පොසොන් උදානය

කෙටි කතාව - 1 කොටස
ජුනි 9, 2025

 

පොළොව මත විසිරුණු අඹ මල් හාත්පස සුවඳවත් කරයි. දහම් අමාව කුල්මත් වූ අතීතයේ සුළඟ ඒ සියල්ල ආවර්ජනය කරමින් සන්සුන්ව හමායයි. දෙපස අරලියා වැටිය මැදින් දිවෙන ගල්පඩි කඳු ඉස්මත්ත තෙක් එක යායට දිස්වෙයි. කඳු නඟින බසින උන්ගේ දහසකුත් එකක් දුක්ඛ දෝමනස්සයන් මැදහත් සිතින් දරාගනිමින් අම්බස්ථල සෑරදුන් අහස දෙසට හිඳී. කඳු මුදුනේ පිහිටි මහා සෑයත්, නෙත් පේසා වළලු හා දැනට ශේෂව පවතින නටබුන් කොටස් දරාහුන් කණ්ටක චේතියද වන්දනාකරුවන් දෙසම මහා කරුණාවෙන් යුතුව බලා හිඳියි. නටුවෙන් ගිලිහී අරලියා මල් එකිනෙකාගේ දෙපයට පෑගී තැළී පොඩි වී ගල්පඩි මත තැනින් තැන අඳෝනා නඟන විලාශසයකි.

ආමිසය ද නිරාමිසයද අතර දෝලනය වන සියලු ක්‍රියාකාරකම් දෙස මෙතෙක් වේලා මැදිහත්ව බලා හුන් හිරු මොහොතකට තිගැස්සී නේක වර්ණයෙන් අහස් ගැබ සරසා අවරගිර වලා අතරේ සැඟවිණ. ඒ අතර දෑසින් රූ පෙරා තම වාරය පැමිණෙන තුරු නොඉවසිලිමත්ව බලාහුන් ඈ සඳවතියයි. අද අමුතුම රැයකි. මෙතෙක් ලොවට පෑයූ සියලු සඳ එළි පරදවා පුහුදුන් දනන් නෙත් අතරින් උන් සිත් විනිවිද දකිමි. අවිදු අඳුරට දිව්‍යමය එළියක් වෙමි. මෙතෙක් පහළ වූ සියලු බුදුවරුන් දුටු අලාමක ගැහැනියක සේ අවුළුවන පදරුත් මත පිහිටා මේ පින්බර රාත්‍රිය තුළ මා නොදකින්න. මෙත් මුදිතා කරුණා දහරේ කිමිදෙනු රිසි මා දකිත්වා. මගේ සිසිලස විඳ නිවී සැනසෙත්වා.

ඇගේ උදම් ඇනීම හමුවේ මන්දාකිණි තරු පොකුරු ද සිය දිව්‍යමය නිද්‍රාවෙන් අවදිව හාත්පස නෙත් හෙළයි. අදහාගත නුහුණු අසිරිමත් චන්ද්‍ර යාමයකි. දහස් සංඛ්‍යාත අජීවී ගල්පඩි ද බැතිමතුන් පා පහසින් සුමට වන්නට මේ සඳ පහන් රැයේ අහසට නෙත් යොමා බලා හිඳියි. උඩමළුව දෙසින් එන සාදු නද අකනිටා බඹලොව තෙක් විහිද යයි. දෙව් බඹුනගේ සාදු නද ආකාස පබ්බත වනභූමි ඇසුරු කොට හිඳින්නා වූ සුරන් හට මිස පුහුදුන් මිනිසුන්ට නොඇසේ. විටින් විට ඇසෙන ඝණ්ටා හඬින් බියට පත් එක් මොනරාන කෙනෙකුන් වසා හුන් අරලියා ගස අතැර අත්තටු මතට බර ගෙන වන ඉස්මත්තට පියාඹන අයුරු සඳ එළියට පෙනෙයි.

