මානසික රෝග දිහා බලන් ඉන්න එපා

පෙබරවාරි 6, 2023

 

1926 Hotline අංකයට කතා කරන්න

රට හැර යෑමට නොහැකි උගත් පන්තිය අසරණ වීමෙන් ආතතිය වැඩි වීමටත් ඉන් විශාදය ඇති වීමටත් ගොදුරු වෙනවා. අනෙක් අතට ආක්‍රමණශීලීත්වය හා සිය දිවි නසා ගැනීම් වැඩි වෙන්න හේතු වෙන්න පුළුවන්.

වර්තමාන ජන සමාජය තුළ ජනතාවගේ මානසික සෞඛ්‍ය පිරිහීමක් තිබෙන බව එදිනෙදා ප්‍රවෘත්ති දකින විට අපට තේරුම් ගත හැකියි. අපාරාධ, මිනිමැරීම්, අපයෝජන, සිය දිවි නසා ගැනීම් යනාදි නොයෙකුත් ප්‍රචණ්ඩ ක්‍රියාවල වැඩි වීමක් නිරීක්ෂණය කළ හැකියි. මෙයට හේතුවක් කුමක් ද? මේ පිළිබඳව අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ මහත්මිය තරුණීට මෙසේ අදහස් දැක්වූවා.

 

මානසික ආතතිය වේගයෙන් වර්ධනය වීමේ ස්වභාවයක් වර්තමානයේ දැක ගත හැකියි, මේ සඳහා බලපාන හේතු මොනවාද? 

 

මේ වන විට මිනිසුන් තුළ මානසික ආතතිය ඉතා වේගයෙන් වැඩි වීමක් දක්නට ලැබෙනවා. මෙම වැඩි වීමට වර්තමානයේ අප මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය ප්‍රධාන හේතුවක්. මෙය අපේ රටේ පර්යේෂණ සාධක මඟින් තහවුරු කර නොමැති වුවත් ලෝකයේ කුමන හෝ රටක ආර්ථික අර්බුදයක් පැවතුණොත් එය අනිවාර්යෙන්ම ඒ රටේ ජනතාවගේ මානසික සෞඛ්‍යයට බලපානවා. විශේෂයෙන් ම මෙවැනි රටක ආතතිය, විශාදය හා සිය දිවි නසා ගැනීම් වැඩි වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. අනිත් කාරණය තමයි පවත්නා රැකියාවෙන් උපයන මුදලින් තමන් බලාපොරොත්තු වන ජීවන රටාව පවත්වාගෙන යන්න නොහැකි වීම. ආර්ථික අර්බුදය නිසා සෑම භාණ්ඩයකම මිල ඉහළයි. තමන් හුරු වී සිටින ජීවන රටාව අහිමි වීමත් මානසික සෞඛ්‍යට හොඳ නැහැ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සෑම තරාතිරමකම සිටින පුද්ගලයින්ට ඉස්සර ගත කරපු ජීවන රටාව දැන් ගත කරන්න බැහැ. ඒ නිසා මානසික ආතතිය හා අනෙකුත් මානසික රෝග ඇති වීම වැඩි වෙලා තියෙනවා.  

 

තරුණ ප්‍රජාව තුළ ප්‍රචණ්ඩත්වය වර්ධනය වීමට මානසික සෞඛ්‍ය බලපාන්නේ කොහොමද? 

 

විශේෂයෙන්ම තරුණ ප්‍රජාවගේ රැකියා සුරක්ෂිතතාවය පිළිබඳ පවත්නා අවිනිශ්චිතභාවය හා විරැකියාව මානසික සෞඛ්‍යට අහිතකරව බලපෑමෙන් සමාජයේ නොයෙකුත් ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වීම සිදු වෙනවා. ආර්ථික අර්බුදය ඇති වීමට විවිධ හේතු බලපෑවත් ඒ කිසිම පුද්ගලයෙකුට හෝ ආයතනයකට එරෙහිව තමන්ට කිසිවක් කරකියා ගත නොහැකි වුණාම මිනිසුන් කලකිරීමට පත් වෙනවා. එතකොට ඒ ඉච්ඡාභංගත්ව පීඩනය පිට කරන්නේ වෙන කෙනෙකු පිටින්. ඒ නිසා ප්‍රචණ්ඩත්වය නිර්මාණය වෙනවා. තරුණයින් අතර කැකෑරෙන තරහ පිටකරන්න විදියක් නැතිකොට පවුල තුළ හෝ මහමඟ හෝ සමාජයේ ඕනෑම සම්බන්ධතාවක ප්‍රචණ්ඩත්වය ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම  මධ්‍යම පංතිය නියෝජනය කරන පිරිස තුළ ඇතිවන උගත් අසරණභාවය ප්‍රචණ්ඩත්වයේ විවිධ මුහුණුවර තුළින් මතු වෙනවා. 

