කිරි සුවඳ කම්කරු සේවයට එරෙහිවන දිනය - ජූනි 12

ජුනි 23, 2025

 

2025 වර්ෂයේ ළමා කම්කරු සේවයට එරෙහි වීමේ දිනය සඳහා ගෝලීය තේමාව බවට පත් වී ඇත්තේ “ප්‍රගතිය පැහැදිලියි; නමුත් කළ යුතු බොහෝ දේ ඇත, උත්සාහය වේගවත් කරමු !”යන්නයි.

 

18 වැනි සියවසේ අග භාගයේ හා 19 වැනි සියවසේ මුල් භාගයේ දී යුරෝපයේ හා අමෙරිකා එක්සත් ජනපදයේ ඇති වූ කාර්මික විප්ලවයේදී ළමයින් කර්මාන්තශාලාවල වැඩ කටයුතු සඳහා යොදා ගැනීම තුළින් ඔවුන්ගේ ශ්‍රමය සූරාකෑම බහුලව දක්නට ලැබිණි. ළමයින් සේවයේ යෙදවීමෙන් හාම්පුතුන්ට ලැබුණු වාසි බොහෝ ය. ඔවුන් අඩු වේතනයට වැඩි පැය ගණනක් සේවයේ යෙදවිය හැකි විය. ගල් අඟුරු ආකරවල දෝනා තුළින් සිහින් සිරුරින් යුතු ළමයින් පහසුවෙන් ගමනේ යෙදවිය හැකි විය. විශේෂයෙන්ම ඔවුන්ට තමන් වෙනුවෙන් හඬක් නැඟීමට නොහැකි වීම ප්‍රබල වාසියකි.

ළමයින් වෙනුවෙන් ලෝකයක් එක්සත් වීමට දීර්ඝ කාලයක් බලා සිටීමට සිදු විය. පළමු හා දෙවැනි ලෝක යුද සමයන්හිදී දරුවන් දරුණු ලෙස සුරාකෑම් වලට, අයිතිවාසිකම් උල්ලංඝනය කිරිම්වලට, වධ බන්ධනයන්ට හා වෙනස් කොට සැලකීම්වලට ලක් විය.

 

දරුවන් සමූහ වශයෙන් මරණයට පත්වීම හා අනාථභාවයට පත්වීම යුද්ධයට මැදිහත් වූ රටවලින් වැඩි වශයෙන් වාර්තා විය. මෙම තත්ත්වය දුටු එංගල්ටයින් ජෙබ්ස් නමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව Save the Children නමින් ළමයින් වෙනුවෙන් ලෝකයේ බිහි වූ පළමු සංවිධානය 1924 වර්ෂයේ දී පිහිටුවන ලදි. කෙසේ වුවද , 1959 වර්ෂයේ නොවැම්බර් 20 වැනි දින එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනය එළිදැක්වුණ නමුත් ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය බලාත්මකවීම සිදු වූයේ 1990 සැප්තැම්බර් මස සිටය.

 

ශ්‍රී ලංකාව ද මෙම වර්ෂයේ ළමා කම්කරු සේවයට එරෙහි වීමේ දිනය සැමරීම නිමිත්තෙන් ඉතා වැදගත් ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට තීරණය කර ඇත.ඒ අනුව ජුලි මස 1 වැනි දින සිට ළමයින් වීදිවල සිඟමනේ යැවීම, භාණ්ඩ අලෙවියේ යෙදවීම, ජංගම වෙ‍ෙළඳාම් කටයුතු සඳහා දරුවන් යෙදවීම, එමෙන්ම ගෘහස්ත සේවය හා අන්තරාකායික රැකියාවල යෙදවීම අවසන් කිරීම සම්බන්ධයෙන් හා සියලුම හිංසනයෙන්, ප්‍රචණ්ඩත්වයෙන් කුඩා ළමයින් වළක්වා ගැනීම සම්බන්ධව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය කැබිනට් පත්‍රිකාවක් සූදානම් කොට ඇති බව වාර්තා වේ.

 

මේ සඳහා යන්ත්‍රණයක් ප්‍රතිෂ්ඨාපනය කර ඇති බව ද වාර්තා වේ. එයට හේතුව වී ඇත්තේ ප්‍රමාණවත් තරම් නීති තිබුණ ද ප්‍රායෝගිකව එම නීති ක්‍රියාත්මක කිරිමට යන්ත්‍රණය ප්‍රමාණවත් තරම් ශක්තිමත් නොවීමය. එම යන්ත්‍රණයේම තවත් පියවරක් ලෙස අවුරුදු 16 දක්වා දරුවන් අනිවාර්යයෙන් අධ්‍යාපනය ලැබිය යුතු වයස් සීමාව ලෙස පත් කර ඇති බව ද වාර්තා වේ. මෙම වෙනස්කම් ලංකාවේ දරුවන්ගේ අයිතිවාසිකම් අරක්ෂා කිරීම සම්බන්ධව රජය විසින් මෑතකදී ගන්නා ලද ඉතා සාධනීය පියවරයන් ලෙස දැකිය හැකිය.