වර්ෂ 2025 ක්වූ July 28 වැනිදා Monday
පිරිමින්ට නොතේරෙන ඔසප් අසීරුතාව

දැරියක් වයස අවුරුදු 12-13 පමණ වන විට ඇගේ ශරීරය පළමු ඩිම්බය පිට කරයි. එය බිඳී රුධිරය වහනය වීම මල්වරය ලෙස හැඳින්වේ.
(අප මීට පෙරත් සඳහන් කළ පරිදි මල්වරයට පෙර ඇය ගැබ් ගැනීමේ හැකියාවක් ඇත.) පළමු ඩිම්බය පිට වූ දා සිට ඇය මවක් වීමේ සුදුසුකම් ලබයි. සාමාන්‍යයෙන් දින විසි අටකට වරක් (ඇතැම් අයෙකුට දින 30, දින 31 ආදී වශයෙන් ඔසප් චක්‍ර වෙයි.) ඉන්පසු ආර්ථවහරණය දක්වාම ඇගේ ඩිම්බ කෝෂවලින් ඩිම්බ පිට වේ. පිළිසිඳ ගැනීමක් සිදු නොවන හැම වරකම එම ඩිම්බ බිඳී රුධිරය වහනය වේ. මෙය ඔසප් චක්‍රය ලෙස හැඳින්වේ.
මෙම ඔසප් වීම සරල නැත. මේ වටා ඇති මිථ්‍යා කතා රාශියකි. ඒවා පසුව සාකච්ඡා කරමු. එහෙත් සමාජය දැන ගත යුතු ප්‍රධාන කරුණු කිහිපයක් පමණක් මෙහි බහාලමි. විශේෂයෙන් පිරිමි මෙය දැනගත යුතු අවබෝධ කර ගත යුතු තත්ත්වයකි.
ඇතැම් අයට මෙම රුධිර වහනය දින 3ක් 4ක් පවතින අතර සමහර අයට එය දින 8-9 අතර සිදු වේ.
එසේ දින 8-9 අතර සිදු වීම යනු එපා වීමකි. ඇතැම් විට අධික රුධිර වහනය සිදු වේ. අධික බඩේ කැක්කුම ශරීරයට පණ නැති වීම, කොන්දේ කැක්කුම ඇති වේ. වෙනදා කරන සියලු වැඩ එම දිනවලදීත් ඇගෙන් බලාපොරොත්තු වීම අතිශය අසාධාරණය. මෙම දිනවලට පෙර සිටම ඇතැම් විට සතියකට පෙර සිට ඇයට හෝමෝන වෙනස්වීමත් සමඟ විවිධ අපහසුතා ඇති වේ.
කේන්ති යාම, නොරිස්සන සුලු ස්වභාවය, අධික වෙහෙසකර බව, ආහාර රුචියේ ඇතිවන වෙනස්කම්, පියයුරුවල ඇතිවන වේදනාව, මුහුණේ කුරුලෑ ඇති වීම, ආතතියට පත් වීම, මංසපේශී වේදනා ඒ අතර ප්‍රබල වෙයි. මේ කාලයේ ඇය සුළු දෙයින් පවා මානසික පීඩාවට පත් වේ. මානසික ඒකාග්‍රතාව පවත්වා ගැනීම අපහසු වේ. නොරිස්සුම්සහගත බව නිසා පුංචි කරුණුවලදී පවා ගැටුම් ඇති කර ගැනීමට පෙලඹීමත් ඉන්පසු හැඬීමටත් නැඹුරුවක් ඇති වේ.
දිගින් දිගටම ශරීරයෙන් රුධිරය වහනය වීම කොතරම් අපහසුදැයි නැවත නැවත සිතා බැලිය යුතුය. සනීපාරක්ෂක තුවාවලින් කාන්දු වන රුධිරය ඇඳුම්වල තැවරිලාදැයි බියෙන් දවසම ඇය පාසලේ හෝ රැකියා ස්ථානයේ ආතතියෙන් ගත කරයි. ඒ සමඟ ඇති බඩේ අමාරු, කොන්දේ අමාරු දරාගෙන වෙනදා මෙන්ම වැඩ කළ යුතුය. අපේ සමාජය මෙම දිනයන් සැඟවීමට ඇයට අනුබල දී ඇත. එය කීම ලජ්ජාවට කරුණකි. එවිට ඇය සුපුරුදු පරිදි වෙනදා මෙන්ම කොතරම් අපහසුවෙන් වුවත් සිනාසී වැඩ කළ යුතුය. මෙය කොයි තරම් අසාධාරණ ද?
මේ මගේ ඔසප් දින බැවින් එය කියා වැඩ අඩු කර ගැනීමට ඇයට හැකියාව තිබිය යුතුය. නිෙවසේ සැමියා දරුවන් එම දිනවල ඇයට වැඩිපුර සහාය වීමට කටයුතු කළ යුතුය. රැකියා ස්ථානයකදී ශාරීරික මානසික අපහසුතා හේතුවෙන් නිවාඩු ගත හැකි වටපිටාවක් අප නිර්මාණය කර ගත යුතු වෙමු. ඔසප් වීම තවදුරටත් සඟවා තබාගෙන දුක් විඳිය යුතු දවස් කිහිපයක් නොවේ.
සංජීවනී රූපසිංහ
ෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන අධයන අංශය
කැලණිය විශ්වවිලය