අරමුණු බිඳ වැටීම නිසාත්, ඉච්ඡාභංගත්වය නිසාත් තරුණ උගත් පිරිස රට හැර යනවා. රට හැර යෑමට නොහැකි උගත් පන්තිය අසරණ වීමෙන් ආතතිය වැඩි වීමටත් ඉන් විශාදය ඇති වීමටත් ගොදුරු වෙනවා. අනෙක් අතට ආක්‍රමණශීලීත්වය හා සිය දිවි නසා ගැනීම් වැඩි වෙන්න හේතු වෙන්න පුළුවන්. කොහොමත් ලෝකයේ සිය දිවි නසා ගැනීම් වැඩි රටවල් අතර ශ්‍රී ලංකාව ඉහළ තැනක හිටියේ. ඒක දැන් තවදුරටත් ඉහළ යන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි සමාජය තුළ මානසික ආතතිය වැඩි වන විට මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීමේ වර්ධනයක් දකින්න පුළුවන්. මින් තරුණ ප්‍රජාව ප්‍රචණ්ඩ ක්‍රියා හා අපරාධවලට යොමු වීමත් වැඩි වෙනවා. එවගේම පවුල් ප්‍රශ්න වැඩි වෙනවා. දික්කසාද වීම් වැඩි වෙනවා. විවාහ සංස්ථාව බිඳ වැටීමට ලක් වෙනවා.

 

සමාජයේ අපරාධ හා මනුෂ්‍ය ඝාතන වැඩි වීම මානසික ආතතිය වැඩි වීමේ ප්‍රතිඵලයක් ද?

 

සිත ඇතුළේ කැකෑරෙන් තරහ පාලනය කරගන්න නොහැකි වීමෙන් ඒ තරහ පිට වෙන්න වෙන කෙනෙකුගේ පිටින්. ඒ නිසා ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වීමෙන් නොයෙකුත් ආකාරයේ අපරාධ කාන්තා හා පිරිමි දෙපාර්ශවයේම වැඩි වීම දකින්න පුළුවන්. දිනපතා ප්‍රවෘත්ති බැලුවම මේක පැහැදිලිව පේනවා.

 

විශ්වවිද්‍යාලවල, පාසල්වල හා පෙර පාසල්වල අධ්‍යාපන හදාරන දරුවන්ගේ ආතතිය වැඩි වීමත් දකින්න පුළුවන් නේද?

 

විශේෂයෙන්ම කුඩා ළමුන්ට ඔවුන්ගේ ඉච්ඡාභංගත්වය පිට කරන්න විදියක් නැහැ. ඒ නිසා ආක්‍රමණශීලීත්වය වැඩියි. ආවේග පාලනය කරන්න අමාරුයි. සමහර දරුවන්ගේ වර්ධන තත්ත්වය, භාෂා කුසලතාව අනුව හා මානසික ස්වභාවය අනුව තම හැඟීම් ප්‍රකාශ කිරීමේ හැකියාව අඩුයි. ආර්ථික ප්‍රශ්න නිසා දෙමාපියන්ගේ ආතතියත් ඔවුන් දකිනවා. සමහර විට වෙනදා නොලැබුණ කෑම බීම අරන් දෙන්න දෙමාපියන්ට සල්ලි නැති වෙන්න පුළුවන්. මුදල් හොයන්න මහන්සි වෙන නිසා දරුවන් වෙනුවෙන් වෙන් කරන කාලය අඩු වෙන්න පුළුවන්. පවුල තුළ මානසික සෞඛ්‍යත් දරුවන්ගේ මානසික සෞඛ්‍යට බලපානවා.  මේ නිසා දරුවන් තුළ  ආහාර ගැනීමේ විෂමතා, නිදා ගැනීමේ ගැටලු, අධ්‍යාපන කටයුතු අඩාළ වීම් හා චර්යාත්මක අක්‍රමිකතා ඇති වෙලා තියෙනවා. විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් වසර දෙකකට ආසන්න කාලයක් මාර්ගගත අධ්‍යාපනයට යොමු වෙලා හිටියේ. ඔවුන් තුළ ද අධ්‍යාපන කටයුතු නිසාත්, ආර්ථික හා අනෙකුත් ගැටලු නිසාත් මානසික ආතතිය වැඩි වීමක් තිබෙනවා. මේ තත්ත්වය විශාදය, සිය දිවි නසා ගැනීම් දක්වා දුර ගිහින් තිබෙනවා.  

