වර්ෂ 2025 ක්වූ June 30 වැනිදා Monday
ඔබේ ගැටලුව අපට එවන්න

හැම කෙනෙක්ටම තියෙන ලොකුම සතුට, ලොකුම සැනසීම තමයි නීරෝගිකම. ඒත් මේ ජීවිත ගමනේදී එක් එක් අවධීන් පසුකරමින් යන විටදී විවිධාකාර වූ රෝගවලට මුහුණපාන්නට සිදුවීම අප කාටත් පොදු දෙයක්. මේ රෝග ඇති වෙන්නෙත් පෙර දැනුම්දීමකින් නොවේ. ඉතින් විවිධාකාර වූ රෝගවලින් පීඩා විඳිමින් නිසි විසඳුමක් සොයාගත නොහැකිව පීඩා විඳින්නෝ බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි රෝගවලට විසඳුම් ලබා දෙන්න මඟපෙන්වන්නකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. ඔබ පීඩා විඳින කායික රෝගවලට විසඳුම් ගෙන එන්නට තරුණී නිරතුරුවම සූදානම්. ලියන්න ඔබේ ගැටලුව.
අපේ ලිපිනය. Doctor door, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10.
එසේත් නැත්නම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.
උපදෙස් -
කායික රෝග විශේෂඥ වෛද්‍ය
එච්.ඩී. විජේසිංහ
අමතක වීම ලෙඩක් ද?
මම වයස අවුරුදු 61ක කාන්තාවකි. මට එදිනෙදා ජීවිතයේ සිදුවන දේවල්, දවසේ කරන දේවල් අමතකයි. මෙලෙස මතක නැති වීම සිදුවන්නේ ඇයි? ප්‍රතිකාර ගත යුතුද?
අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලයන්ට අමතක වීම සාමාන්‍යයි. මෙම තත්ත්වය බොහෝ විට ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයකි. මෙය කාන්තා හා පුරුෂ යන දෙපාර්ශ්වයටම සෑදෙන රෝගී තත්ත්වයකි. බොහෝ විට ගැහැනු අයට සෑදෙන ප්‍රවණතාව වැඩියි.
පෝෂණ හා හෝමෝන ඌනතා හේතුවෙන් සෑදෙන්න පුළුවන්. තවද විවිධ රෝග නිසාත් ඩිමෙන්ශියා තත්ත්ව ඇති වීමට හැකියාව ඇත.
අධික කොලොස්ටරෝල් ප්‍රමාණය, අධි රුධිර පීඩනය සහ විවිධ විටමින් ඌනතාවන් ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය බලපෑමට හේතුවයි. ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයට ජානමය බලපෑම නිසා සහ පාරම්පරිකව ඇතිවීමට ඇති සම්භාවිතාව වැඩිය.
මෙහි රෝග ලක්ෂණ වන්නේ මොළේ බුද්ධිමය කුසලතාව ක්ෂණයෙන් අඩුවීම, තීරණ ගැනීමේ හැකියාව, තර්ක කිරීමේ හැකියාව අහිමිවීම සහ විශේෂයෙන්ම මතක තබා ගැනීමේ හැකියාව ක්‍රමයෙන් අහිමි වී යාම මෙහි ප්‍රධාන වේ.
මුලින්ම හඳුනාගැනීමට හැකි වන්නේ එදිනෙදා ජීවිතයේ දේවල් අමතක වීම තුළිනි. මෙයින් කෙටිකාලීන මතකය අහිමි වී යාම සිදුවිය හැකිය. එබැවින් වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුය.
-----------------------------
පුතුගේ වෙනසක්
මගේ පුතාට වයස අවුරුදු 21කි. ඔහු මිනිසුන් බහුලව ගැවසෙන ස්ථාන කරා යෑම ප්‍රතික්ෂේප කරයි. යහළුවන් ආශ්‍රය කිරීමද මඟහරියි. මෙය මානසික ගැටලුවක්ද? ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක්ද?
සමාජයට යාම ප්‍රතික්ෂේප කිරීම, සමාජයට ඇති බිය සමාජය තුළ සුලබව දක්නට ලැබේ. මෙම තත්ත්වය බොහෝවිට දක්නට ලැබෙන්නේ තරුණ දරුවන් අතරයි. කාන්තා හා පුරුෂ යන දෙපාර්ශ්වයටම සෑදෙන රෝගී තත්ත්වයකි.
මෙහිදී සිදුවන්නේ පොදුවේ සමාජයට යෑම ප්‍රතික්ෂේප කිරීමයි. සමාජයට ගිය විට ඔවුන්ට සිතෙනවා බොහෝ පුද්ගලයන් තමන් දිහා බලාගෙන සිටිනවා, තමන්ගේ වැරදි අඩුපාඩු අනිත් අය විසින් නිරීක්ෂණය කරන බව දැනෙන නිසාම මොවුන් බියට පත්වීම සිදුවේ.
මෙම බිය නිසාම සමාජයට නොයෑම තුළින් සමාජයෙන් කොන්වීම සිදුවේ. යහළුවන් ආශ්‍රය කිරීම මඟහරියි. ඒ වගේම විශේෂ අවස්ථාවලට යෑම ප්‍රතික්ෂේප කරයි.
සමාජයට ඇති බිය නිසා සම්මුඛ පරීක්ෂණ වැනි දේවල් ප්‍රතික්ෂේප කරයි. මෙවැනි හේතු නිසාම රැකියා අවස්ථා වැනි දේවල් මඟ හැරීයයි.
මේ සඳහා වෛද්‍යවරයකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම තුළින් මේ සමාජ භීතිකා තත්ත්වය මඟහැර ගැනීමට හැකියාව තිබේ.
දුලක්ෂි උඩගෙදර