වර්ෂ 2025 ක්වූ May 19 වැනිදා Monday
ඉවසන්න බැරි කොන්දේ අමාරුවක්ද? මෙන්න ප්‍රතිකාර

කොන්දේ කැක්කුමක් ඕනෑම කෙනෙකුට, ඕනෑම කාලසීමාවක ඇති විය හැකි තත්ත්වයක්. සමහරුන්ට මෙම වේදනාව අධිකව ඇතිවෙනවා. බොහෝවිට මෙම තත්ත්වය එදිනෙදා වැඩ කටයුතු කිරීමේදී එම ඉරියව්වල ස්වභාවය අනුවත් ඇතිවන්නට පුළුවනි.
විශේෂයෙන් මෙය රෝගී අවස්ථාවන් නිසා එන කැක්කුමක් ද එසේත් නැත්නම් සාමාන්‍යයෙන් එන කැක්කුමක් ද යන්න වෙන්කර හඳුනාගත යුතුයි. වයස්ගත වීමත් සමඟ අස්ථිවල ගැටලු ඇති වෙනවා. නමුත් සමහරවිට තරුණ කාලයේ සිටම එන කොන්දේ අමාරු ද තියෙන තිබෙනවා. ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. මෙම අවස්ථාවන් දෙකේදීම කොන්දේ අමාරුව ඇතිවීමට හේතුව ගැන අප සැලකිලිමත් විය යුතුයි. එනම් වැටීමක් හෝ වැදීමක් නිසා ද බරක් එසවීම හෝ සාමාන්‍යයෙන් එදිනෙදා කටයුතුවල යෙදීම වෙනත් රෝගයක රෝග ලක්ෂණයක් හෝ ස්නායුගත ආබාධයක් නිසා ද යන්න නිශ්චිතව හඳුනාගත යුතුයි. ආයුර්වේදයේ මෙය වාත රෝග සම්බන්ධව එන දෙයක් ලෙස ගැනෙනවා. උදාහරණයක් හැටියට කාන්තාවන්ගේ පිළිකා නොවන අර්බුද, ගර්භාෂය ආශ්‍රිතව ඇතිවන ෆ්යිබ්රොයිඩ් වැනි රෝග අවස්ථාවන්වලදී ද කොන්දේ කැක්කුම ඇති වෙනවා. සමහරවිට කාන්තාවන්ගේ මාස්ශුද්ධියේ අක්‍රමිකතා නිසා කොන්දේ කැක්කුම ඇතිවෙන්නට පුළුවන්.
ඊට අමතරව වැරදි ඉරියව් ද මෙයට හේතුවක්. එනම් බර එසවීමේදී නිවැරදි ආකාරයට බර එසවීම නොකිරීම, කොන්දට බර දී බර එසවීම. එමෙන්ම අධික රුධිර පීඩනය හෝ වකුගඩු ආශ්රිත රෝගවලදී ද කොන්දේ කැක්කුම ඇති විය හැකියි. ඒ ඒ රෝග අවස්ථා අප තීරණය කරගත යුතුයි. සමහරවිට දියවැඩියාව, ස්නායුවල ගැටලු නිසාත් ආතරයිටීස් සන්ධිගත වාත, ආමවාත වැනි රෝග අවස්ථාවන්වලදී පවා කොන්දේ අමාරුව ඇතිවෙනවා.මෙහිදී අපේ ආයුර්වේද ක්‍රමවේදයට අනුව රෝගමූලය සොයා ගෙන රෝගයට ප්‍රතිකාර කළ යුතු වෙනවා. එහිදී මුලින්ම ආලේපන වර්ග, පත්තු වර්ග දැමීම ප්‍රතිකාර ලෙස කළ යුතුයි. ඊට අමතරව රෝගීන්ට නිවැරදි පිළිබඳ ඉරියව් පහදා දීම කළයුතුයි. එමෙන්ම නිතර පිළිවෙළට සිටිය යුතු ආකාරය රෝගීන්ට කියා දිය යුතුයි.
රෝග ව්‍යායාම ද මෙහිදී අත්‍යවශ්‍යයි. කොන්දේ අමාරුවලට නියමිත ව්‍යායාම පද්ධතියක් අප හඳුන්වා දෙනවා. එමෙන්ම ආහාර රටාව පාලනය කර ගැනීම, සිරුරේ බර පාලනය කිරීම ආදිය ගැන අවබෝධයක් ද මෙහිදී රෝගීන්ට ලබාදිය යුතුයි. ඊට අමතරව මෙහිදී පත්තු වර්ග ආලේප කරනවා. විශේෂ ප්‍රතිකර්මයක් රෝගියාගේ ස්වභාවය අනුව තීරණය කරනු ලබනවා. ඊට අමතරව පිණ්ඩ ස්වේද පොට්ටනිවලින් තැවීම සිදුකරනවා.
සමහරවිට කශේරුකාවේ ස්නායු එළියට එන තැන්වල අස්ථි වර්ධක සිදුවෙනවා එවන් අස්ථි වර්ධක නිසා ස්නායු අග තද වීමක් වෙනවා. එවිට කියනවා කොන්දේ කැක්කුමක් ඇතිවෙනවා කියලා. එහිදී නිසි අවබෝධයකින් යුතුව ප්‍රතිකාර සිදුකළ යුතුයි.
උපදෙස්:-
ආයුර්වේද වෛද්‍ය
සුසීමා සේනානායක