 

මානසික සෞඛ්‍ය නගාසිටුවීමට කළ හැකි දේ මොනවාද?

 

මේ සඳහා මූලිකත්වය ගත යුතු පාර්ශව කිහිපයක් සිටිනවා. රජය, ආගමික නායකයින් ගා උපදේශන සේවා ඊට උදාහරණ. රජයක් විදියට පළමුවෙන්ම කළ යුත්තේ රටේ ආර්ථිකය ගොඩනඟන්න අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම. ඒ සමඟම රටේ ජනතාවගේ  මානසික සෞඛ්‍ය නගාසිටවන්න හැකි ක්‍රියාමාර්ගත් ගත යුතුයි. මනෝ චිකිත්සකවරුන්ගේ අවධානයත් මේ සඳහා යොමු වෙලා තියෙනවා. පවුල් උපදේශන කටයුතු ද පුළුල් කළ යුතුයි. සෑම පවුලක්ම ඒකකයක් විදියට ගෙන ඔවුන් තුළ දරාගැනීමේ හැකියාව, අභියෝගවලට මුහුණ දීමේ හැකියාව වර්ධනය කළ යුතුයි. මේ අර්බුදයට අනුවර්තනය වීම නොවෙයි කළ යුත්තේ. අපේ රටේ දරා ගැනීමේ හා මුහුණ දීමේ ස්වභාවය මඳක් වෙනස්. ගොඩක් වෙලාවට මිනිස්සු හිතන්නේ මොන ප්‍රශ්නය ආවාත් ඒකට පුරුදු වෙන එක. නමුත් එය නොවෙයි කළ යුත්තේ. ඔහේ වෙන දෙයක් වෙච්චාවේ කියලා බලන් නොසිට අපි කොහොමද මේකෙන් ගොඩ යන්නේ කියලා ඊට සක්‍රීයව ප්‍රතික්‍රියා දැක්විය යුතුයි.  ආගමික ආයතන හා නායකයින් මිනිසුන්ගේ අධ්‍යාත්මික සුවය වැඩි කරන්න කටයුතු කරන්න අවශ්‍යයි. සහන මලු, සහනාධාර ලබා දීම විතරක් නොවෙයි මනසික සුවය වඩවන, උසස් විශාන්ත්‍රිය ඇති කරන වැඩසටහන් ප්‍රචලිත කළ යුතුයි. විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාවට මේ ස්වභාවය පිළිබඳ දැනුම්වත් කළ යුතුයි. පෙර පාසල්වලත්, පාසල් ළමුන් තුළත්, විශ්වවිද්‍යාල තුළත් මානසික සෞඛ්‍ය ඉහළ නංවන ව්‍යාපෘති දියත් කළ යුතුයි.

 

කෙනකුට මානසික රෝගයක් ඇත්නම් කළ යුත්තේ කුමක් ද?

 

මානසික ප්‍රතිකාර ලබා දීම ඉක්මනින්ම කළ යුතුයි. අංගොඩ මානසික රෝහල සඳහා රෝගීන් බාර ගැනීම ක්‍රම කිහිපයකට සිදු වේ. ඉන් එක් ක්‍රමයක් වන්නේ රෝගියාට සිය කැමැත්තෙන්ම පැමිණ රෝහලට ඇතුළත් විය හැකිය. එසේත් නැත්නම් රෝගියාගේ ඥාතියකුට භාරකාරයකුට පැමිණ රෝගියා බාර දිය හැකිය. යමෙක් මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නම් ඔහුගේ රෝගී තත්ත්වය ගැන පරික්ෂා කර බලා දිස්ත්‍රික් උසාවියක් හරහා රෝගියා රෝහල වෙත එවීමට පුළුවන. එමෙන්ම මහේස්ත්‍රාත් උසාවි හරහා ද රෝගීන් රෝහල වෙත එවනු ලබන අතර, බන්ධනාගාර මඟින්ද මානසික තත්ත්වය වෙනස් වූ රෝගීන් එවනු ලැබේ. එමෙන්ම මෑතකදී හඳුන්වාදුන් Hotline අංකය වන 1926 අංකය හරහාත් රෝගීන් ඇතුලත් කිරීම කළ හැකියි.

 

උපදෙස්

අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය වෛද්‍ය

පුෂ්පා රණසිංහ