කොරෝනා නැසීමේ බලයක් ඇති පිරිඩොක්සින් ගැන දැන ගනිමු

නව කොරෝනා වෛරසයේ අලුත් ම හතුරා
මාර්තු 31, 2021

කෙසෙල් ගෙඩියක් කෑමට ගැනීමෙන් විටමින් B-6 දෛනික අවශ්‍යතාවෙන් හරි අඩක්ම සපුරා ගැනීමට පුළුවන්.

 

සතුරාගේ සතුරා මිතුරෙකි. ලොවම ගිලගත් කෝවිඩ් - 19 වසංගතයට සතුරු විය හැකි දේ සොයමින් විද්‍යාඥයන්, සෞඛ්‍ය බලධාරීන් ලොවම කළඹයි. එන්නතක් තිබුණ ද ෆයිසර් එන්නත නිර්මාණය කළවුන් වෛරසය මර්දනය කළ හැකි පෙත්තක් ගැන මේ දිනවල අත්හදා බලමින් සිටියි.

ඒ අතර ජපානයේ හිරෝෂිමා සරසවියේ විද්‍යාඥයන් පිරිසක් තවත් වෛරස් සතුරකු සොයා ගෙන ඇත. ඒ විටමින් බී 6 ( B6 ) හෙවත් පිරිඩොක්සින් විටමිනයයි. කෙනකුගේ සිරුරේ විටමින් බී 6 අඩු නම් කෝවිඩ් ආසාදනය දරුණු ලෙස බලපෑමට පුළුවන.

පිරිඩොක්සින් ආහාර ගණනාවකම අඩංගු විටමිනයකි. එළවළු, පලතුරු, සමහර ඇට වර්ගවල, මස් මාළුවල පිරිඩොක්සින් අඩංගුය. නිර්මාංස ආහාර ගන්නවා නම් පිරිඩොක්සින් විටමිනය හිඟ වීමේ ඉඩකඩ වැඩිය.

විටමින් බී 6 ( B6 ) සිරුරේදී ශක්තිය බවට පත්වෙන අතර රුධිරයේ හිමොග්ලොබින් නිෂ්පාදනයේදී වැදගත් කාර්යයක් සිදු කරයි. අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් ව තබා ගැනීමටත් පිරිඩොක්සින් නැතිවම බැරිය. අපේ සිරුරේ ඇති ප්‍රතිශක්තිකරණ සෛලවලින් සියයට හැත්තෑවක්ම ඇත්තේ අන්ත්‍රවල වන අතර මේවා නිපදවීමටත් ක්‍රියාකරවීමටත් පිරිඩොක්සින් උපකාරී වෙයි.

බී 6 අඩු වීම ප්‍රදාහයන්ට මඟ පාදන අතර හදවත් රෝග, තරබාරුව වැනි ප්‍රතිඵල එවිට භුක්ති විඳීමට සිදුවෙයි. අපට අවශ්‍ය විටමින් බී කාණ්ඩ අට අතරින් එකක් වන පිරිඩොක්සින් ජලයේ දියවන්නකි. එනිසා සිරුරේ ගබඩාකර තැබීමට නො හැකි අතර නිතර ආහාර මඟින් ලබාගත යුතුයි. දිනකට කාන්තාවකට පිරිඩොක්සින් මිලිග්‍රෑම් 1.2 ක් ද පිරිමියකුට මිලිග්‍රෑම් 1.4 ක් ද අවශ්‍යය. වයස්ගත වීමත් සමඟම විවිධත්වයෙන් යුතුව ආහාර ගන්නේ අඩුවෙනි. එනිසාම වෛරස් රෝගවලට ගොදුරු වීමේ ඉඩ තවත් වැඩි වෙයි.

සමහර උදෑසන ධාන්‍යමය ආහාරවල ග්‍රෑම් 35 ක පිරිඩොක්සින් මිලිග්‍රෑම් 0.41 ක් අඩංගුය.

මධ්‍යම ප්‍රමාණයේ කෙසෙල් ගෙඩියක ( ග්‍රෑම් 120 ක් පමණ බර ) පිරිඩොක්සින් මිලිග්‍රෑම් මිලිග්‍රෑම් 0.4 ක් ඇති අතර විශාල කෙසෙල් ගෙඩියක් කෑමට ගැනීමෙන් දෛනික අවශ්‍යතාවෙන් අඩක්ම සපුරා ගැනීමට පුළුවන.

