ආහාර කලාවේ නැවුම් අරුතක් සොයා ගිය රංගනා

අගෝස්තු 11, 2021

 

හුරතල් පුංචි පැටවුන්ගේ කෙළි සෙල්ලම්වල ඉවරයක් නෑ. කොලු පැටවු නම් වැඩියෙන්ම ආසා කරන්නෙ දුවන්න, පනින්න වාගේම දඟලන්න. ඒත් පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න. කෙළි පැටික්කියෝ වැඩියෙන්ම කැමැති සෙල්ලම් බත් උයන්න, බෝනික්කෝ නළවන්න නේද?

ඒ ඇය පුංචි කාලයේ ඉඳන්ම මවකගේ චරිතයට පණ පොවනා නිසා. ගැහැනු දැරිවියක් නම් උයන්න, පිහින්න, මහන්න, ගොතන්න පුළුවන් වෙන්න ඕනේ කියලයි ඈත අතීතයේ ඉඳන්ම අපේ ජන සමාජය පිළිගත්තෙ. ඉතින් පුංචි කාලේ ඉඳන්ම ඉවුම් පිහුම්වලට බෙහෙවින්ම රුචි වූ අපේ කාන්තාවන් බොහෝ පිරිසක් එය සිය ජීවන වෘත්තිය කරගත් අවස්ථා ඕනේ තරම්. විශේෂයෙන්ම කාටවත් බරක් නොවී කදිමට කළහැකි ස්වයං රැකියාවක් තමයි මේ ඉවුම් පිහුම් කලාව.

රංගනා දුලංජලී සෙල්ලහේවා කියන්නෙත් ඒ විදිහට ඉවුම් පිහුම් කලාව ස්වයං රැකියාවක් බවට පත් කරගත් තරුණියක්. එහි ඇති විශේෂත්වය තමයි ඇය තම නිෂ්පාදනයන් එහෙමත් නැතිනම් ඉවුම් පිහුම් කළ ආහාර අලෙවිය සඳහා online තාක්ෂණය උපයෝගී කරගැනීමයි.

කොරෝනා වසංගතයත් සමඟම මෙරට බොහෝ දෙනකුගේ රැකියාවන් අහිමි වෙද්දී ඇය තමන්ගෙම කියලා ව්‍යාපාරයක් අරඹනවා. ඒ තමයි "Raan's kitchen".

“පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ මම ගුවන්සේවා සමාගමකට අනුයුක්තව තමයි සේවය කළේ. ඊට පස්සෙ විදේශගතවෙලා වසර නවයක් පමණ රැකියාව කළා. ඒත් මගේ තාත්තා අසනීපයෙන් සිටි නිසා මට ලංකාවට එන්න සිදුවුණා.“

ඔබ පවුලේ එකම දියණිය?

“ඔව්. මට අයියලා දෙන්නෙක් ඉන්නවා. ඒත් එකම දුව නිසාදෝ අම්මයි, තාත්තයි මා එක්කම රැඳෙන්න ආසා වුණා. නොසිතූ මොහොතක තාත්තා අපිව දාලා ගියා විතරක් නෙවෙයි අම්මත් ඔත්පල වෙලා ඇඳට වැටුණා. ඉතින් රැකියාව අතහරින්න මට සිදුවුණා.“

ඉතින් ඔයාගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතුවා.

“මට අවශ්‍ය වුණේ අම්මත් බලාකියාගෙන මගේම කියලා දෙයක් කරන්න. ඉතින් බොහොම පුංචියට පන්නිපිටියේ අපේ නිවෙසේ මුළුතැන්ගෙයින් මේ ඉවුම් පිහුම් වැඩේ පටන් ගත්තා.“

පළමුවැනි ඇණවුම මතකද?

“මගේ මහත්තයාගේ යාළුවකුගේ පාටියකට තමයි මුල්ම ඕඩර් එක කළේ. ඒකට කොත්තු තමයි හැදුවේ. ඉහළ ප්‍රතිචාර හිමිවුණු නිසා වැඩේ හොඳට කරන්න ඕනේ කියලා හිතුවා.“

ඊට පස්සෙ...