සිදුවන සියල්ල සයේන්ද්‍රියන් වෙතින් දකිමින්, අසමින්, සිතමින් ක්ෂණ නියාමයට අනුගතව ඕ සන්ධ්‍යා භාගයේ අග කඳු තරණය ඇරඹීය. බොලට තෙක් වූ කෙටි ඇඳුම සුළං කෝඩය හෙයින් ඉහළ යද්දී එය විටින් විට පහළට අදිමින් ඇය වනවිට උඩමළුව තෙක් පැමිණ ඇත. විජ්ජුලතාවෝ තැන තැන දුව පැන ඇවිදී. යකඩ කට මතුරන තුන් සුතුර අබිබවා ජනී ජන ඝෝෂාය. මල් සුවඳ, සිල් සුවඳ අසරණව හිඳින ලීලාය. ඇය පුදබිම ඔස්සේ ඈතින් ඈතට ගමන් කළාය. මහ සෑයත්, මිහිඳු ගුහාවත් අතරින් දිවෙන කුඩා ගුරුපාර සඳ එළියේ බැබළිණ. එමඟින් යාමයේ පිළිවෙතක් කරා ළඟා විය හැකි බව ඇයට නිසැකය. ඒ මොහොත විඳිමින් කාලය හා අවකාශය ඔස්සේ ගමන් කරද්දී හමු වූ එක්තරා ක්ෂේම භූමියක් තුළ ඈ ඉසිඹුලෑය. එතැන පිහිටි කළුගලක් මතින් පැන නැඟි බෝධි අංකුරය සඳ දියෙන් තෙත මාත්තු වී තිබිණ. ළා දලු බෝපත් අතින් පිරිමැද බලන අතරේ වනය දෙසින් ආ සර සර හඬකි.

මුව රළ තමා දෙසට නෙත්දී හිඳිනු පෙනේ. උන්ගේ දෑස් රෑ අඳුරේ මිණිකැට සේ දිලිසිණ. නිරාවරණය වූ උඩුකයෙන් හෙබි ආරෝහ පරිණාහ දේහධාරී පුද්ගලයා දිගු රැවුලකින් යුත් හිස් පලඳනාවක් පැලඳි ප්‍රතාපවත් අයෙකි. ඔහු ධනුර්ධව හුන්නේය. එසැණින් ම ඒ දුටු මුව රළ සීසීකඩව වන ඉස්මත්තට පලා යන්නට වූහ. එකකු පමණක් අඳුරේම පොළොව උළා කමින් සිටියේය. අනුභවය අවසන් වන තුරු හේ නොඉවසිල්ලෙන් බලාහුණි. ඒ අතර ආරාධනා ගල දෙසින් ආ ශාන්ත සුන්දර කටහඬකි.
"තිස්ස . . . තිස්ස . . ."

ධනුර්ධවයා අත වූ දුනු හී නටුවෙන් ගිලිහී මල් සේ එසැණින් බිම හෙළිණ.

මෙ පුර නිරිඳුන් හට නමින් ආමන්ත්‍රණය කිරීමට තරම් වූ බලවත්හු නම් කවරහු ද? . . . . හෙතෙම සිතීය.

සඳ අහසේ මධ්‍ය ලක්ෂ්‍යය වී සියල්ල බලා හිඳියි. වනයේ සියලු අඹ රුක් නව පණ ලද්දාක් මෙන් අතු ඉති සොල්වා සලිත වේ. ශාන්ත සුන්දර හඬ යළි ඇසේ.

"රජුනි මේ ගස කුමක්ද?"

"ස්වාමීනි, ඒ නම් අඹ ගසක්"
"මේ අඹ ගස හැරෙන්නට තවත් අඹ ගස් තිබේද?"

"එසේය ස්වාමීනි,"
"මේ අඹ ගසත්. ඒ අඹ ගසත් හැරෙන්නට තවත් අඹ ගස් තිබේද?"
"එසේය ස්වාමීනි,"
" ඒ සියලු අඹ ගස් හැරෙන්නට තවත් ගස් තිබේද?"
"තව බොහෝ ගස් තිබේ ස්වාමීනි,"
බුද්ධි පරීක්ෂණය එතනින් අවසන්ය.
"සමනා මයං මහා රාජ" ධම්ම රාජස්ස ශ්‍රාවකෝ . . . .

ගාථා පාඨය වනාන්තරය පුරා ඒකනින්නාද වේ. ඇතෙකුගේ පාදයක් මූලික කොටගත් දහම් දෙසුම රජු කඳු පාමුල හිඳ අසා සිටී. ඒ අතර රජුන් පිරිවරද, ශ්‍රමණයන් පිරිසක්ද, සාමණේර හිමියකුද, උපාසකයකුද ජීවමාන වේ.

සාදු . . . සාදු . . . සාදු . . .

