නිර්මාංස ඔබ වෙනුවෙන් ජින්ජර් කේක් සහ කොකනට් ක්‍රීම් පුඩිම්

ජුනි 9, 2021

Dainty cake

 

 

අති උතුම් මිහිදු හිමියන් බුදු දහම ශ්‍රී ලංකාවට රැගෙන ආ පිංබර පොසොන් මාසය උදාවුණා. ඉතිං ගිය මාසයේදී වගේම මේ මාසයේදීත් දානාදී පිංකම් කරන ඔබ වෙනුවෙන් තරුණි කේක් පිටුව හරහා නිර්මාංසී කේක් ඉදිරිපත් කරන්නට අප තීරණය කළා. ඒ අනුව අප මෙවර ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජින්ජර් කේක් එකක් සහ කොකනට් ක්‍රීම් පුඩිං එකක්. බලන්න මේ අතුරුපස ඔයාලටත් පහසුවෙන් හදාගන්න පුළුවන් නේද කියලා

ජින්ජර් කේක්

 

මේ කේක් එක කප් කේක් එකක් විදිහට වගේම සාමාන්‍යයෙන් අප ආහාරයට ගන්නා කේක් එකක් විදිහටත් හදාගන්න පුළුවන්.

 

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් ග්‍රෑම් 150ක්

පැණි හෝ ගෝල්ඩන් සිරප් තේ කෝප්ප 1ක්

( මේ සඳහා පීරිසි කෝප්පයක් භාවිත කළ හැකියි )

දුඹුරු සීනි කෝප්ප 3/4ක්

ජින්ජර් බියර් කෝප්ප 1ක්

බේකිං සෝඩා ( ආප්ප සෝඩා)තේ හැඳි 2 ක් පිටි කෝප්ප 2 1/2ක්

වියළි ඉඟුරු කුඩු මේස හැඳි එකක්

සුවඳ කුඩු තේ හැඳි දෙකක්

ලුණු ස්වල්පයක්

 

සැරසීමට

අයිසිං සීනි ස්වල්පයක්

පැණි ටිකක්

 

සාදන ක්‍රමය

පළමුව බටර්, සීනි සහ ගෝල්ඩන් සිරප් බඳුනකට දමා මඳ ගින්දරේ උණුකරගන්න. ඉන්පසු ළිපෙන් බා එයට ජින්ජර් බියර් සහ ආප්ප සෝඩා එකතුකරන්න. දැන් මෙය හොඳින් පිපීඑනු දැකිය හැකිය. පසුව පිටි වලට ඉඟුරු කුඩු , සුවඳ කුඩු සහ ලුණු ස්වල්පයක් එකතුකර ඉහත මිශ්‍රණයට කලවම්කර ගන්න .

ඔබ මෙය කප් කේක් ලෙස සකසා ගන්නේ නම් මෆින් ට්‍රේ එකක් ගෙන ඒ මතට පේපර් කප් දමා බටර් තවරා කප් එකෙන් 3/4 ක් පිරෙන සේ මෙම මිශ්‍රණය දමන්න.එසේ නැතිනම් අඟල් 8x8 හෝ අඟල් 6ක් විෂ්කම්භය සහිත රවුම් තැටියකට මෙම මිශ්‍රණය දමා ගන්න. මෙම තැටියට මිශ්‍රණය දැමීමේදීද උඩින් අඟලක් ඉතිරිවන සේ දමන්න. දැන් ඔබ මෆින් ට්‍රේ එකකට මෙම මිශ්‍රණය දැම්මානම් සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයෙන් විනාඩි 15ක් බේක් කරගන්න. නැතිනම් සෙල්සියස් අංශක 160ක උෂ්ණත්වයෙන් විනාඩි 30-45 ක් අතර කාලයක් බේක් කරගන්න. මේ ආකාරයට බේක් කරගත කේක් එක උඩින් අයිසිං සීනි හෝ පැණි ස්වල්පයක් දමාගන්න. මේ සඳහා ඉඟුරු කුඩු සහ ඉඟුරු දෝසිද එකතුකර ගත හැකියි. ඔබට වියළි ඉඟුරු කුඩු සොයා ගැනීමට අපහසුයි නම් අමු ඉඟුරු කෑල්ලක් ගෙන සිහින්ව කපා බ්ලෙන්ඩ්කර යුෂ එකතුකර ගත හැකියි .

 

------------------------------

 

කොකනට් ක්‍රීම් පුඩිං

 

නිවෙසේදී හරිම පහසුවෙන් සොයාගත හැකි අමුද්‍රව්‍ය ටිකක් එකතුකර සාදා ගතහැකි පුඩිං එකක් මේ.

 

අවශ්‍ය ද්‍රව්‍ය

මිටිකිරි කෝප්ප 4ක්

සීනි රස අනුව

ජෙලටින් තේ හැඳි 6ක්

කස කසා ඇට මේසහැඳි 3ක්

වැනිලා තේ හැන්දක්

කැමැති වර්ණයකින් කලරිං

 

සාදන ක්‍රමය

පළමුව කසා කසා ඇට ටික ගෙන හොඳින් සෝදා පෙගඟන්නට තබන්න. ඉන්පසු ජෙලටින් පෙ‍ෙඟන මට්ටමට ඇල්ජලය දමා පසෙකින් තබන්න .

දැන් පොල්කිරි වලට අවශ්‍ය පමණට සීනි දමා ළිපේ තබා උණුකරගන්න. ඉන්පසු ළිපෙන් බා එයට ජෙලටින් එකතුකර ගෙන කලවම් කර ගන්න.

වැනිලා ද මෙයට එකතු කරගන්න. දැන් මෙය කොටස් දෙකකට බෙදා එක් කොටසකට කලරිං දමාගන්න . ඉන්පසු විනිවිද පෙනෙන බඳුනක් ගෙන හොඳින් සෝදා එයට කලරිං නොදැමූ කොටස දමා මිදෙන්නට ශීතකරණයේ තබන්න.

එය ඉක්මනින්ම මුදවා ගැනීමට අවශ්‍ය නම් අධිශීතකරණයේ දමන්න. ඉන්පසු ඉවතට ගෙන ගෑරුප්පුවකින් කුඩා සිදුරු කීපයක් සාදාගන්න. එසේ සිදුකරන්නේ කොටස් දෙක හොඳින් සම්බන්ධ වීම සඳහාය .දැන් අනෙක් කොටසද ඊට උඩින් දමා ශීතකරණයේ තබන්න .

මෙය තරමක් මිදීගෙන එනවිට කස කසා ඇට එකතුකරන්න.මෙය හොඳින් මිදුණු පසු කෑලි වලට කපා ගත හැකිය .එසේම ඔබට කස කසා ඇට සොයාගැනීමට අපහසු නම් පැෂන් ෆෘට් ඇටද මේ සඳහා භාවිත කළ හැකියි

 

 

 

 

උපදෙස් -

ප්‍රවීණ සූපවේදිනී

සුනේත්‍රා ඒකනායක