වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
මොකක්ද මේ රට පැටලිල්ල

2016 මැයි 13 බ්රහස්පතින්දා
අම්මට සනීප නෑ කියලා ඊයේ රෑ හදිස්සියෙම ලොක්කගෙ වයිෆ් ගමේ ගිහින්ලු. අම්මට සනීප නැතුව ගියා ද ලොක්කගෙ කොටු පැනිල්ලක් මාට්ටු වෙලා ගියා ද කියලා කවුද දන්නෙ. අද දවසම ලොක්කගෙ ගෙරවිල්ල ඉවරයක් නෑ. අපි මොන වැඩේ කරත් වැරදිමයි පේන්නෙ. ඇයි අනේ එයාගෙ ගෑනි ගමේ ගියාට අපි පළි ද ? ගෙරවිල්ලෙ හැටියට නම් වයිෆ් ගමේ ගියේ අම්මට අසනීප හින්ද වෙන්ඩ බෑ. ආයි දෙකක් නෑ මොකක් හරි ගිනි විජ්ජුම්බරයක් වෙලා තියෙනවා. " අම්මට අසනීප නම් ඔය රෑ තිස්සෙ වයිෆ් විතරක් තනියෙන් යවයියෑ. දෙන්නම යන්ඩෙපෑ එහෙනම්. ඊටත් ඉතින් මේ අපිට වාගෙ ලොක්කට ඕවට නිවාඩු ගන්ඩ ඕනැ කියලයෑ. බොරු සයිට් විසිට් දාගෙන ඔයිට වඩා ගමන් කොච්චර නම් යනව ද? දෙකක් නෑ ඕක බොරුවක්. " විමලයත් එහෙම හිතුව කියන්නෙ ඒක තමා ඇත්ත. ඇයි ඉතින් විමලෙයගෙ ඇඟ පුරාම මොළේනෙ. ඕනෙ රට පැටලිල්ලක් සුටුස් ගාලා ලිහන්ඩ ජගතනෙ. කොහොමින් කොහොම හරි අද ඔෆිස් එකේ උඩැච්චියො ටික නම් වෙනදා වගේ ලොක්කගෙ කාමරේ ටැග් ගැහෙන්ඩ ගියෙ නෑ. මොකක් හරි ලොකු රට පැටලිල්ලක් තියෙනවා කියන්ඩ ඒකත් සුළුපටු සාක්කියක් නෙමෙයි ඉතින්. මට වැඩියෙම්ම සැක හිතුණේ මෙලෝ සිහියක් නැතුව ලොක්කා හෑන්ඩ් ෆෝන් එක ඔබා ඔබා ඉන්නෙකටයි. මොන මොන නෙයියාඩගම් නැටුවත් වෙනදට ලොක්කා ඔහොම ෆෝන් එකේ ඔළුව ගහන් ඉන්නෑනෙ. කොහෙද ඉතින් කරුමෙට සිරිලා නිවාඩුනෙ. නැතිනම් ඒ ටු ඉසෙඩ් කතන්දරේ මෙලහට පත්තරේත් වැටිලා.
2016 මැයි 21 සිකුරාදා
වයිෆ් ගමේ ගිහින් හින්දා ලොක්කට හරියකට කන්ඩ නෑ කියල ඔෆිස් එකේ ගෑනු රොත්ත ඒ පාර ලොක්කට කෑම කවන්ඩ පොරකැවිල්ල. ඛේමා තමා කට්ටියට කෑම වේල් බෙදලා දෙන්නෙ. පන්සලේ දං තුණ්ඩු බෙදිල්ල පරාදයි ඛේමගෙ කෑම තුණ්ඩු බෙදිල්ලට. වැඩේ කියන්නෙ වෙනදට පරිප්පුයි, බතුයි උයන්ඩත් කම්මැලි ගෑනුනෙ දැන් මඟුල් ගේකට වගේ උයන් ඇවිත් ලොක්කට කවන්නෙ. පොඩි එකාට එම්.ආර්.අයි එකක් කරන්ඩ සල්ලි නෑ කියලා මාලනි කොච්චර නම් අඬෝවැඩියා කියල කියා ද හිටියෙ. ඒකට මොකද ගෑනි අද ලොක්කට ගෙනාපු දවල් කෑම එකේ බත්වලට වඩා තිබුණෙ බැදපු ඉස්සොයි, එළු මසුයි, කජුයි කියලා කට්ටිය කිව්වෙ. ලොක්කට බඩගින්න නිවාගන්ඩ කන්ඩ දෙනවට වඩා දැන් මෙතැන තියෙන්නෙ ලකුණු දාගන්ඩ දැඟලිල්ලක්. " ඊයෙ සමන්ති ගෙනාපු බත් එකේ මොනවද දන්නෑ තිබුණෙ. ? "
" කොහොම දැනගන්ඩ ද ? සමන්තිගෙන් අහන්ඩයෑ. ලොක්ක ඉඳහිටලවත් කෑමට හවුල් කර ගන්නෙ සිරිතුංගය විතරනෙ. ඕකට ඉතින් කාපු බීපු දෙයක් මතක තිබුණොත් ඉර පායයි අනික් පැත්තෙන්. "
" අර ඩිල්ෂාණිත් දවසක් කෑම ගෙනාව නේද ? එයා මොනවද දන්නෑ ගෙනාවෙ නේද ? "
" බුරියානි…" " මොකක්... බුරියානි…?"
" ඔව් ඇයි…? "
" නෑ ඉතින් අපි නම් බුරියානි කන්නෙ ඉඳහිටලා හෝටලේකට ගියාම විතරයිනෙ." කාට කාටත් ඕනෑ අනික් අයට වඩා වැඩිපුර ලූනු ගෙඩියක් හරි ලොක්කට කවල වැඩිපුර ලකුණක් දාගන්ඩ මිසක් ලොක්කගේ බඩගින්න නිවන්ඩ නෙමේ. හවස අපි ඔක්කොමලා ඕෆ් වෙලා යද්දීත් ලොක්කයි, ඛේමයි විතරක් හොරගල් අහුල අහුල හිටිය එක ගැන විස්තරේ පස්සෙ දවසකවත් හොයන්ඩ කියල සිරිලට කියන්ඩෝනෑ. ආයි දෙකක් නෑ ඕකෙත් මල් හතේ ඇඩල්ස් ඔන්ලි කතාවක් ඇති. ඇත්තමයි මේ සිරිලත් නිවාඩු යන්නෙ
හොඳම දවස්වලටමනෙ.