‌ සියල්ල එසැණින් අතුරුදන් වේ. කාලය අවකාශය හා සඳ එළිය විසින් තමා අඥාත ලොවකට කැඳවා ගිය බවක් ඇයට දැනිණ. ඒ තුළින් ලත් ආනන්දයෙන් ප්‍රඥාව ලැබීය. ප්‍රඥාවෙන් ලත් මොහොතක විකසිතභාවය තමා තුළ රඳවා ගැනීමේ මඟක් ගැන සිතන අතරේ ගමන් මල්ල තුළින් දුරකතනය නද දිණි.

"හුදෙකලා වී නුඹ කොහිද?"
"මම මෙතැන"

"ඔවැනි තැන් තවත් වෙද?"

" බොහෝමැයි."

"ඔබ හිඳින තැන ද තවත් තැන් ද හැරුණු විට තවත් තැන් පවතීද?"

"ඒ සියල්ලට අමතරව තවත් තැන් බොහෝය."

"පැන විසඳුම අවසන්ය. නුඹ මගේම කරගැනීමට සිතා මම නුඹට දම් දෙසමි."

ඇය වහා දුරකතනය විසන්ධි කළාය. ඇය ඒ දෙස බලාහුන් අතරේ සඳ බිඹුවේ සේවනලුව ඒ මත පතිත විය. දුරකතනය යළි නාද වේ. ඒ ගමේ පන්සලෙනි.

"ස්වාමීන් වහන්ස . . . මම පුදබිමක."

"පුදුමයි. සුදු අඳින, මල් පුදන චරිතයක් නෙවෙයිනේ. ඒත් . . . තැනුවා නම් තම සිත තැනුවාමය. . . "

දුරකතන පණිවිඩය එපමණකි.

කල්ප කාලයක් එක් අංශු මාත්‍රයකදී ලත් ඒ නිරාමිස සුඛය කොයි අතදැ'යි ඇය හිස කඳ ඒ මේ අත යවා විමසා බැලීය. භෞතික සියල්ල තිබූ තැන්හිම පැවතුණු අතර, සෙවූ නිරාමිසය එතැන්හි නොවීය. ඇගේ සිත සංඛාවෙන් පිරිණ. ජාගර සිතුම් නොනවත්වා ගලා එන්නට විය. ඒ වන විට සඳවතිය තමා හුන් තැනට අතේ දුරින් පිහිටි කොසඹ රුක තෙක් පැමිණ හුන්නේය. ඇය සඳවතියට ඇසෙන සේ සිතින් යමක් මිමිණීය.

ජීවිතයේ ඛේදවාචකය ගයන්නවුන් අතරේ කල් මැරුවා හොඳටම ඇති. මොහොතකට මටදී යළිත් මගෙන් උදුරා ගත් ඒ නිවීම කොහිද? අනේ මා නැවත ගොස් එතැනට ඇරලවන්න.

සඳවතිය මේ මොහොතේ ඇගේ සිත කියවමින් හුන්නාය. අවිඥානය තුළින් හෙළිදරව් වන බොහෝ දේ වෙනුවට විඥානය තුළින් හෙළිදරව් වන යමක් මේ මොහොතේ ඇගේ දෑස් සිදුරෙහි විද්‍යමාන විය.

තැනක දැල්වෙන එකම එක තෙල් පහනකි. ඇය ඇසිපිය නොහෙළා ඒ දෙස බලාහුණි. පසුව උකටලී විය.

නිවීම කොහිද? ඒ දුටුවෝ කවරහුද? කඳු තරණය කොට ආ ගමන කොයිබටද? ඈ සිත් මොඳුරින් වැසී යයි. ඒ සඳ සඳවතිය වලාවක මුවා විණ. ඝනඳුර හාත්පස රජ විය. ඈ මුවැත්තියක සේ බිය විය. තෙල් පහන දැල්විණ. අදිසි සුළඟක් විත් මොහොතින් එය නිවා දමයි. සඳවතිය ඈ ඉදිරියේ දිවමන් විය. අනතුරුව ඈ ප්‍රශ්න කළාය.

"නිවී ගිය තෙල් පහනේ එළිය කොයි අතද?"

"නොදනිමි."

"නිවනද එසේමය."

"දනිමි. හැඳිනිමි. සිතද නිවුනේමැයි"

ඇය මිස්සක පව්ව දෙසට දෑත් දොහොත් කරන අතරේ, පොසොන් සඳ උදාන වැකියක් ගයද්දී සිහින් සිරි පුද වැස්සකින් පොළෝ ගැබ තෙත් විණ.