බිත්තර රහිත කැරට් මිශ්‍ර අන්නාසි කේක්

මැයි 19, 2021

 

නිර්මාංස ඔබ වෙනුවෙන් අද අපි කැරට් මිශ්‍ර අන්නාසි කේක් එකක් මෙලෙසින් ගෙන එන්නෙමු.

 

අවශ්‍ය ද්‍රව්‍ය

පිටි ග්‍රෑම් 200 ක්

සෝයා පිටි ග්‍රෑම් 50 ක්

කෝන් පිටි මේස හැඳි 2 ක්

බටර් ග්‍රෑම් 250 ක්

සීනි ග්‍රෑම් 250 ක්

අන්නාසි යුෂ කෝප්ප 1/2 ක් (අන්නාසි පෙති කීපයක් බ්ලෙන්ඩ්කර උකුවට ගත්)

බේකිං පවුඩර් තේ හැඳි 2 1/2 ක්

ගාගත් කැරට් කෝප්ප 1/2 ක්

පයිනැපල් එසන්ස් තේ හැඳි 2 ක් හෝ වැනිලා තේ හැඳි 2 ක්

 

කේක් එක සැරසීම සඳහා

ස්ටීම් කරගත් කැරට් පෙති කීපයක්

ස්ටු කරගත් අන්නාසි පෙති

(සීනි ග්‍රෑම් 50 කට වතුර කෝප්ප 1/2 ක් සහ කුරුඳු කැබැල්ලක් දමා ළිපේ තබන්න. පැණි හොඳින් නටන විට අන්නාසි පෙති දමා ස්ටු කරගන්න.)

 

සාදන ක්‍රමය

පළමුව පිටි, කෝන් පිටි, සෝයා පිටි සහ බේකිං පවුඩර් එකට එකතුකර තෙවරක් හලා ගන්න. ඉන්පසු බටර් සහ සීනි තවත් බඳුනකට දමා හොඳින් බීට් කරන්න. අන්නාසි යුෂද එයට එකතු කරන්න. මෙය හොඳින් බීට් වූ පසු හලාගත් පිටි මිශ්‍රණය එකතුකර කලවම් කරගන්න. ගාගත් කැරට් ද එයට දමා හැන්දකින් කලවම් කරගන්න. එසන්ස් ද එයට එකතු කරන්න.

ඉන්පසු බටර් තවරා සකසාගත් තැටියකට මෙම මිශ්‍රණය දමා කලින් විනාඩි දහයක් පමණ රත්කරගත් අවන් එකට දමා සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයෙන් විනාඩි පනහක් පමණ බේක් කරගන්න. කේක් එක හොඳින් බේක් වූ පසු පිටතට ගෙන නිවෙන්නට තබන්න.

 

සරසා ගැනීම

හොඳින් නිවුණ කේක් එක ගෙන එයට උඩින් ස්ටු කරගත් අන්නාසි පෙති දමන්න. ඒ අතරට ස්ටීම් කරගත් කැරට් පෙති කිහිපයද දමා මැදින් චෙරි ගෙඩිය තබන්න. මෙම කේක් එක සැන්ඩ්විච් කර නොමැති අතර අවශ්‍ය නම් දෙකට පලා එක් කොටසක් මත ස්ටු කරගත් අන්නාසි පෙති කීපයක් සහ ස්ටීම් කළ කැරට් පෙති කීපයක් දමා සැන්ඩ්විච් කරගත හැකියි.

 

 

 

උපදෙස් - ප්‍රවීණ

කේක් නිර්මාණ ශිල්පිනී

සුජාතා ජයරත්න

 

 

 ඡායා - උපාලි ජයරත්න