වර්ෂ 2025 ක්වූ June 16 වැනිදා Monday
Doctor door

ඔබේ ගැටලුව අපට එවන්න
හැම කෙනෙක්ටම තියෙන ලොකුම සතුට, ලොකුම සැනසීම තමයි නීරෝගිකම. ඒත් මේ ජීවිත ගමනේදී එක් එක් අවධීන් පසුකරමින් යන විටදී විවිධාකාර වූ රෝගවලට මුහුණපාන්නට සිදුවීම අප කාටත් පොදු දෙයක්. මේ රෝග ඇති වෙන්නෙත් පෙර දැනුම්දීමකින් නොවේ. ඉතින් විවිධාකාර වූ රෝගවලින් පීඩා විඳිමින් නිසි විසඳුමක් සොයාගත නොහැකිව පීඩා විඳින්නෝ බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි රෝගවලට විසඳුම් ලබා දෙන්න මඟපෙන්වන්නකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. ඔබ පීඩා විඳින කායික රෝගවලට විසඳුම් ගෙන එන්නට තරුණී නිරතුරුවම සූදානම්. ලියන්න ඔබේ ගැටලුව.
අපේ ලිපිනය. Doctor door, තරුණී,
ලේක්හවුස්, කොළඹ - 10. එසේත් නැත්නම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.
උපදෙස් -
කායික රෝග
විශේෂඥ වෛද්‍ය
එච්.ඩී. විජේසිංහ
පුතුට නිතර තරහ යයි
මගේ පුතාට අවුරුදු 21කි. උසස් පෙළ විභාගය ලියූ ඔහු සිතූ කඩඉම පසු කිරීමට නොහැකි වුණා. ඒ දවසේ සිට පුතා ගෙදර අය සමඟ කතා කරන්නේ නැහැ. කතා කරද්දී තරහා යයි. මෙය ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක් ද?
බොහෝ වෙලාවට විභාගයක් අසමත් වුවහොත් සමහර දරුවෝ මනසින් පීඩාවට පත් වීම සිදුවේ. එය සිදුවෙන්නේ ගෙදරින් එන බලපෑමත් සමඟයි. මෙය සාමාන්‍ය තත්ත්වයකි. මෙහිදී දරුවන් ජීවිතයේ ගොඩක් ආසාවෙන් කළ දේවල් එපා වේ. ඒ වගේම සම්බන්ධතා, ළඟින් ඇසුරු කරපු පුද්ගලයන් සමඟ ආරවුල් ඇති කර ගැනීමට පෙලඹේ. මේ පුද්ගලයන් ආසාවෙන් කෑමක් කෑවා නම් ඔවුන් ඒවාද ප්‍රතික්ෂේප කරයි. බොහෝ වෙලාවට නින්ද නොයෑම නිසාද පීඩාවක් ගෙනදේ. තවද මනස පීඩාකාරී වේ. එමෙන්ම ඇඟ රිදීම, ඔළුව කැක්කුම වැනි රෝගද මෙම පුද්ගලයන්ට සෑදෙයි. මෙය සාමාන්‍ය නැතිවන දුක, ශෝකී තත්ත්වයකි. මෙම තත්ත්වය බොහෝ කාලයක් පැවතුණහොත් ජීවිතය එපා වීමටද හැකියාව ඇත. එසේ වුවහොත් එම තත්ත්වය බරපතළ විය හැකිය. මානසික පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු කර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම තුළින් මෙම තත්ත්වය සුව කළ හැකිය.
*********************
නින්ද නොයන්නේ ඇයි?
මගේ වයස අවුරුදු 28කි. මට රෑට නින්ද නොයයි. මෙය ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක්ද?
නින්ද යනු පුද්ගලයකුට අත්‍යවශ්‍යම සාධකයකි. සුවදායී නින්දක් සෑම පුද්ගලයකුටම අත්‍යවශ්‍යයි. විශේෂයෙන් තරුණ දරුවන් නින්දේදී සිරුර බොහෝ ක්‍රියාකාරි නොවුණත් ස්නායු පද්ධතිය බොහෝදුරට ක්රියාකාරීය. බොහෝ වෙලාවට සම්පූර්ණ නින්ද නොයා ඊට කලින් ඇහැරුණොත් ඇඟට අපහසුතා ගෙන දෙයි. එයට හේතුව වන්නේ නින්දේදී මොළේ සිදුවන ක්‍රියාකාරිත්වය අනුවයි.
ඒ වගේම සාමාන්‍යයෙන් මොළේ ක්‍රියාකාරිත්වය සහ හෝමෝන සමඟ ක්‍රියාකර නින්ද ළඟා වීම සිදුවේ. නමුත් පුද්ගලයන්ගේ සමහර සිදුවීම් හේතුවෙන් නින්ද බිඳ වැටීම සිදුවීමට පුළුවන්. මෙයට හේතු වශයෙන් රැකියා ස්ථානය ද උදාහරණයකි. දිගින් දිගටම නින්ද නොයෑම නිසා මානසික ආතතියට පත්වීමට හැකියාව තිබේ.
මෙයට නිස්කලංක ශබ්ද අඩු පරිසරයක සිටීම හෝ හරි වේලාවට නිදා ගැනීමෙන් මගහැර ගත හැකිය. මෙය බරපතළ තත්ත්වයක් නොවේ. නමුත් වෛද්‍යවරයකු හමුවී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුය.