වර්ෂ 2025 ක්වූ May 19 වැනිදා Monday
ඔබේ ගැටලුව අපට එවන්න

හැම කෙනෙක්ටම තියෙන ලොකුම සතුට, ලොකුම සැනසීම තමයි නිරෝගීකම. ඒත් මේ ජීවිත ගමනේදී එක් එක් අවධීන් පසුකරමින් යන විටදී විවිධාකාර වූ රෝගවලට මුහුණපාන්නට සිදුවීම අප කාටත් පොදු දෙයක්. මේ රෝග ඇති වෙන්නෙත් පෙර දැනුම්දීමකින් නොවේ. ඉතින් විවිධාකාර වූ රෝගවලින් පීඩා විඳිමින් නිසි විසඳුමක් සොයාගත නොහැකිව පීඩා විඳින්නෝ බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි රෝගවලට විසඳුම් ලබා දෙන්න මඟපෙන්වන්නකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. ඔබ පීඩා විඳින කායික රෝගවලට විසඳුම් ගෙන එන්නට තරුණී නිරතුරුවම සූදානම්. ලියන්න ඔබේ ගැටලුව.
අපේ ලිපිනය. Doctor door, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10.
එසේත් නැත්නම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.
උපදෙස් -
කායික රෝග විශේෂඥ වෛද්‍ය
එච්.ඩී. විජේසිංහ
ඇස් යට කළු වෙලා
ප්රශ්නය
ලබන වසරේදී උසස් පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන සිසුවියකි. මාස දෙකක පමණ කාලයක පටන් මාගේ ඇස් යට කළු වී ඇත. මම පැහැපත් යුවතියක් නිසා මෙය ඕනෑම කෙනකුට දුටු පමණින් පෙනී යයි. මෙය ප්‍රතිකාරයක් පවසන්න.
පිළිතුර
ඇස් වටා කළු වීමට හේතු ගණනාවක් බලපෑ හැකියි. ජානමය සාධක ප්‍රධන හේතුවකි. සමේ ස්වභාවය, ඇස් වල පැහැය වගේම ඇස් වටා රැලි කියන මේ තත්ත්වය ජානමය හේතු මත ඇති වෙන්න ඉඩ තියෙනවා.
සමේ තෙතමනය නැති වීම ද සම වියළීමට ලක් වීම ඇස් වටා කළු පැහැයක් ගැනීමට හේතුවකි. ඒ වගේම සමේ පෝෂණයට අවශ්‍ය කරන විටමින් A , C , K සහ E යන පෝෂණ අවශ්‍යතා සම්පුර්ණ නොකිරීමත් ඇස් වටේ කළු වෙන්නට හේතුවක්. අධික උෂ්ණත්වය, අධික සීතල වැනි හේතුන් නිසා ඇස් වටා රැලි ඇති වීම, සම වියළීම ඇති වෙන්න පුළුවන්.
හිරු රැස්වල ඇති අහිතකර UV කිරණ ඇස් වටා රැළි ඇති වෙන්නටත් ඇස්වල පෙනුමට බාධා ඇති කරන්නටත්, සම වියළීමට ලක් කරන්නටත් සම මත ලප ඇති කරන්නත් බලපෑම් ඇති කරනවා. ඔබ උසස් පෙළට සූදානම් වන සිසුවියක් නිසා දිගු වේලාවක් පාඩම් වැඩකටයුතුවල නියැළීමත් එයට හේතුවක්.
දිගු වේලාවක් පාඩම් කටයුතුවල නිරත වී සිටින විට, ඇස් දෙක වසාගෙන කඩින්කඩ මඳ විවේක ලබා ගන්න. නිතර ජංගම දුරකතන තිරය දෙස බලා සිටීමෙන් වළකින්න. පෝෂ්‍යදායී ආහාර ලබා ගන්න. හොඳ නින්දක් ලබා ගන්න. ඇස් වටා අයිස් ජලයෙන් තවන්න. දිගින් දිගටම මේ තත්ත්වය පවතී නම් වෛද්‍යවරයකු හමු වන්න. එවිට ඔබට ඒ සඳහා සුදුසු ක්‍රීම් වර්ගයක් නිර්දේශ කරනු ඇත.
---------------------
උගුරේ ආසාදනයක්
ප්රශ්නය
32 හැවිරිදි මා නිතර උගුරේ වේදනාවකින් පෙළෙමි. කෙළ ගිලීමට අපහසුවක් වගේම උගුරේ කටු අනිනවා මෙන් දැනෙයි. ප්‍රතිකාර ගත්තත් නැවත මතු වේ. මා කුමක් කළ යුතු ද?
පිළිතුර
උගුර වණ වීමෙන් ඇතිවන වේදනාව, ගිලීමේ අපහසුව සමඟ උගුරේ දැවිල්ල, උගුර රත් පැහැ ගැනීම සහ උගුර කැසීම මෙහි ප්‍රධාන ලක්ෂණ වෙයි.
බොහෝ විට උණ සහ සෙම්ප්‍රතිශ්‍යාවත් සමඟ මෙය හට ගනියි. එමෙන්ම බැක්ටීරියා ආසාදන නිසාත් මෙම තත්ත්වය ඇතිවිය හැකියි. උගුරේ අමාරුව ඇතිකරන වයිරස් රෝග ගණනාවක් ද තිබේ. ඒ අතර ඉන්ෆ්ලුවෙන්සා, සරම්ප සහ චිකන්ෆොක්ස් ප්‍රධානයි. ඊට අමතරව ඔබ නිතර උෂ්ණාධික ආහාර වර්ග ආහාරයට ගන්නවානම් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. සිරුරේ උෂ්ණාධිකබව පිටකරන එක් ක්‍රමයක් ලෙසත් මේ තත්ත්වය සලකයි. සාමාන්‍යයෙන් උගුරේ වේදනාවක් පවතින්නේ දින 2 - 5 අතර කාලසීමාවකය. ඊට වඩා වැඩි කාලයක් පවතින්නේ නම් සුදුසු වෛද්‍යවරයකු වෙත යාම අනිවාර්යයි. එතෙක් රාත්‍රී නින්දට පෙර මඳ උණුසුම් ජලයට ලුණු වතුර ස්වල්පයක් එකතු කොට උගුර හොඳින් සෝදන්න. පානය සඳහා මඳ උණුසුම් ජලය භාවිත කරන්න. අධික ශීත ආහාර වගේම උෂ්ණාධික ආහාරවලින් වැළකී සිටින්න.
-----------------
විසර ගෙඩියක්
ප්රශ්නය
මාගේ තට්ටම ප්‍රදේශයේ විසර ගෙඩියක් හටගෙන ඇත. මේ නිසා මා පසුවන්නේ අධික වේදනාවකිනි. පුටුවක ඉඳ ගැනීමට පවා අපහසුය. ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වේ.
පිළිතුර
සැරව පිරුණු ගෙඩියක් විසර ගෙඩියක් යනුවෙන් හැඳින්වේ.
මේවා ශරීරයේ සෑම තැනක ඇතිවිය හැකි අතර අදාළ ස්ථානය රතු වීමත් කැක්කුම ඇතිවීමත් සිදුවන අතර උණ ගැනීම ද දැකිය හැකිය.
ශරීරයේ මොනයම් ස්ථානයක විෂබීජ තත්ත්වයක් ඇතිවූ විට ශරීරයේ ක්‍රියාත්මක ප්‍රතිශක්තී ක්‍රියාවලිය මඟින් අදාළ විෂබීජය තවදුරත් ශරීරයේ ව්‍යාප්ත වීම වැළැක්වීමට කොටුකිරීමක් කරනු ලැබේ. විසර ගෙඩියක් ලෙස හට ගන්නේ එයයි.
ඖෂධීය ක්‍රීම් වර්ගවලින් විසර ගෙඩි සුවකර ගත හැකි වුවත්, නැවත නැවත එය හට ගැනීමට ඉඩකඩ ඇත. එබැවින් ශල්‍යකර්මයක් මඟින් සැරව හා සැරව ගෙඩිය වටා වූ පටලමය කොටස ඉවත් කිරීම තිබෙන හොඳම ප්‍රතිකාරය වේ.
පිරිසුදුකම සහ දියවැඩියාව පාලනය කිරීමෙන් බොහෝමයක් විසර ගෙඩි ඇතිවීම වළක්වාගත හැකිය.