ගෘහිණියගේ දැනුම පොතට පුංචි පුංචි රහස්

ඔක්තෝබර් 17, 2022

 

පලතුරු බීමවලට දෙහි හෝ දොඩම් යුෂ මිශ්‍ර කර ගැනීමෙන් රසය වැඩි වේ.

රෑට කාලා ඉතිරි වුණ ඉඳිආප්ප තියෙනවා නම් ශීතකරණයක තබන්න. පසුවදා උ‍ෙද් එළියට අරගෙන ස්ටීමරයක තබා මඳ වේලාවක් තම්බා ගන්න. අලුත් ඉඳිආප්ප වගේමයි.

ගෙදර දොර උයන පිහින ඔබගේ දැනුමට මේ කරුණුත් එකතු කරගන්න.

මේ දවස්වල අහන්න ලැබෙන දෙයක් තමයි වෙ‍ළෙඳ පොළෙන් මිලදී ගන්නා හාල් තැම්බෙන විට කිසියම් ගන්ධයක් වහනය වන බව, බත් ඇට එකට ඇලෙන බව. මේ වගේ දේවල් වළක්වා ගන්නට නම් බත් එක උයන්න පෙර එම වතුරට ලුණු කැට දෙක තුනක් දමන්න. එයට දෙහි බෑයක ඉස්ම මිරිකලා දාන්න. රම්පෙ කොළයකුත් දාන්න. ඔබට සුවඳවත් රසවත් සුදු පාටින් ලස්සන බතක් උයාගන්න පුළුවන්.

 

 

ඉඳිආප්ප වීසිකරන්න එපා

 

මගෙ යාළුවෙක්ගෙ ගෙදර උදේ ඉඳිආප්ප ගොඩක් වීසිකරලා තියෙනවා දැක්කා. මම ඇහුවා, ‘මේ කෑම හිඟ කාලෙ ඇයි මේ ඉඳිආප්ප විසිකරලා’ කියලා. ‘ඊයේ රෑට ඉඳිආප්ප හැදුවා. ඉතුරු ඒවා ඔය. සීතල වෙලා ආයෙ උදේට කන්න බැහැනෙ’ කියලා එයා කිව්වා. ‘ඇයි බැරි. හුඟක් දේවල් කරන්න පුළුවන්නෙ’ කියලා මම කිව්වා. ඔබත් ඒ වගේ කෑම විසි කරන්න එපා. රෑට කාලා ඉතිරි වුණ ඉඳිආප්ප තියෙනවා නම් ශීතකරණයක තබන්න. පසුවදා උ‍ෙද් එළියට අරගෙන ස්ටීමරයක තබා මඳ වේලාවක් තම්බා ගන්න. අලුත් ඉඳිආප්ප වගේමයි. සම්බෝල, කිරි හොඳි, මාළු හොඳි, හාල් මැස්සන් හොඳි, තක්කාලි හොඳි වගේ දෙයක් එක්ක රසවත් උදේ ආහාර වේලක් පිරිමසා ගන්න. ඒ විතරක් නෙමේ එළවළු ටිකක් කපලා දාලා ඉඳිආප්ප කොත්තුවක් වගේ දෙයක් හදාගන්නත් පුළුවන්.

 

කිරි අඩු ඇයි?

 

ගෘහිණියන් තවත් නඟන මැසවිල්ලක් තමා ශීතකරණයෙන් ගත්ත පොල් බෑයේ පොල්වල කිරි ගතිය අඩු බව. ඒකට විසඳුමක් තමා ශීතකරණයෙන් ගත්ත පොල් බෑය ඇල් වතුර භාජනයක දමා ටික වේලාවක් තබා ගා ගන්න. මඳ රස්නය ඇති වතුරෙන් මිරිකා ගන්න. පොල් කුඩු ටික වීසි කරන්නත් එපා. හොඳ පොල් ස්වල්පයක් සමඟ මැල්ලුම්වලට

එකතු කරගන්න පුළුවන්. සුදු ලූනු බිකක්, කරපිංචා කොළ කීපයක්, ගම්මිරිස් ඇටයක් දෙකක් දමා පොල් කුඩු ටික දමා හොඳින් තළාගෙන හොඳ පොල් ස්වල්පයක් සමඟ මිශ්‍ර කර මැල්ලුම්වලට මිශ්‍ර කර මලවා ගන්න. අද පොල් ගෙඩියක මිල රු.90ක් විතර වෙනවනේ. ඉතිං පිරිමහගන්න ගෘහිණිය වන ඔබත් මේ වගේ ක්‍රම අනුගමනය කරන්න.

