ඔයත් වතුර බොනවා අඩු ද?

ජනවාරි 27, 2025

අපි බොහෝ විට පුරුදු වෙලා ඉන්නේ පිපාසයක් දැනුණු විට වතුර ගොඩාක් එක පාර බොන්නයි. ඒත් වතුර බොන නිවැරදි ප්‍රමාණය හෝ නිවැරදි ක්‍රමය එය නොවෙයි. එකිනෙකාගේ සිරුරේ බර වෙනස් නිසා එකිනෙකාට දිනකට අවශ්‍ය වතුර ප්‍රමාණය වෙනස්. අද අපි ඒ ගැන කතා කරමු.

මිනිස් ශරීරයේ දළ වශයෙන් 60% ක විතර තියෙන්නේ වතුර. අපි නිසි විදියට වතුර නොබිව්වොත් සංකූලතා රාශියක් ඇති වෙන්නේ ඒකයි. සිරුරේ සෑම පද්ධතියකම පාහේ නිසි ක්‍රියාකාරීත්වයට වතුර මූලික වනවා. රුධිරයේත් වැඩි ප්‍රතිශතය වතුර වීම ඒකට හේතුවයි. 

අපිට ආහාරයක් නැතුව දවස් කිහිපයක් ජීවත් වෙලා ඉන්න පුළුවන්. ඒත් වතුර නැතුව ඉන්න පුළුවන් ඉතා සීමිත කාලයක් විතරයි. වතුර නොබිව් විට විජලනය ඇති වෙනවා. නිසි පරිදි වතුර නොබොනවා යැයි නිරීක්ෂණය කරන්න පුළුවන් මුල් ම ලකුණ තමයි වියළි සම. ඒ හැරුණාම හිස කැක්කුම්, මානසික ඒකාග්‍රතාව ගිලිහීම, කම්මැලිබව, ප්‍රබෝධමත් නොවීම දකින්නට පුළුවන්. එමෙන්ම සිරුරේ අපද්‍රව්‍ය දහඩිය සහ මුත්‍රා වලින්. එම ක්‍රියාවලියටත් වතුර නොබිව්වොත් බාධා ඇති වෙනවා.

පිපාසය දැනෙන හැම වෙලාවකම විතරක් නෙවෙයි, නිතරම වතුර උගුරු කිහිපයක් බීම තමයි වෛද්‍ය නිර්දේශය. සුදුසු ම දේ තමයි, සිරුරේ බරට බොන්න ඕනෙ වතුර ප්‍රමාණය මැනගෙන බෝතලේක දාගෙන නිතරම ළඟ තියාගන්න එක. එතකොට නිතර ම, අවශ්‍ය ප්‍රමාණයට වතුර බොන්න පුළුවන් වෙනවා.

සාමාන්‍යයෙන් ඔබේ බර මෙන් 0.033 ගුණයක වතුර ලීටර ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා. ඔබේ බර කිලෝ ග්‍රෑම් වලින් සටහන් කරගෙන, එය 0.033කින් ගුණ කිරීමෙන් ලැබෙන පිළිතුර තරම් ලීටර් ප්‍රමාණයක් තමයි ඔබේ දෛනික වතුර අවශ්‍යතාවය.

ඔබේ බර (kg) × 0.033 = අවශ්‍ය වතුර ලීටර ප්‍රමාණය

40kg × 0.033 = ලීටර 1.32

50kg × 0.033 = ලීටර 1.65

60kg × 0.033 = ලීටර 1.98

 

අප ගන්නා බොහෝ කෑමවලිනුත් වතුර ශරීරයට ලැබෙනවා. ඒත් ඒ සුළු ප්‍රමාණවලින්. තැඹිලි හෝ පොල් වතුර, පිපිඤ්ඤා, කොමඩු වැනි ආහාරවලින් තරමක් වැඩි වතුර ප්‍රමාණයක් සිරුරට ලැබෙනවා. 

 

සිරුරට අවශ්‍ය පරිදි වතුර ලැබෙනවා නම්, ලා පැහැ මුත්‍රා වැඩි ප්‍රමාණයක් පිටවෙනවා. මූත්‍රා තද පැහැ නම්, ප්‍රමාණය අඩු නම් ඔබ ප්‍රමාණවත් ලෙස වතුර පානය කර නැතිවීමත් හේතුවක් විය හැකියි.

අපි හැමෝගෙම බලාපොරොත්තුව නිරෝගී ජීවිතයක්. හරිම පහසු දෙයක් වන වතුර නිසි පරිදි පානය කිරීමෙන් අපේ ඒ බලාපොරොත්තුව සඵල වෙනවා. දීප්තිමත් සමක හිමිකරුවෙක් වන්නටත් හැකි වෙනවා.