සීනි සම්බෝලෙට ලූනු කපන්නේ මෙහෙමයි

ලූනු කපන ආකාරය අනුව පෙනුම,රසය වෙනස් කළ හැකියි
සැප්තැම්බර් 29, 2021

 

මනස සෑම දෙයකට ම මූලික වන බව සැබෑවකි. ඒ නිසා යමක් පිළිබඳ කැමැත්තක් ඇතිකර ගැනීමට නම් ඒ පිළිබඳ සිතේ යම් පැහැදීමක් තිබිය යුතුය. මෙය ආහාර සඳහා ද අදාළ ය. යම් ආහාරයක් සඳහා කැමැත්තක් ඇති වීමට නම් එහි පෙනුම, සුවඳ ආදිය මූලිකව ඉවහල් වේ.

එවිට එම ආහාරය රස විඳීමට සිත තුළ පෙලඹවීමක් ඇති කරයි.

ඇතැම් විට”අනේ සිතාරා රසට උයනවා.. එයාගේ කෑම දැක්කත් ඇති..” ලෙසින් ඇතැම් අයගේ ඉවුම් පිහුම් ගැන ඇතිවන කතාබහ ඔබටත් ඇසී ඇති. මෙවැනි විටෙක මෙලෙසින් ඉවුම් පිහුම් කරන අය ගැන ඔබට සියුම් ඊර්ෂ්‍යාවක් සිතේ ඇති වන්නටත් ඇති. හැකි හැම විටෙකම නියමාකාරයෙන් ආහාර සැකසීමට උනන්දු වීමෙන් ඔබටත් රසවත් ලෙස ආහාරපාන සැකසීමට හොඳ හුරුවක් ලැබේවි. අන් අයගේ පැසසුමට ලක්වන ගෘහණියක් විය හැකියි.

අද අපි ලූනු කපන ආකාරය පිළිබඳ දැනුවත් වෙමු.

“අයියෝ අපි දන්නේ නැද්ද ලූනු කපන්න.” මෙය දුටු විට ඔබේ මුවගට සිනාවක් නැගෙන්නටත් ඇති. ඒත් ලූනු ගෙඩිය හතර අතටම කැපීම සෑම ආහාරයක් සැකසීමේ දීම සුදුසු නැත. ලූනු වර්ග කිහිපයක් ම අපි ඉවුම් පිහුම් කිරීමේ දී යොදා ගන්නෙමු. සුදු ලූනු, රතු ලූනු, බී ලූනු නැතිනම් බොම්බයි ලූනු ලෙස හැඳින්වෙන මේ ලූනු භාවිතයට ගැනීමේ මෙන්ම සැකසීමේ දී ද වෙනස්කම් පවතී. මේ ලූනු වර්ග සියල්ලම රසකාරක ලෙස ගැනෙයි.

බොහෝ විට රතු ලූනුවල සෙම නසන ගුණයක් ඇති අතර කිරට සකසන ව්‍යංජන සඳහා මෙන්ම පොල් සම්බෝල වැනි සම්බෝල වර්ගවලට ද යොදා ගැනේ. එහෙත් රතු ලූනු නොමැති අවස්ථාවක ඒ සඳහා ආදේශකයක් ලෙස ලොකු ලූනු යොදා ගත හැකියි. සුදු ලූනු බොහොමයක් ව්‍යාංජන සැකසීමේ දී යොදා ගනී.

* සුදු ලූනු ඇතැම් ව්‍යාංජන සඳහා සිහින්ව කපා එකතු කරන අතර ඇතැම් ව්‍යාංජන සඳහා අඹරා හෝ තළා එක් කරයි. සුදු ලූනු ව්‍යාංජනය සැකසීමේ දී සුදු ලූනු බික් දෙකට පලා එයට එකතු කරයි.

n රතු ලූනු, ගොටුකොළ සම්බෝල ආදී කොළ සම්බෝලවලට එක් කිරීමේ දී සිහින්ව ලියා එකතු කරයි. පොල් සම්බෝල, ලුණු මිරිස් ආදිය සැකසීමේ දී තළා එකතු කිරීමෙන් රසය වැඩි වේ. ව්‍යාංජනවලට යෙදීමේදී ද ලියා ගත් ලූනු එකතු කරයි. නමුත් අච්චාරු ආදියට රතු ලූනු එකතු කිරීමේ දී ගෙඩිය පිටින් ම එකතු කරයි.

n හොදි, මාළු පිසීමේ දී ලොකු ලූනු හා රතු ලූනු ද සිහින්ව දිග අතට මෙන්ම හරස් අතට ද කපා එක්කරයි.

n ලොකු ලූනු හෙවත් බී ලූනු බොහෝ විට ව්‍යාංජනවලට එක් කිරීමේ දී සිහින්ව, කෙටිව (දිග කැබැලි නොවන සේ) ලියා ගත යුතුයි.

n ලොකු ලූනු තෙල් දැමීමේ දී මෙන්ම සීනි සම්බෝල සාදා ගැනීමේ දී කපා ගත යුත්තේ සිරස් අතට සිහින්වය. එනම් ලූනුගෙඩිය දෙකට පලා, එම ලූනු පලු සිරස් අතර සිහින්ව ලියා ගතයුතුයි.

n සලාද සඳහා ලොකු ලූනු කපා ගැනීමේ දී තරමක කොටු ආකාරයට කපා ගත හැකියි. මෙය සලාදයේ අනෙකුත් එළවළු වර්ග කපන ප්‍රමාණයට කපා ගත යුතුයි.

n ඩෙවල් කිරීමට මෙන්ම ස්ටේක් වර්ග සාදා ගැනීමේ දී ලොකු ලූනු කපා ගත යුත්තේ රවුම් ලෙසයි. එනම් ලූනු ගෙඩිය හරස් අතට පෙති කපා ගත යුතුයි. මෙසේ පෙති ලෙස කපා ගන්නා ලූනු රවුම් ලෙස තිබීම නිසා වැඩි අලංකාරයක් ද ආහාරයට එකතු කරයි.

n මැලේ අච්චාරුව සඳහා ලොකු ලූනු එකතු කරන විට ලොකු ලූනු ගෙඩියේ ප්‍රමාණය අනුව තරමක ලොකු කැබැලිවලට කපා ගත යුතුයි. මධ්‍යම ප්‍රමාණයේ ලූනු ගෙඩියක් නම් එය කොටස් හයකට හෝ අටකට පමණ කපා ගත හැකියි.

ආහාර අලංකරණයේ දී තවත් බොහෝ ආකාරවලට ලූනු කපනු ලැබූවද ආහාර සැකසීමේ දී මූලිකව ම ලූනු කැපීම සිදු කරන්නේ මේ ආකාරවලටයි. ඔබටත් නියමාකාරයෙන් ඒ ඒ ආහාර වර්ගය සඳහා ලූනු කපන ආකාරය පැහැදිලි වන්නට ඇති. එය ප්‍රායෝගිකව එදිනෙදා ප්‍රයෝජනයට ගැනීමෙන් ඔබ සතු ඉවුම් පිහුම් හුරුබුහුටිකම් තවත් වැඩි දියුණු වේවි.