“මම හිතුවා මේකට ටිකක් නවීන තාක්ෂණය භාවිත කළොත් හොඳයි කියලා. මොකද සාම්ප්‍රදායික කෑම ව්‍යාපාරයක් කියන තේමාවෙන් ඔබ්බට යන්න තමයි මට අවශ්‍ය වුණේ. මම 'Raan's kitchen' කියලා වෙබ් පිටුවක් ආරම්භ කළා. මම උයපු කෑමවල පින්තූර වාගේම විස්තරත් ඒකට ඇතුළු කළා. ඉතින් ඒ හරහා හොඳ ප්‍රතිචාර වාගේම ඇණවුම් ලැබෙන්න පටන් ගත්තා.“

මොනවද ඔබ සකස් කරන ආහාර

“මම විවිධ වර්ගයේ බත් වර්ග හදනවා. නූඩ්ල්ස්, කොත්තු, පැස්ටා, මැකරෝනි, කට්ලට්, පැටිස්, රෝල්ස් වාගේ කෙටි කෑම, කේක්, පුඩිං, වටලප්පන් වාගේ අතුරුපස, බයිට් වර්ග මේ ඕනැම කෑමක් මම සකස් කරනවා. ඒ විතරක් නෙමෙයි පසුගිය අවුරුදු කාලයේ මම කැවුම්, කොකිස්, අතිරස, ආස්මි වාගේ අවුරුදු කැවිලිත් සැකසුවා.“

සාමාන්‍යෙයන් ලංකාවේ අපි පිළිගන්න කාරණයක් තමයි කෑම රස වෙන්න අත්ගුණය බලපානවා කියන දේ. ඒ ගැන මොකද හිතන්නෙ.

“මම ඒක පිළිගන්නවා. අපේ අම්මාට පුදුමාකාර අත්ගුණයක් තිබුණා. ඇය ඉවුම් පිහිම් ඉගෙනගෙන තිබුණේ ශාන්තා මායාදුන්න මහත්මිය යටතෙයි. මම ඉතින් පුංචි කාලේ ඉඳන්ම අම්මා උයනවා බලාගෙන හිටියා. ඇයට අත් උදවු දුන්නා. ඇයගේ අතේ හුරුව වාගේම ඇය සතු පුංචි පුංචි ඉවුම් පිහුම් රහස් මම ඉගෙන ගත්තා.

මම මේ ව්‍යාපාරය පටන් ගන්නකොට වැඩියෙන්ම සතුටු වුණේ අම්මා. ඇය තමයි මගේ කෑමවල විවේචකයා. ඒවාගේම මම හදන හැම ආහාරයක්ම මුලින්ම රස බලන්නෙ අම්මා සහ මගේ මහත්තයා.“

සැමියාගෙන් විශාල සහයෝගයක් ලැබෙන බව ඔබ සඳහන් කළා.

“මගේ සැමියා ප්‍රනීත් රන්දිමාල් සෙල්ලහේවා. ඔහු පෞද්ගලික ආයතනයක සේවය කරන්නෙ. ඉතින් ඒ අතරතුරේ මට පුදුමාකාර සහයෝගයක් ලබාදෙනවා. මේ කෑම ඇණවුම් ක්‍රමවත්ව ලබාදීමේ වැඩ ටික කරලා දෙන්නෙ ඔහු.

ඔබේ ආහාර වැඩිදෙනකු අතරේ ජනප්‍රිය වෙන්න යම් විශේෂත්වයකුත් ඇති නේද?

“ඇත්තටම මම කෑම පිසින්න කිසිම රසකාරකයක් පාවිච්චි කරන්නේ නැහැ. කුළුබඩුවර්ග, ගරම් මාසාලා වාගේම බිරියානි පේස්ට් එක පවා මම නිවෙසේදී සකසා ගන්නවා. කහ, තුනපහ, මිරිස්කුඩු මේ හැමදේම නිවෙසේ දී පිරිසුදුව සකසා ගැනීම වෙන්න ඇති මේ කෑම රසවත්වීමේ රහස.

මගේ උත්සාහය තමයි රසට, ගුණට වාගේම පෝෂණය සපිරුණු ආහාර වේලක් පිරිනැමීම. ඉතින් ඒ වෙනුවෙන් මම උපරිම කැපවෙනවා.“

ඉතින් දිරියෙන් ජීවිතය දිනන්නට තමන්ගේම හැකියාව ප්‍රයෝජනයට ගන්නා රංගනාගේ මේ අපූරු මුළුතැන්ගෙය පිහිටා ඇත්තේ පන්නිපිටිය, දුම්රියපල මාවතෙයි.