කිරි හොඳි රසවත් කරගන්න හුඟක් අය කරන්නෙ කහ, අමු මිරිස්, රතු ලූනු, කරපිංචා වැනි දේවල් සමඟ අමු තුනපහ කුඩු ටිකකුත් මිශ්‍ර කරනවා. ඒ තුනපහ ටික දාන්නෙ නැතුව අබ, සූදුරු ටිකක් අඹරලා කිරි හොඳිවලට එකතු කරන්න. රසයි සුවඳයි වැඩි වේවි.

සමහර එළවළු තිත්ත හා කහට ගතිය නිසා කෑමට අකැමැති වෙන අවස්ථා තියෙනවා. කරවිල කැබලි කපා ලුණු වතුර ටිකක් දමා තම්බාගන්න. ඉන්පසු වතුර ටික මිරිකා පෙරා හැර අවශ්‍ය විධියකට පිසගන්න. පොල් වතුර දමා තම්බා ගන්නත් පුළුවන්.

ඒ වගේම කොළ පැහැති එළවළු පිස ගැනීමේ දී කොළ පැහැය අඩු වෙලා අඳුරු පැහැයක් ගන්නවා නේද? බෝංචි වගේ එළවළු තම්බා ගැනීමට පෙර එයට විනාකිරි ස්වල්පයක් මිශ්‍ර කරන්න. කොළ පැහැය අඩු නොවී තියේවි. වාෂ්පයෙන් තම්බා ගන්නත් පුළුවන්. ග්‍රීන් පීස්වල කොළ පාට ගතිය හොඳින් තබා ගැනීමට ග්‍රීන් පීස් තම්බනවිට එම වතුරට සීනි ටිකක් එකතු කරන්න.

වැටකොළු, පතෝල, කැරට්, බෝංචි, ලීක්ස් වගේ එළවළු පිසින විට ඒවාට මහදුරු ස්වල්පයක් එකතු කරගන්න. නැවුම් සුවඳත් සමඟ දිවට හොඳ රසයක් දැනේවි.

 

පාන් වාටි ඉවත නොදමන්න

 

පාන් දැන් ගිනි ගණන්නෙ. ඒ නිසා කැපිලා අහකට යන පාන් වාටි, ඉතුරුවන පාන් කැබලි ඉවත දමන්න එපා. හොඳින් වේළා කුඩු කර සුළං නොවදින භාජනයකට දමා අසුරා තබාගන්න. රෝල්ස් සාදන විට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. රෝල්ස් සාදා ගෙන එය පාන්කුඩුවල දවටා ගැනීමට පෙර එයට ලුණු කුඩු ස්වල්පයක් සහ මිරිස් කුඩු ස්වල්පයක් මිශ්‍ර කරන්න. ඉන්පසු රෝල්ස්වල දවටා තෙලේ බැදගන්න. රසවත් බව වැඩි කරගත හැකියි.

ගෙදරදී හදාගන්න පලතුරු බීමවලට දෙහි හෝ දොඩම් යුෂ මිශ්‍ර කර ගැනීමෙන් එහි රසය වැඩි කරගත හැකියි. වෙළෙඳ පොළෙන් මිලදී ගන්නා කෝඩියල් සාදන විට ද දෙහි හෝ දොඩම් යුෂ එකතු කර ගැනීමෙන් එහි රසය වැඩි කරගත හැකියි.

ගෙවත්තෙන් ලබාගත හැකි පේර, ජම්බු, අලිගැට පේර, අඹ, පැපොල්, වෙරළු වැනි පලතුරු යොදාගෙන පලතුරු බීම සකස් කර පවුලේ අයට දෙන්න. පෝෂ්‍යදායී, නැවුම්, වස විසෙන් තොර පලතුරු බීම ඔවුන් සතුටින් පානය කරාවි.

උපදෙස්

හේවාහැට රහතුන්ගොඩ මහ විද්‍යාලයේ

නියෝජ්‍ය විදුහල්පතිනි

ඉන්ද්‍රානි විජය බණ්ඩාර