සුදු කියන්නේ පිස්සුවක්

පෙබරවාරි 10, 2025

කවුරු හරි ගෑනු ළමයෙක් සුදු වෙන්න උත්සාහ කරන එකේ වරදක් නැහැ. ඒක එයාගේ කැමැත්ත. ඒත් ඒ කැමැත්ත පහළ වෙන්නේ ඉබේ නෙමෙයි.

 

ඒ වගේමයි කවුරු හරි කෙනෙක් සුදු නැතැයි කියා හෝ කළුයි කියා ඇයට අපහාස කරනවා නම් එතන ප්‍රශ්නයක් තියනවා. ඒක අපේ සමාජ සංස්කෘතික ප්‍රතිමාණයන් පිළිබඳ ප්‍රශ්නයක්. අපේ පසුගාමී ආකල්ප පිළිබඳ ප්‍රශ්නයක්. මේක ඔය තරම් කියන්න තරම් ප්‍රශ්නයක්ද?

 

ඔව්. ඒකනේ මේ කියන්නේ. පසුගිය දිනක මට අහන්න වුණ සිදුවීමක් වුණේ වයස අවුරුදු 13ක ළමයෙක් ගැබ්ගෙන තිබීමේ අවාසනාවන්ත පුවත. ඒක දිගේ හාරගෙන හාරගෙන යද්දී මට තේරුණු කරුණු දෙකක් තිබුණා. ඉන් එකක් මේ පාට පිළිබඳ ප්‍රශ්නය. අනික මම ඊළඟ කොළමෙන් ලියන්නම්. ඇයට අැගේ මව ඇතුළු වැඩිහිටියන් ඥාතීන් කළු යැයි කුඩා කල සිට අපහාස කර තිබුණා. ඇයට ඕන වුණා කාගේ හෝ ආකර්ෂණයක්. පිළිගැනීමක්. ආදරයක්, ජිවිතේ පළමුවර එවැනි ආදරයක් තිබුණේ රැවටිලිකාර වයස 36ක මිනිසෙකුගෙන්. මේ පුංචි දුවට තේරුමක් නැහැ මේ මිනිහා මාව රවටනවා කියලා. ඒ අහිංසක මල් කැකුළ රැවටුණා. ඇය දන්නේ නැහැ ගැබ් ගන්නේ කොහොමද කියලා. මොකද ලිංගික අධ්‍යාපනය දෙන්න එපා කියලා අපේ රටේ කට්ටියක් කෑ මොර දෙනවානේ. ඉතින් ළමයින්ට අහසින් දැනුම පහළ වෙන්නේ නැහැනේ. මේ දැරිය අනාථ වුණාටත් පස්සේ එහෙම දෙයක් වුණාම ගැබ් නොගැනීම පිණිස ගත යුතු බෙහෙත් පෙති ඇති බව ඇය දන්නේත් නැහැ. ඇය ගැබ් ගත්තේ එහෙම. කිසිම දවසක දරුවෙකුගේ හමේ පාටට අගෞරව කරන්න එපා. අපි එංගලන්තයේ සුද්දන් ගානට මොන ක්‍රීම් ගෑවත් සුදු වෙන්නේ නැහැ. නයිජීරියාවේ කල්ලන් ගානට කොයි තරම් අව්වේ සෙල්ලම් කළත් කළු වෙන්නේත් නැහැ. හමේ පාට කියන්නේ ගෞරවයට හෝ අගෞරවයට හේතුවක් නෙමෙයි.

 

එහෙම අපහාස කිරිමෙන් ඔබ කී වරක් ගැහැනු ළමුන් කී දෙනෙක් මරා ඇද්ද? පද්මා එදිරිසිංහ නම් කථිකාචාර්යවරිය ඇගේ ස්විය චරිතාපාදනයේ කියනවා ඇගේ නංගී ගොඩක් සුදුයි. ඇය ගොඩාක් කළුයි. නංගී පුංචි කාලේම මිය යනවා. ගමේ මිනිස්සු මළ ගෙදර ඇවිත් කියනවා ‘අනේ සුදු බබානේ මැරිලා තියෙන්නේ.“ ඒකෙන් වක්‍රව කියන්නේ “කළු බබා මැරුණා නම් තව කමක් නෑ“ වගේ එකක්. ඇය කියනවා ගමේ සියලු දෙනා නංගිගේ මළ ගෙදරින් තමාවත් මරාගෙන පිටවූ හැටි. අපි හැමෝටම ආවේණික පාටක් තියනවා. ඒ පාට ලස්සනයි. අපේ වටිනාකම තීරණය වන්නේ පාට මත නොවේ. අපේ පෞරුෂය තීරණය වන්නේ පාට මත නොවේ. යටත්විජිත මානසිකත්වයෙන් ගැලවෙන්න බැරි අපි තාම සුද්දාගේ පාට තමයි ලස්සන කියලා හිතනවා. ඒත් ලෝක රූ රැජිනන් පවා කළු අය ඉන්නවා. පාටට කළ හැකි දෙයක් නැහැ. පාට අතහැර හොඳින් ඉගෙන ගන්න හිතට ගන්න.

සංජීවනී රූපසිංහ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය