ඉන්දියාවේ දී මලල ක්‍රීඩා පිටිය දිග්විජය කළ අපේ කෙල්ලෝ

කාන්තා සහය දිවීමේ කණ්ඩායම ගැන නැවුම් බලාපොරොත්තුවක්...
ජුනි 20, 2022

 

අපේ ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු වන්නේ ජයග්‍රහණයයි. ඔවුන්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගැටලු හා දුර්වලතාවන් අදාළ නොවෙයි. පසුගිය කාලය පුරාම මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ සිදු වූයේ ද එවැන්නකි. විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩා තරග පරාජයන් හමුවේ ක්‍රීඩා ලෝලීන් අපේක්ෂා හා බලාපොරොත්තු අතහැර දමා තිබුණි. නමුත් පසුගිය සතියේ අපගේ ක්‍රීඩා පිටිය තුළ නැවත පිබිදීමක් දකින්නට ලැබුණේ ක්‍රිකට් ක්‍රීඩා පිටියේ හා මලල ක්‍රීඩා පිටියේ ජයග්‍රහණ රැසකට හිමිකම් කියමිනි.

 

ඒ අතුරින් අපට විශාල අභිමානයක් ගෙනා ජයග්‍රහණය වූයේ ඉන්දීය ජාතික මලල ක්‍රීඩා සම්මේලනය විසින් සංවිධානය කළ අන්තර් ජාතික ප්‍රාන්ත ශූරතා ජවන හා පිටිය මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණ කිහිපයක් දිනා ගැනීමට හැකි වීමයි. ඒ අතුරින් කැපී පෙනෙන ජයග්‍රහණය වූයේ මීටර් 100 සහය දිවීමේ කාන්තා තරගයෙන් දෙවැනි ස්ථානය දිනා ගැනීමයි.

අමාෂා ද සිල්වා, ෂෙලින්ඩා ජැන්සන්, මේධානි ජයමාන්න සහ ලක්ෂිකා සුගන්ධි යන ශ්‍රී ලංකා කණ්ඩායම තත්පර 45.35කින් තරගය නිමා කරමින් මීටර් 100 සහය දිවීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත්හ. ඉන්දීය කණ්ඩායම තත්පර 43.95කින් තරගය නිමා කර රන් පදක්කම දිනාගත් අතර තෙවැනි ස්ථානය ඉන්දියාවේ කේරළ ප්‍රාන්ත කණ්ඩායමට හිමිවිය.

61 වැනි වරට සංවිධානය කළ මේ තරග මාලාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 11 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වූ අතර දින හතරක් පුරා තරග රැසක් පවත්වන ලදී. ජූනි මස 10 වැනිදා සිට 14 වැනිදා දක්වා තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නුවර කේන්ද්‍ර කර ගනිමින් පැවැති මේ තරගමාලාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායම තම හැකියාව උපරිමයෙන් පෙන්වමින් ක්‍රීඩා පිටිය තුළ කැපී පෙනෙන ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.

මේ තරග මාලාවේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ පිරිමි සහාය දිවීමේ කණ්ඩායම ද රිදී පදක්කම දිනා ගත් අතර තරග මාලාව ජූනි මස 14 වැනිදා අවසන් විය. මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එස්. අරුණ දර්ශන, ආර්.පී. ඉසුරු ලක්ෂාන්, කෞෂික පබසර, දිනුක දේශාන්, රජිත නෙරන්ජන් රාජකරුණා, චමල් කුමාරසිරි, තනුජී අමාෂා ද සිල්වා, ඉරේෂා මේධානි ජයමාන්න, රුක්ෂානි ශෙලින්ඩා ජැක්සන්, ලක්ෂිකා සුගන්දි සහ රුමේෂිකා කුමාරි රත්නායක යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූහ. අසංක හේමන්ත බණ්ඩාර රාජකරුණා සහ ජයමිණී සංජීව වීරක්කොඩි දෙදෙනා පුහුණුකරුවෝ ලෙස සහභාගි විය. ශ්‍රී ලංකා කණ්ඩයම ලැබූ මේ ජයග්‍රහණය පිළිබඳ තරුණී හදපිරි සුබ පැතුම් පිරිනමන අතර මලල ක්‍රීඩා පිටිය තුළ නැවතත් නැවුම් බලාපොරොත්තු දල්වා බලා සිටින්නට අපට අවස්ථාව උදා වී තිබේ.