‘සෙනෙහසින් අපි’ වෙතින් අපේක්ෂා රෝහලට පරිත්‍යාගයක්

ජුනි 13, 2022

 

‘සෙනෙහසින් අපි' යනු ලෝකේ රටවල් කිහිපයක ජීවත්වන, අනුන් දුක තමන්ගේ කරගන්න මහන්සියෙන් හම්බකරගන්න දෙයින් පුංචි කොටසක් උපන් රටේ අය වෙනුවෙන් වෙන් කරන ආදරණීය හිත් ඇති කාන්තාවන්ගේ එකතුවකි. ඉතාලියේ පදිංචි ජනනී ගුරුසිංහ නම් ආදරණීය හිතැත්තිය විසින් ආරම්භ කළ මේ සමූහය ක්‍රියාත්මක වන්නේ ෆේස්බුක් එකතුවක් ලෙසිනි. ෆේස්බුක් එකේ වෛරය, ක්‍රෝධය වපුරන අය අතර මේ කාන්තා එකතුව සියලු කාන්තාවන් ට ආදර්ශයකි. ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, අමෙරිකාව, එංගලන්තය, ඩුබායි, කටාර්, සෞදි අරාබිය, ඕමාන් වගේම ලංකාවේ වෙසෙන කාන්තාවන් ද මේ සමූහයේ හිඳිති.

අවුරුදු හතක් තිස්සේ නොයෙකුත් ව්‍යසන හමුවේ ගංවතුර, කඳු නායයාම්, කෝවිඩ් වසංගතය වගේම දුෂ්කර පාසල්වල දරු දැරියන්ට, රෝහල්වලට, වැඩිහිටි නිවාස, ළමා නිවාස සහ අසනීපයෙන් පෙළෙන අයට වගේම අසරණ පවුල් දහස් ගණනකට ඔවුන් පිහිට වී ඇත. මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ ඉතාලියේ වෙසෙන ජනනී ගුරුසිංහ ඒ පිළිබඳ මෙලෙස අදහස් පළ කළේය.

“අපේ රටේ කාලෙන් කාලෙට එන ව්‍යසන, කරදරවල දී විදේශගතව හිඳින අපි එකාමෙන් එකතු වුණා. අපිට හැකි පමණ උදව් කළා. මේ අවස්ථාව ඊට වඩා වෙනස්, බෙහෙත් හිඟයක් නැති බවට සැලවුණා. විශේෂයෙන් අපේක්ෂා රෝහලේ ඇති වී තිබෙන තත්ත්වය. මේ ඖෂධ හිඟය කන වැකුණු සැණින් අප කල්පනා කළේ ඖෂධ මෙරටින් අරන් යවන්නයි. ඒත් එය හිතන තරම් ලේසි නෑ. ඒ වෙනුවෙන් තියෙන නීති රෙගුලාසි, අවශ්‍ය කරන ලියකියවිලි වගේම ඉල්ලීම් ඇතුළත් ලිපි, හිඟ බෙහෙත් දන්වා තිබෙන ලැයිස්තු අදාළ සෞඛ්‍ය ආයතනවලින් ලබාගත යුතුයි. ඒ හරහා කරන ඉල්ලීමක් වෙතොත් අපිට මේ රටවලින් ඖෂධ යැවිය හැකි බව අප දැනුවත් වුණා. ඒ නිසා අපි ලංකාවෙන් ම මිලදී ගත හැකි අවශ්‍ය ඖෂධ සොයා බලා අත්‍යවශ්‍යම කියූ ඉන්ජෙක්ෂන් වර්ග කිහිපයකින් 3279 ක් අපේක්ෂා රෝහලට පරිත්‍යාග කළා. මෙය අපට සතුටක්. ලොව පුරා විසිරී හිඳින ලාංකේය ඔබටත් අපේ රට වෙනුවෙන් මෙවැනි දේ කළ හැකියි.

එම පරිත්‍යාගය සිදු කළ අවස්ථාවේ ඡායාරූප කිහිපයකි මේ.