුණින් ද දක්ෂිණ ධ්‍රැවයේ සිට කිලෝමීටර් 4,800ක් උතුරින් ද පිහිටා ඇති මෙම ප්‍රදේශය වර්ෂය පුරාම නිරාවරණය වන්නේ දක්ෂිණ ධ්‍රැවයේ සිට හිමායන ප්‍රබල සුළං ධාරා සහිත කටුක දේශගුණික තත්ත්වයන්ටය.

 

එම නිසා මෙම ප්‍රදේශය පුරා දක්නට ලැබෙන ගස් ඇඹරී ඇදවී ගොස් ඇත්තේ පරිසරයට අසාමාන්‍ය සුන්දරත්වයක් ද එක් කරමිනි.

 

 

මිනිසුන්ට තහනම් සර්ප දිවයින

සොබාදම් අසිරියෙන් පිරිපුන් දූපතක් තමයි අත්ලාන්තික් සාගරයේ ilha da queimada කියන්නේ. හැබැයි මෙච්චර ලස්සන මේ දූපත මිනිසුන්ට අඩිය තියන්නවත් තහනම් කලාපයක් කිවුවොත් නිවැරැදියි.

 

බ්‍රසීලයේ සාඕ පාවුලෝ නගරයේ ඉඳලා සැතපුම් 93ක් දුරින් පිහිටා තියෙන මේ දූපත ප්‍රමාණයෙන් අක්කර 106ක්. ගිරි කුළු පර්වතවලින් වැසී ගිය මේ මනස්කාන්ත දූපතේ රජ කරන්නේ Golden Lancehead pit vipers නමින් හඳුන්වන විස සහිත පොළඟුන් විශේෂයක්. මෙම පොළඟුන් 2000 - 4000 අතර ප්‍රමාණයක් මෙහි වාසය කරන බවයි වාර්තා වෙන්නේ. ඒ හින්දමයි මේ දූපත මිනිසුන්ට තහනම් කලාපයක් විදිහට නම් කරලා තියෙන්නෙත්. මේ දූපතට යනවා නම් යන්න වෙන්නේ බ්‍රසීල රජයේ විශේෂ අවසරයක් ඇතිවයි.

මේ දූපතේ මෙතරම් පොළඟුන් සිටීම ගැන විවිධ මත තිබෙනවා. එක මතයකින් කියවෙන්නේ මීට වසර 11,000කට ඉස්සර මේ දූපත දකුණු අ‍ෙමරිකා මහද්වීපයත් එක්කයි සම්බන්ධ වී තිබිලා තියෙන්නේ. මුහුදේ ජල මට්ටම වැඩි වෙන්න පටන් ගන්න කොට මේ පොළඟුන් මේ දූපතේ හිර වෙලා තියෙනවා. පස්සේ මේ පොළඟුන් ගහනය වැඩි වෙලා ඔවුන්ගෙ පාරාදීසයක් බවට පත්වෙලා තියෙනවා.

 

නමුත් ස්වදේශික බ්‍රසීල ජාතිකයින් නම් කියන්නේ වෙනස්ම කතාවක්. ඔවුන් විශ්වාස කරනවා මේ දූපතට පොළඟුන් ගේන්න ඇත්තේ මුහුදු කොල්ලකරුවන් විසින් කියලා. කොල්ල කන ලද රත්රන් මේ දූපතේ සඟවා තැබූ බවත් ඒවා ආරක්ෂා කිරීමට පොළඟුන් යොදාගත් බවත් ඔවුන් කියනවා.