කොළ ගෝවා විශේෂයක් වන කේල්වල අඩංගු පිරිඩොක්සින් ප්‍රමාණය මිලිග්‍රෑම් 0.3කි.

අර්තාපල් ග්‍රෑම් 300 ක විටමින් බී 6 මිලිග්‍රෑම් 0.9 ක් අඩංගු අතර මේ සම්පූර්ණ ප්‍රමාණය ලබාගත හැක්කේ බේක් කළ ආහාරගත් විට පමණයි. පිසීමේදී තැම්බීමේදී විටමින් බී 6 විනාශ වෙයි.

චීස් වර්ග අතරින් ෆෙටා චීස්වල අනෙක් චීස් වර්ගවලට වඩා පිරිඩොක්සින් අඩංගුයි. එය මිලිග්‍රෑම් 0.2 ක් වගේ ප්‍රමාණයකි.

ලපටි සෝයාබෝංචි ඇට කෝප්පයක මේ වටිනා විටමිනය මිලිග්‍රෑම් 0.3 ක් අඩංගුය. ලපටි සෝයා තැම්බූ වතුර විසි නො කර කෑමට එක් කර ගන්න. තැම්බීමේදී සෝයාවල අඩංගු පිරිඩොක්සින් කොටසක් ජලයට එක් වීම ඊට හේතුවයි.

ටූනා නැත්නම් කෙලවල්ලා සතුව විශාල පිරිඩොක්සින් ප්‍රමාණයක් තිබේ. කෙලවල්ලා ග්‍රෑම් 85 ක පිරිඩොක්සින් මිලිග්‍රෑම් 0.9 ක් අඩංගුය.

මධ්‍යම ප්‍රමාණයේ අලිගැටපේර ගෙඩියක පිරිඩොක්සින් මිලිග්‍රෑම් 0.2 ක් අඩංගුය.

කඩල, නිර්මාංශ අයට විටමින් බී 6 ලබාගත හැකි හොඳ මාර්ගයකි. එහි මිලිග්‍රෑම් 0.6 ක ප්‍රමාණයක් අඩංගුව තිබේ.

පීනට් බටර් හෙවත් රටකජු ග්‍රෑම් 32 ක එනම් මේස හැඳි දෙකක පිරිඩොක්සින් මිලිග්‍රෑම් 0.2 ක් අඩංගුය.

කොරෝනා නැසීමේ පිරිඩොක්සින් බලය සොයාගෙන ඇත්තේ ජපානයේ හිරෝෂිමා සරසවියේ විද්‍යාඥයන් පිරිසකි.

 

සෙම්ප්‍රතිශ්‍යාවත් ආශීර්වාදයක්

සෙම්ප්‍රතිශ්‍යාව කියන්නේ වසරකට කීප වාරයක්ම අපට වධ දෙන රෝගී තත්ත්වයක්. ඒත් කෝවිඩ් - 19 නම් පොල් පරාලය ඉදිරියේ එය ඇස් පිහාටුවක් හා සමාන වුණා. දැන් සෙම්ප්‍රතිශ්‍යාව වැලඳුණොත් මුලින්ම කොරෝනා මතකයට නැඟුණත් නව කොරෝනා නො වන බව දැන ගත්තම කවුරු කවුරුත් සැනසුම් සුසුමක් හෙළනවා. විද්‍යාඥයන් පවසන්නේ සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීම එක් ආකාරයකින් නොව කිහිප ආකරයකින් සැනසීමට තුඩු දෙන කාරණයක් බවයි. ළඟදී සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරු වූ කෙනකුට පහසුවෙන් කෝවිඩ් - 19 ආසාදනය නො වන බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා. ඊට හේතුව සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඇතිවුණු ප්‍රතිදේහ කෝවිඩ්වලට එරෙහිව සටන් කිරීමයි. එහෙත් මේ ආරක්ෂාව පවතින්නේ කෙටි කාලයක් පමණයි.

 

 

අන්තර්ජාලයෙනි