ඔබත් ටින්කළ ආහාර මිල දී ගන්නවාද?

මැයි 22, 2023

මේ ගෙවන කාර්යබහුලත්වයත් සමඟ බොහෝ දෙනා ටින් කෑමවලට හුරු වෙලා.  වෙලාව ඉතිරිකර ගැනීමට වගේම ඉක්මනින් සකසා ගැනීමටත් හැකි නිසා ටින් කෑමවලට හුරු වුණත් ඒවා මිලදී ගැනීමේදී වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. මොකද ඔබ ගන්නා මේ ටින් කෑමවල අඩංගු ආහාර පිටතට නොපෙනෙන නිසා ආහාරයට ගැනීම සුදුසුදැයි නිගමනයකට එළැඹීමට පහසුයි. ඒ නිසා ටින් කෑම මිල දී ගැනීමට පෙර මේ කරුණු ගැන අවධානය යොමු කරන්න.

 

පිම්බුණු ස්වභාවයක් සහිත කෑන්

 

 

කල් ඉකුත්වන දිනය තවත් ඉදිරියේ වුවත් ඔබ මිලට ගැනීමට හෝ මිලටගත් ආහාර ඇසුරුම් කළ ඇති ටින් එක පිම්බුණු ස්වභාව‍යක් ගෙන තිබෙනවා නම් එය ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුයි. එසේ වන්නේ ඇසුරුම් කළ ඇති ආහාර සහ ඇසුරුම සකසා ඇති ලෝහය සමඟ ප්‍රතික්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස විස වායුව එක්රැස් වීම හේතුවෙනි.

 

 

ශබ්දය සමඟ වාතය පිටවීම

 

ඔබ මිලට ගත් ආහාර කෑනය විවෘත කරන විට “හිස්ස්...” ශබ්දයක් සමඟ වාතය පිටවනවා නම් එය ආහාරයට ගැනීමට සුදුසු වන්නේ නැහැ.. එය botulism නමැති ශරීරයට අහිතකර බැක්ටීරියාවේ ක්‍රියාකාරීත්වය නිසා සිදුවිය හැකි බැවින් ඔබ එය ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුයි. නමුත් ඇතැම් ආහාර කෑන් විවර කරන විට සුලු වාතය පිටවන ශබ්දයක් පිටවීම දැකිය හැකි වුවත් ඔබට යම් සැකයක් ඇත්නම් එය ඉවත් කිරීම වඩාත් සුදුසු වනවා.

 

 

මලකඩ

 

මලකඩ යනු ලෝකඩ ඛාදනය කිරීමට හේතුවන රසායන ප්‍රතික්‍රියාවකි. එමනිසා ඔබගේ ආහාර ටින් එකේ මලකඩ ඇත්නම් එය ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුයි.

 

කඩතොලු වූ කෑන්

 

ආහාර ටින් කිරීමේ ක්‍රියාවලියේදි එයට බාහිර පරිසරය සමඟ සම්බන්ධය අවම කිරීමට මුද්‍රා තැබීම සිදුකරන අතර යම් හෙයකින් ඔබ මිලට ගත් ආහාර ටින් එකේ මුද්‍රාව කඩතොළුවී තිබේ නම් එයට අහිතකර බැක්ටීරියා ඇතුළු වීමේ අවධානමක් තිබෙනවා.. එවැනි කඩතොළුවූ ආහාර කෑන් ඉවත් කළ යුතුයි.

 

 

ගබඩා කළ යුතු උෂ්ණත්වය වෙනස් වීම

 

ආහාර ටින් කිරීමේ ක්‍රියාවලියේදි ඒවා ඇසුරුම් කල යුතු උෂ්ණත්වය පිළිබඳව ඇසුරුමේ සඳහන්කර තිබෙනවා. එය අධික උණුසුම් හෝ අධික සීතල නොවිය යුතු අතර, කිසිවිටෙක

 

ඒ දෙක අතර උච්චාවචනය නොවිය යුතුය. ගබඩා කිරීම සඳහා සුදුසුම උෂ්ණත්වය අංශක ෆැරන්හයිට් 50 ත් 70 ත් අතර වන අතර විය යුතුය. උෂ්ණත්වය එයට වඩා වැඩි වීමෙන් පෝෂ්‍ය පදාර්ථ නැති වී යන අතර අහිතකර බැක්ටීරියා වර්ධනයවීමේ ඉඩක්ද ඇතිවනවා. එමෙන්ම ශීත කිරීමේදි ටින් එක ප්‍රසාරණය විය හැකි අතර මුද්‍රාවට හානි විය හැකියි.. එමනිසා ටින්කළ ආහාර ඇසුරුමේ සඳහන් උෂ්ණත්වය යටතේ ගබඩා කළ යුතුයි.

 

පුස් කා ඇති දැයි බලන්න.

ටින්කළ ආහාර මත පුස් හෝ වළාකුළු වගේ බැඳී ඇති ස්වභාවයක් දැකිය හැකි නම් ඉන් හැඟවෙන්නේ එම ආහාර යම් කිසි ක්‍රියාදාමයකට ලක්වී ඇති බවයි. එම නිසා එවැනි ටින්වල ඇති ආහාර පුස් කොටස ඉවත් කර ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුයි.

 

දුර්වර්ණ වීම

 

කෑන්වල අන්තර්ගතය සහ ලෝහය අතර ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස ආහාර දුර්වර්ණ වීම සිදුවිය හැකියි. එමනිසා එවැනි ටින්වල අඩංගු ආහාරද ඔබ ඉවත දැමිය යුතුයි.

 

දුර්ගන්ධයක් හැමීම

 

ටින්කල ආහාර බදුනක් විවර කරන විට අප්‍රසන්න සුවඳක් වහනය වන්නේ නම් එය එම ආහාර නරක් වී ඇති බවට හැඟවෙන සලකුණකි. එමනිසා එවැනි ආහාර පරිභෝජනයෙන් වැළකිය යුතුයි.

 

අන්තර්ජාලය ඇසුරිනි